පහන් කණුව ධර්ම දේශනා සිව්වන වෙළුම ISBN - 955 - 8832 - 17 - 0 කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම ප්‍රකාශනය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය 2006 ධර්මදානයකි මුදලට විකිණීම සපුරා තහනම් වෙයි. ප්‍රථම මුද්‍රණය - 2003 අප්‍රේල් දෙවන මුද්‍රණය - 2006 මැයි පොත ලබාගත හැකි ස්ථාන පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම. රෝයල් ඉන්ස්ටිටියුට්, 191, හැව්ලොක් පාර, කොළඹ 5. ඩී.ටී. වේරගල මහතා 422, වැලිපාර, තලවතුගොඩ මහා භාරකාර දෙපාර්තමේන්තුව 2, බුලර්ස් පටුමග, කොළඹ 07. අනුර රූපසිංහ මහතා 27, කොළඹ වීදිය, මහනුවර හේමා රූපසිංහ මිය 26, හැව්ලොක් පාර, ගාල්ල. මුද්‍රණය කොලිටි ප්‍රින්ටර්ස් 17/2, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානසාසනං බුද්ධවග්ග, ධම්මපද හැම පවින් වැළැකුම, කුසල් වෙතටම එළැඹුම, සිත පිරිසිද්ධ කැරැම, සස්න මෙයමැයි හැම බුදුන්ගෙම පටුන හැඳින්වීම ප්‍රකාශක නිවේදනය ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය අමා ගඟ 16. ‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති’ 17. ‘අසාරෙ සාරමතිනො’ 18. ‘සහස්සමපි වේ ගාථා’ 19. ‘ගබ්භමේකෙ උපපජ්ජන්ති’ 20. ‘ඵෙණුපමං කායමිමං විදිත්වා’ හැඳින්වීම දහම් දන හැම දන්ම පරදයි දහම්රස හැම රසම පරදයි දම් ඇළුම හැම ඇළුම් පරදයි නිවන් සුව හැමදුක්ම පරදයි අනුත්තර ධම්රාජයාණන් වහන්සේගේ ධම්විජයට අරමුණුවූයේ දෙවි මිනිසුන්ගේ චිත්ත සන්තානයයි. අනාදිමත් කාලයක් තුළ මෝහයෙන් මුලාවී සසර දුක් ගින්නෙන් දැවෙමින් සිටින ලෝ සතුන්ගේ සිත් සතන් දහම් අමා දහරින් සිසිල් කර අමා මහ නිවනින් නිවා සුවපත් කිරීම ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ ධම්විජය පරමාර්ථය විය. දුක් ගිනි වඩන දිග්විජය වෙනුවට දුක් ගිනි නිවන ධම්විජයක් බුදුපියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්හ. ධම්දානය අන් හැම දානයකටම වඩා උතුම් වන්නේ සිතකට වැටෙන දහම් පදයකින් පූර්ණ ජීවිත පරිවර්තනයක් පවා සිදුවිය හැකි බැවිනි. බාහිර වස්තු දානයෙන් සැලසෙන තාවකාලික සහනය මෙන් නොව, එය සනාතන සැනසුමකට මඟ හෙළිකරයි. මොහොතකට දිවගට දැනී-නොදැනී යන ආමිස රසය මෙන් නොව, නිරාමිස දහම් රසය අසහනය දුරුකොට සිත් සනහන ගැඹුරු අපූරු රසයකි. සසර වඩන ගේහසිත ඇලුම් මෙන් නොව, ලොවතුරු දහමට ඇති ඇල්ම සසර ගමන කෙටිකරයි. තණ්හා පිපාසය සන්සිඳුවන අමා මහ නිවන සියලු සසර දුක් නිවාරණය කරයි. ‘නිවනේ නිවීම’ පොත් පෙළෙන් අප දියත් කළ ධර්මදාන වැඩ පිළිවෙළෙහි දෙවැනි අදියර වශයෙන් මේ ‘පහන් කණුව ධම් දේශනා’ පොත් පෙළ එළිදැක්වීමට හැකිවීම මහත් වාසනාවක් ලෙස සලකමු. මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි යෝගාවචර සඟපිරිස හමුවේ අප විසින් දේශනා කරන්නට යෙදුන දෙසුම් 33ක් රැගත් යටකී පොත් පෙළට වඩා සරල අන්දමින් ජන ජීවිතයේ එදිනෙදා ගැටළුවලට එල්ල කොට දෙසන ලද බැවින් මෙම ධම්දේශනා මාලාව බොහෝ දෙනෙකුට වැඩදායක වනු ඇතැයි සිතමු. සසරදුක් ලියලවන විවිධ විෂම දෘෂ්ටි මතවාදයන්ගෙන් ගැවසීගත් පොත් පත් සඟරා ‘සහරාවක’ අතරමං ව සිටින වත්මන් පාඨක සමාජයට මේ තුළින් ලොවුතුරු මහට යම් ‘තරු සලකුණක්’ හෝ ලැබෙතොත් අප දැරූ උත්සාහය සඵල වූ ලෙස සලකමු. ‘ආනුපුබ්බී කථා’ නම් වූ අනුපිළිවෙළ කථාමාර්ගයක් අනුගමනය කරමින් දහම් දෙසූ බුදු පියාණෝ එවැනිම ‘අනුපිළිවෙළ කථාවක්’ ධම්දේශකයින්ට අනුදැන වදාළහ. දාන කථාව, සීල කථාව, සග්ග කථාව, කාමයන්ගේ ආදීනව හා නෙක්කම්මයෙහි ආනිසංස ඒ අනුපිළිවෙළ කථාවට අයත්වේ. ඒ සියල්ල තුළින් සකස් වූ, මෘදු, පුබුදු, පහන්වූ සිතට චතුරාර්‍ය සත්‍ය දේශනාව මැනවින් විෂය වේ. දේශනා විලාස වශයෙන් සලකන කල, බුද්ධ දේශනාවෙහි ඉස්මතුව පෙනෙන ආදර්ශවත් අංග සතරක්ද ඇත. එනම්, උපමා, නිදර්ශන, ආදියෙන් ධම් කරුණු සඳැකීන කිරීම (‘සඳැස්සේති’), සිත් කාවදින අන්දමින් එත්තු ගන්වාලීම (සමාදපේති), ඒවා ප්‍රතිපත්තියට නැංවීමෙහිලා උත්සාහවත් කිරීම (සමුත්තේජේති) සහ අසන්නන්ගේ සිත්සතන් ප්‍රසාදයට පත්කිරීමයි (සම්පහංසේති). ධම්පදයෙන් තෝරාගත් ගාථා මාතෘකා කොටගෙන පැවැත්වෙන මෙම දෙසුම් පෙළෙහිදීද හැකිතාක් දුරට ඉහත සඳහන් මූලධම් අනුගමනය කිරීමට තැත් දැරුවෙමු. බුද්ධෝත්පාද කාලයක ලැබිය හැකි අග්‍රඵලය වන අර්හත් එලයෙන්ම දේශනාවක් කුළගැන්වීමට උනන්දූ වීමු. වෙනත් සුලභ ලෞකික පරමාට් තුළ අසන්නන් සිරකොට නොතබා, බුදුපියාණන් වහන්සේ වදාළ අප්‍රමාද පදය සිහිගන්වමින් සංසාර විමුක්තිය දෙසටම ඔවුන් යොමු කරවීම අපගේ පරම අධ්‍යාශය විය. ‘පහන් කණුවෙන්’ විහිදෙන මෙම ධම්ාලෝකයෙන් ලෝකයාට නිවන් මහ හෙළි පෙහෙළි වේවා! මෙම ‘පහන් කණුව ධම්දේශනා’ පොත් පෙළද, ‘නිවනේ නිවීම’ දෙසුම් පෙළ එළිදැක්වීම උදෙසා කොළඹ හැව්ලොක් පාරේ ‘රෝයල් ඉන්ස්ටිටියුට්’ පින්වත් ජී.ටී. බණ්ඩාර මහතා විසින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ පිහිටුවන ලද ‘ධම් ග්‍රන්ථ මුද්‍රණහාරය’ මගින් මුද්‍රණය කිරීමට මහාභාරකාර තැන්පත් යූ. මාපා මහතා තීරණය කිරීම අපට මහත් ධෛර්යයක් විය. අමිලවූ ධම්ය මිල කිරීමකින් නොපිරිහෙළා පාඨකයින් අතට පත්කිරීමේ අප ප්‍රතිපත්තියට දිරිදෙන ඒ පින්වත් මහතුන් දෙපොළටත්, මේ සත්කාර්යයට සහාය දීමට මෙතෙක් ඉදිරිපත්වූ පරිත්‍යාගශීලී හැම පින්වතුන්ටත්, පටිගත කළ ‘පහන් කණුව’ දෙසුම් පිටපත් කරදීමේ කාර්යට සහාය වූ පින්වත් ඒ.එස්.වයි. අබේවර්ධන මහතාට සහ අනුලා හේනගොඩ, එම්. නාගහවත්ත, ජයන්ති රණවීර යන මහත්මීන්වත්, දෙන දේ පිරිසිදුව දීමට ශෝභන ලෙස මුද්‍රණ කටයුතු නිම කරන, සීමාසහිත කරුණාරත්න සහ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂක මහතුන්ට හා කාර්ය මණ්ඩලයටත් අපගේ පුණ්‍යානුමෝදනාව හිමිවේ. ඒ හැම දෙනාටම මෙම ධම්දානමය කුශලය පරම ශාන්ත නිර්වාණාවබෝධය පිණිසම හේතුවාසනා වේවායි පතමු. ‘චිරං තිට‍්ඨතු ලෝකස‍්මිං - සම‍්මාසම‍්බුද‍්ධ සාසනං’ මෙයට, සසුන් ලැදි, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර දේවාලේගම (2542) 1999 පෙබරවාරි 12 ප්‍රකාශක නිවේදනය අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ “නිවනේ නිවීම” දේශනා මුද්‍රණය කොට, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයහට එම දහම් පොත් ලබාදීමේ මූලික අදහස අප තුළ ඇතිවී මුත්, මුද්‍රණය සඳහා වැය වන මුදල උපයා ගැනීම ප්‍රශ්නයක් විය. එය විසඳීම පිණිස අප කිහිප දෙනෙක් යෝජනා කළේ වැයවන මුද්‍රණ වියදම පමණක් අය කර ගැනීමට ප්‍රමාණවත් වූ මිලකට එම දහම් පොත් විකිණීමයි. එහෙත්, අපගේ එම යෝජනාව ගරු ඤාණනන්ද ස්වාමීන් වහන්සේ එකහෙළා ප්‍රතික්ෂේප කරමින් “ධර්මය මිල කරන්න බැහැ, එය අවශ්‍ය අයහට නොමිලේ ලබා ගැන්මට හැකිවිය යුතුයි…” කීහ. එබැවින් උන්වහන්සේ අදහස් කළ පරිදි මුලින්ම මුද්‍රණය කළ “නිවනේ නිවීම” දේශන මාලාව සඳහා වියදම් ලබා ගැන්මේ වැඩ පිළිවෙළක් වශයෙන් රෝයල් ඉන්ස්ටිටියුටි හි අධිපති ජී.ටී.බණ්ඩාර මහතා විසින් මහා භාරකාර දෙපාර්තමේන්තුවෙහි “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් අරමුදලක් ආරම්භ කර ලැබීය. එයකට මහා භාරකාර ධුරය දරූ ශ්‍රී. මාපා මහතාගේ අදහසක් අනුව පිහිටුවන ලද එකී භාරයෙහි අරමුණ වූයේ මෙම පුණ්‍ය ක්‍රියාව ඉටුකර ගැනීම සඳහා දායක වීමට කැමති අය හට මුදලින් කෙරෙන තම පුණ්‍යාධාර එම භාරයට බැර කිරීමට අවස්ථාව සලසා දීමයි. 1997 වසරේදී ඇරඹුනු මෙම ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පූජ්‍ය ඤාණනන්ද හිමියන්ගේ දේශනා 33 කින් යුත් “නිවනේ නිවීම” වෙළුම් 11 කින් මුද්‍රණය කොට නොමිලේ බෙදා දීමට අමතරව පසළොස්වක පොහෝ දිනයන්හිදී පහන් කණුව සෙනසුන වෙත රැස්වෙන උපාසක උපාසිකාවන් සඳහා උන්වහන්සේ විසින් කෙරෙන ධර්ම දේශනා “පහන් කණුව ධර්ම දේශනා” නමින් මේ වන විට ග්‍රන්ථ 5ක් පළකොට තිබේ. එතැනින් නොනැවතී උන්වහන්සේගේ අනෙකුත් සිංහල සහ ඉංග්‍රීසි ග්‍රන්ථ ද එසේම ධර්ම දාන වශයෙන් පළකිරීමට හැකිවීම ඊට දායක වූ අප සැමගේ ඉමහත් සතුටට හේතුවිය. අති පූජ්‍ය ඤාණනන්ද ස්වාමීන් වහන්සේගේ එම ධර්ම දේශනා අගයමින් එම සත්කාර්යය නොනවත්වා කරගෙන යාම පිණිස දායක හවුල්කරුවන්ගෙන් අප වෙත ලැබෙන පාසුඟුම් සහිත ප්‍රතිචාරය නිසාම එම අයගේ පහසුව පිණිස අප විසින් මැතකදී “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් සම්පත් බැංකුවේ නුගේගොඩ ශාඛාවේ අංක 0003 6000 1415 දරණ ජංගම ගිණුම විවෘත කරන ලදී. අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන් විසින් පහදා දෙනු ලබන නිර්මල බුදු දහම ඔබ අතට පත් කිරීම අපගේ එකම අරමුණයි. ඊට ඔබගෙන් ලැබෙන දායකත්වය ඉමහත් කුසලයකි. අපට ඉමහත් ගෞරවයකි. මෙම වටිනා ග්‍රන්ථ මුද්‍රණය කොට බෙදා හැරීමේ සම්පූර්ණ කාර්යභාරය ජී.ටී. බණ්ඩාර මහතා විසින් රෝයල් ඉන්ස්ටිටියුටි හි පින්වත් නිලධාරීන්ගේ සහායද ඇතිව වෙහෙස මහන්සි නොබලා ඉටුකර දීම ගැන අපගේ බලවත් ප්‍රසාදය මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළයුතු වේ. මෙයට, සසුන් ලැදි ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරකාර මණ්ඩලය ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරය මගින් පළකෙරෙන ග්‍රන්ථ මුද්‍රණයට දායක වීම අති පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දේශිත නිර්මල බුදු දහම, “නිවනේ නිවීම” සහ “පහන් කණුව ධර්ම දේශනා” නමින් පළ වී ඇති දහම් පොත් තුළින් ඔබ මේ වන විටත් ඇතැම් විට කියවා තිබිය හැක. එම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා හැකි පමණ මුද්‍රණය කොට නොමිලේ බෙදාදීම ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරයේ අරමුණයි. මෙතෙක් එම භාරය මගින් පළකොට ඇති ධර්ම ග්‍රන්ථ එකී ග්‍රන්ථවල අවසාන පිටුවෙහි දක්වා ඇත. මෙම මහඟු පුණ්‍ය ක්‍රියාව සඳහා දායක වීමට කැමති පින්වතුන්, පහත සඳහන් උපදෙස් පිළිපැදීම මැනවි. 1. චෙක්පත්/මුදල් ඇණවුම් මගින් එවන සියලු ආධාර “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් සම්පත් බැංකුවේ නුගේගොඩ ශාඛාවේ අංක 0003 6000 1415 දරණ ගිණුමට බැර කිරීම පිණිස පහත සඳහන් ලිපිනයට එවිය හැකිය. 2. දිවයිනේ පිහිටි ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් මගින් ඔබගේ ආධාර මුදල් ඉහත සඳහන් ගිණුමට බැර කළහැක. 3. කෙසේ වුවද, ඔබගේ පහසුව පිණිස සියලු පුණ්‍යාධාර කොළඹ 05, හැව්ලොක් පාරේ අංක 191 හි පිහිටි රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය වෙනුවෙන් පිහිටුවා ඇති අංශයටද බාර දියහැක. 4. මෙම භාරය මගින් නිකුත් කෙරෙන ධර්ම ග්‍රන්ථ මගින් ඔබගේ දායකත්වය වරින් වර දායක හවුතුන්ගේ දැනගැන්ම සඳහා පළ කරනු ඇත. 5. ඔබ විසින් කරනු ලබන ආධාරය බැංකු ගිණුමට බැර කරන විට ඒ සඳහා නිකුත් කරනු ලබන කුවිතාන්සියෙහි ඡායා පිටපතක් පහත සඳහන් ලිපිනයට එවීමෙන් මෙම ධර්ම දානමය කටයුත්තට දායක වන ඔබගේ නම සහ දායක මුදල අප විසින් වරින් වර පළ කරන දායක ලැයිස්තුවෙහි ඇතුළත් කිරීම කළ හැකිය. ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය රෝයල් ඉන්ස්ටිටියුට් අංක 191 හැව්ලොක් පාර කොළඹ 05 අමා ගඟ මහවැලි ගඟ උතුරට හැරවීමෙන් පසු එතෙක් නිසරු මුඳුබිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවුයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවිතුන් පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින් පිනා ගියහ. මැලවුණු ගොයම් සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ. දහම් අමා ගඟ “උතුරට” හැරවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “ඒදා-වේල” සඳහා වත් වීය පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලේ ගලායන අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අර්ථවත් සිද්ධාහාර, සැදැහැයෙන් සරුව, ගුණ ත්‍රුවසින් බරව පිළිවෙත් මහට නැඟී ගත්හ. ලෝභී - ලෝභතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නත් ආයුරින් සෝම්නස පළකළහ. “ධර්ම ග්‍රන්ථ මුද්‍රණ භාරය” නමින් දියත් කළ මෙම ධම්දාන වැඩපිළිවෙළ සඳහා අපගෙන් වැයවුනේ පිරිසිදු ධම්දාන සංකල්පය පමණි. අමා ගඟ “උතුරට” හැරවූවෝර සතුන් ගුණ හඳුනත පරිත්‍යාගශීලී සැදැහැවත් භූමිය. “නිවනේ නිවීම” පොත් පෙළ එළි දැක්වීමෙන් නොතැවැත්වී “පහන් කණුව ධම්දේශනා” පොත් පෙළෙහි “බර සෑන” දැරීමටත්, දේශ-විදේශවල දහම් පිපාසිතයින් උදෙසා අප අතින් ලියැවෙන අනිකුත් පොත-පත ඒ ඇසුරින්ම එළි දැක්වීමටත් බඳුවූ උත්සුක වූහ. “දෙන දේ පිරිසිදුවම දීමේ” අදහසින් අමිල වූ දහම් ග්‍රන්ථ නිසි ශෝභන මුද්‍රණයකින්ම ධම්කාමීන් අතට පත් කිරීමට පියවර ගත්හ. මුද්‍රිත පිටපත් සංඛ්‍යාව අවසන්වනු හා සමගම “නැවත මුද්‍රණ” පළකිරීමෙන් දහම් අමා ගඟ වියළී යාම නොදීමට දැඩි අධිටනකින් ඈප කැපවුහ. “පොත් අලෙවිය” පිළිබඳව මෙකල බහුලව දක්නට ලැබෙන වාණිජ සංකල්පයට පිටුපා, තහංචිවලින් තොරව, තමන් අතට නොමිලේම පත් කෙරෙන “දහම් පඩුර” තුළින් ධම්දාන සංකල්පයෙහි අගය වටහා ගත් බොහෝ පාඨක පින්වතුන් තමන් ලද රස අහරක්, නෑ-හිතවතුන් සමඟ බෙදා-හදා ගන්නාක් මෙන් නොමසුරුව අත් දහම් ලැදියතාද දී ධම් දානයට සහභාගී වූහ. ඉනුදු නොනැවතී, ශක්ති පමණින් “ධම් ග්‍රන්ථ මුද්‍රණහාරයට” උරදීමටද ඉදිරිපත්වූහ, ඇතැමෙක් ලොකු කුඩා දහම් පොත් මුද්‍රණය කරවීමේ හා නැවත-නැවත මුද්‍රණය කරවීමේ බරපැන ඉසිලීමට පවා පසුබට නොවූහ. සම්බුදු සසුන මේ ලක් පොළොවෙහි පවතින තාක් මේ දහම් අමාගහ ලෝ සතුන් සිත් සනහමින් නොසිඳී ගලා යේවා යනු අපගේ පැතුමයි. “සබ්බදානං ධම්මදානං ජිනාති” මෙයට, සසුන් ලැදි, කටුකුරුන්දේ ඤාණානන්ද භික්ෂු පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසනය ‘පහන් කණුව’ කන්දේගෙදර, දේවාලේගම පහන් කණුව ධම් දේශනා සිව්වන වෙළුම - දෙවන මුද්‍රණය පිටපත් 4000ක් වන මෙම දෙවන මුද්‍රණයට පුරෝගාමීව ශාසන විරස්ථිතිය පතමින් පිටපත් 1000ක් මුද්‍රණය කිරීමට ඉදිරිපත් වූ පහත නම් සඳහන් සැදැහැවත් පරිත්‍යාගශීලී පිරිසටත්, ධම් ග්‍රන්ථ මුද්‍රණ භාරයේ සෙසු දායක පිරිසටත් එම ධම්දානමය කුසලය නිර්වාණාවබෝධය පිණිස උපනිශ්‍රය සම්පත්ක්ම වේවායි පතමු. දමයන්ති සහ ජයා ධම්සිරි සරෝජිනී සහ සිරි ජයසිංහ මාග්වි කොතලාවල එම්. දොළවීර පොල්ගම්පල අයිරාංගනී සහ වාල්ස් අතුරුගිරිය ඉදුනි සහ සිරි පුනාඳු වජීරා මනීපාල සහ දුෂ්‍යන්ත ලියනගේ කාන්ති සහ පුෂ්පකුමාර ආරච්චිගේ වන්දා සහ පියසේන අබේදීර සම්පාදක (2549) 2006 අප්‍රේල් 16 වන දේශනය ‘නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ ’සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං බුද්ධගතා සති’ ’සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං ධම්මගතා සති’ ’සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං සංඝගතා සති’ ’සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - අහිංසාය රතො මනො’ ’සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - භාවනාය රතො මනො’ - පකිණ්ණක වග්ග, ධ.ප. සැදැහැවත් පින්වතුනි, මේ ඇසල පුර පසළොස්වක පෝය දවස අපට සිහිගන්වන්නෙ බුදු පියාණන් වහන්සේ දෙවි මිනිසුන් හමුවෙහි තැබූ ජීවිතය පිළිබඳ හරි දැක්මයි, සම්‍යක් දෘෂ්ටියයි. එදා ඒ ධම්මචක්කප්පවත්තන සුත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබූ මධ්‍යම ප්‍රතිපදාව නමැති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙනි පියවර තමයි සම්මාදිට්ඨිය. අන්න ඒ සම්මා දිට්ඨියෙන් අලෝකවත් වුනු, සම්මා දිට්ඨිය අනුව ගිය, ජීවන ප්‍රතිපත්ති තුළින් කෙනෙකුට එදිනෙදා ජීවිතයේ ලබාගත හැකි සහනය, සතුට, සැනසීම, ආරක්ෂාව පෙන්නුම් කෙරෙන, ප්‍රකාශ කෙරෙන, ගාථා ටිකක් තමයි අපි මේ මාතෘකා කර ගත්තේ අද දවසෙ. මේ ගාථා දේශනා කරන්ට යෙදුනෙ බුදුපියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදියි. ඒකට හේතුවුනු නිදාන කථාව මෙන්න මේ විදියටයි දක්වෙන්නෙ. රජගහ නුවර සම්‍යක් දෘෂ්ටික පවුලක දරුවෙකුත් මිථ්‍යා දෘෂ්ටික පවුලක දරුවෙකුත් එක්වෙලා එකට නිතිපතා ගුළ ක්‍රීඩා කරන්න පටන්ගෙන තිබුනා – ගුළ ක්‍රීඩා කියල කියන්නෙ - ඒ කාලෙ තිබුන යම්කිසි බෝල ක්‍රීඩාවක්. මේ ක්‍රීඩා කරන අතරේ අර සම්‍යක් දෘෂ්ටික දරුවා බෝලය විසි කරන හැම වාරෙකම ‘නමො බුද්ධස්ස’ කියා කියනවා. අර මිථ්‍යා දෘෂ්ටික පවුලේ දරුවා බෝලය විසි කරන්නේ ‘නමො අරහන්තානං’ කියලා. එතන අදහස් කරන්නෙ තීර්ථකයන්ට වන්දනා කිරීම. මෙහෙම කරන කොට සම්‍යක් දෘෂ්ටික දරුවා දිනනවා. අනිත් කෙනා පරදිනවා. අනිත් දරුවා කල්පනා කරනවා ‘දැන් මගේ යාළුවා දිනන්නෙ අර බුදු රජාණන් වහන්සේ සිහිපත් කරන නිසයි’ කියලා එයා පටන් ගත්ත බුද්ධානුස්සතිය වඩන්න. ඉතින් මේ ළමය බුද්ධානුස්සතිය වඩන අතරේ දවසක්, ළමයාගෙ පියා මේ ළමයත් එක්ක ගෙන කරත්තෙත් බැඳගෙන කැලයට ගියා දර ගේන්න. උදේවරුවෙ දර ටික කරත්තෙ පටවගෙන, දවල් නගරයෙන් පිට සොහොනක් ළඟ කරත්තෙ ලිහල ආහාර එහෙම ගත්ත. ඒ අතරෙ අර හරක් දෙන්න නගරයට ඇදෙන ගවයින් එක්ක නගරෙ ඇතුළට වැදුනා. ඉතින් ඊළඟට ආහාර අරගෙන ඉවරවෙලා කරත්ත කාරයා වටපිට බලන කොට හරක් නෑ. ඒ නිසා නගරයට ඇතුල්වුනා හරක් සොයා ගන්න. එහෙම හරක් දෙන්නා සොයාගෙන ආපහු එනකොට නගරයෙ දොර වහන වෙලාව - හැන්දෑ වෙලා. ඒක නිසා ඒ මනුස්සයට එළියට එන්න බැරිවුනා. ඉතින් අර කුඩා දරුවා කරත්තේ යට රෑ බුදිය ගත්තා. සොහොන කිට්ටුව නිසා අමනුෂ්‍යයින් බොහොම සිටිනවා. යක්ෂයින් දෙන්නෙක් - එක යක්ෂයෙක් සම්‍යක් දෘෂ්ටිකයි, ඒ කියන්නෙ තුණුරුවන්ට ලැදි කෙනෙක්, අනිත් යක්ෂයා මිථ්‍යා දෘෂ්ටිකයි. මේ දෙන්නා මේ දරුව ඉන්නව දැක්කා. අර මිථ්‍යා දෘෂ්ටික යක්ෂයා කියනවා. “මෙන්න හොඳ කෑමක් තියෙනවා, අපි කමු.” කියලා. එතකොට අනිත් කෙනා ඒක වළක්වන්න උත්සාහ කළා. නමුත් මෙයා කකුලෙන් ඇද්ද අර දරුවගේ. අදිනවත් එක්කම අර දරුවා ‘නමො බුද්ධස්ස’ කියලා කිව්වා. ඒ කිව්ව හැටියෙ යක්ෂයා බයවෙලා හිටගත්ත. ඊළඟට අනිත් කෙනා කිව්වා අපි ලොකු වැරැද්දක් කළෙ. ඒක නිසා අපි ඒකට දඬුවම් විඳින්න ඕනය කියලා. දෙන්න එකතු වෙලා රෑ තිස්සේ අර දරුවා මුරකළා. ආරක්ෂාව සලසා උන්නා. ඒ වගේම මිථ්‍යා දෘෂ්ටික යක්ෂයා රජ ගෙදරට ගිහිල්ලා රන් හාජනයකට ආහාර අරගෙන ආවා. ඇවිල්ල රාත්‍රියේ මවුපියන් වගේ වෙස් වළාගෙන අර දරුවට ආහාර පානත් දීල රැකවරණයෙ යෙදුනා. ආහාර ගත්තට පස්සේ යක්ෂයා තමාගේ ඍද්ධි බලයෙන් හාජනයෙ අකුරු ටිකක් කෙටුවා. ‘රජතුමා පමණක් මෙය දකීවා’ කියල - මේ කාරණය පිළිබදව - මේ හාජනය මෙතෙන්ට ආපු හැටි. එහෙම කරලා අර හාජනය කරත්තෙ දමලා යක්ෂයො අතුරුදහන් වුනා.   ඉතින් ඊළඟට උදෑසන රජගෙදර අය හාජනය නැතිවුනයි කියල වටපිට බලලා, නගරය තුළ පරීක්ෂා කරලා එළියට ඇවිල්ලා අර කරත්තය දක්කහම කරත්තය පරීක්ෂා කරන කොට ඔන්න රත්තරං හාජනය දක්කා. දැකලා දරුවා අල්ලාගෙන ගියා හොරයා කියලා හිතාගෙන. ඊළඟට රජ්ජුරුවො ළහට ගෙනිච්චට පස්සෙ හාජනයත් එක්ක, රජ්ජුරුවො මේ අකුරු දකලා, ‘මොකද මේකේ සිද්ධිය?’ කියලා ඇහුවහම අර දරුවත් කිව්වා “මම දන්නෙ නෑ. රෑ තිස්සේ මගේ අම්මයි තාත්තයි ඇවිල්ල ආහාර දීල මාව ආරක්ෂා කළා. ඒ ටිකයි මම දන්නෙ” කියලා. ඒ වෙලාවෙ ඒ දරුවගෙ මවුපියොත් පැමිණියා. රජ්ජුරුවො අර දරුවත් මවුපියනුත් එක්ක බුදු රජාණන් වහන්සේ ළහට ගියා. ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ බුද්ධානුස්සතියෙන් පමණක්ද ඇත්ත වශයෙන්ම ආරක්ෂාව ලැබෙන්නෙ, වෙන දේවලුත් තිබෙනවාද කියලා. ඔන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා හයෙන් දේශනා කර වදාළේ, කෙනෙකුගේ ජීවිතය තුළ මෙන්න මේ හය ආකාරයෙන්ම හිත යොදවනවා නම්, සිත සතන් පවත්වනවා නම්, ඒ තැනැත්තාට අමුතු ආරක්ෂාවල් අවශ්‍ය නෑ. මන්ත්‍ර ආදියක් අවශ්‍ය නෑ. මේකම ලොකු ආරක්ෂාවක් කියලා ඒ කාරණය පෙන්නුම් කරන්නයි අර ගාථා ටික වදාළේ. ඒ ගාථාවල සාමාන්‍ය අර්ථයත් අපි ඊළඟට සළකලා බලමු. සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - නිච්චං බුද්ධගතාසති ‘නිතිපතාම, රෑ දාවල් දෙකේම, බුද්ධානුස්සතිය වඩන, බුදුගුණ සිහිකරන, ගෞතම ශ්‍රාවකයෝ හැමකල්හිම උදෑසන ප්‍රබෝධවත්ව පිබිදෙත්’, කියන එකයි ඒ ගාථාවෙ අදහස. ඒ විදියටම තමයි ඊළඟටත් කියවෙන්නෙ. - සුප්පබුද්ධං පබුජ්ඣන්ති - …………………. ……………… ……….. - නිච්චං ධම්මගතාසති ධම්මානුස්සතිය වඩන අය, ධර්මය මෙනෙහිකරන අය, ඒ වගේම ප්‍රබෝධවත්ව උදෑසන පිබිදෙනව. ඊළහ ගාථාවෙ තියෙන්නෙ සංඝානුස්සතිය පිළිබදව. සංඝානුස්සතිය වඩන අයත් ඒවගේම ප්‍රබෝධවත්ව පිබිදෙනවා. ඊළඟට කියවෙන්නෙ කායගතා සති භාවනාව - කය අනුව ගිය සිහිය - වඩන අයත් උදෑසන ප්‍රබෝධවත්ව පිබිදෙනව කියල. ඊළඟ ගාථාවෙ කියවෙනවා. සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - අහිංසාය රතො මනො යම් ගෞතම ශ්‍රාවකයින් රෑ දවල් තිස්සේ අහිංසාවට ඇලුම් කරනව නම්, අවිහිංසාවට හුරු සිතුම් පැතුම් පවත්වනව නම්, ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙනවා. ඊළඟට කියවෙන්න – සුප්පබුද්ධං පබුජ්ඣන්ති - සදා ගොතමසාවකා යෙසං දිවා ව රත්තෝ ව - භාවනාය රතො මනො යම් ගෞතම ශ්‍රාවකයින් රෑ දවල් දෙකෙහි භාවනාවට ඇලුම්ව වාසය කරනවා නම් ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙනවා කියලයි. මෙතන පොඩි කාරණයක් කියන්න තියෙනවා. දැන් අර්ථ කථනයේදී අර අන්තිමට කියාපු ගාථාවල් තේරීමේදි පොත්පතේ මෙහෙම කියනවා. ‘අහිංසාය රතො මනො’ කියල කියන්නෙ කරුණා භාවනාවය, ‘භාවනාය රතො මනො’ කියල කියන්නෙ මෛත්‍රී භාවනාවය කියලා. ඔය විදියට අර්ථ සීමා කරනවා. නමුත් වඩා හේතු සහිතය කියල හිතෙනවා අතන ‘අහිංසාය රතො මනො’ කිව්වේ මෛත්‍රී කරුණා ආදී වශයෙන් අවිහිංසාවට හුරු සිතිවිලි පැවැත්වීමය, කියල ගැනීම. වෙනම කරුණා භාවනාවක් වශයෙන් නෙවෙයි. ඊළඟට ‘භාවනාය රතො මනො’ කියන එක, අපි හිතන්නෙ වඩා අර්ථවත් වෙන්න පුළුවන් පොදුවෙ භාවනාවට ලැදි සිතක් ඇතිව සිටීම කියල ගත්තහම. මොකද, මෛත්‍රී, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන පිළිවෙළමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නෙ. මෙතන කරුණාව පළමුවෙන් කියල ඊළඟට මෛත්‍රීය ගැන කිව්ව කියල හිතන්න අමාරුයි. මෙතන වඩා අර්ථවත්ව, වඩා පුළුල් අර්ථයකින් ගන්න පුළුවන් ‘අහිංසාය රතො මනො’ කියන්නෙ අවිහිංසාවට අනුව සිතිවිලි පැවැත්වීමය, ‘භාවනාය රතො මනො’ කියන්නෙ භාවනාවට ලැදිව එදිනෙදා ජීවිතය ගත කිරීමය කියලා ගත්තහම. කොහොම නමුත් මෙන්න මේ ගාථා හයෙන් බුදු පියාණන් වහන්සේ ලෝකයා හමුවේ තැබුවේ ප්‍රබෝධවත්ව පිබිදීමේ මගයි, දවස හොඳාකාර ගත කිරීමට. මේ කථාන්තරය තුළින් පෙන්නුම් කෙරෙන්නෙ බුද්ධානුස්සතියෙන් ලැබෙන රැකවරණයයි. ඒකෙ තිබෙන මහානුභාව සම්පන්න බවයි. මේ පින්වත් පිරිසෙ හැම කෙනෙක්ම දන්නවා, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ඒ ත්‍රිවිධ රත්නය ඇත්ත වශයෙන්ම හැම කෙනෙකුටම ආරක්ෂක මන්ත්‍රයක් හැටියට තිබෙන බව. ඒකට හේතුව මොකක්ද? විශ්වය තුළ බුද්ධරත්නයේ ගුණය කැවිලා තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුළින් බුද්ධ ගුණය විශ්වයට කැවිලා තිබෙනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කිරීම තුළින් යම්කිසි ආරක්ෂාවක් සැලසෙන ධම්තාවකුත් තියෙනව. ඒක අපට හොඳට පැහැදිලිව පෙනෙනවා බුදුපියාණන් වහන්සේගේම වචනවලින්. ධජග්ග සුත්‍රයේ - දන් ධජග්ග පිරිත නමින් හැඳින්වෙන ධජග්ග සුත්‍රයේ - බුදු පියාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනව ‘මහණෙනි, නුඹලා වනාන්තරගතව, රුක්මුල් ගතව, පාලු ගෙවල් වලට ගිහිල්ලා බණ භාවනා කරන අවස්ථාවල යම්කිසි භයක්, තැතිගැන්මක්, ලොමු දහගැන්මක් ඇතිවුනොත්, ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ, ඒ කියන්නෙ මාව, මෙනෙහි කරන්න. මෙන්න මේ විදියට - ’ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො …..’ කියන ඒ පාඨයෙන් මාව සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරන කොට ඒ තිබුන භය, තැතිගැන්ම, ලොමු දහගැන්ම, නැතිවෙල යනවය. මා ගැන මෙනෙහි කරන්නෙ නැත්නම්, සිහිපත් කරන්නෙ නැත්නම්, ධර්මය ගැන සිහිපත් කරන්නය. ‘ස්වාක්ඛාතො’ ආදි පාඨයෙන්. එතකොටත් ඒ භය නැතිවෙල යනවය. එහෙමත් නැත්නම් සංඝයා සිහිකරන්නය ‘සුපටිපන්නො’ ආදි වශයෙන්. අන්න ඒ විදියට ධජග්ග පිරිතෙ බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරනවා. මේ පින්වතුන් කවුරුත් අහලා තියෙනවා රතන සුත්‍රයේ ත්‍රිවිධ රත්නයේ ශක්තිය මූල් කරගෙන විසාල මහනුවර අමනුෂ්‍ය බියක් ඇතුළ තුන්බියක් දුරු කිරීම සඳහා පිරිතක් වශයෙන් - පරිත්‍රාණ කියල කියන්නෙ ආරක්ෂාව - පිරිතක් වශයෙන් බුද්ධ ගුණය, ධර්ම ගුණය, සංඝ ගුණය සත්‍යක්‍රියා වශයෙන් ප්‍රකාශ කිරීමෙන් ඒ තුන්බිය දුරු කළ බව. මෙයින් අපට හොඳට පේනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා වශයෙන් පමණක් නොවෙයි පරිත්‍රාණ හැටියටත් සලකන්න පුළුවන්ය කියන එක. පිරිතක් හැටියට තමන්ට ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් මේ කථාන්තරයෙන් පෙන්නුම් කෙරෙන්නෙත් ඒකයි. අර මිථ්‍යා දෘෂ්ටික පවුලක දරුවෙක් නමුත් සම්‍යක් දෘෂ්ටික දරුවෙක් බුද්ධානුස්සතිය වඩලා ඒයින් යම්කිසි ආනිසංසයක් ලබන බව දකලා බුද්ධානුස්සතියට හුරුවුනා. එතන ඉදලා ඒකෙ ආනිසංස ඉබේටම, ස්වාභාවිකවම වගේ, විපතක් පැමිණියහම පුරුදු කරගත්තු කමටහන කියවෙන ගතියක් තියෙනවා. දන් මේ කාලෙත් - අපි හිතන්නෙ - සමහරවිට මේ ජාතියට අර බෞද්ධ ඌරුව කැවුන නිසා වෙන්න ඇති, විපතක් වුනාම, ‘බුදු අම්මේ’ කියල කියන්නෙ. සාමාන්‍යයෙන් ‘අම්මේ’ කියනවා විතරක් නොවේ, ‘බුදු අම්මේ’ කියලා කියනවා. බුදු රජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඒ වගේ මෙතන ‘නමො බුද්ධස්ස’ බුදු රජාණන් වහන්සේ සිහිපත් කළ හැටියේ අර යක්ෂයා බයවුනා බුද්ධ ගුණයට - බුද්ධ තේජසට. ඉතින් ඒකෙන් අපට පේනවා බුද්ධානුස්සතියේ ඇති ශක්තිය. රැකවරණයක් වශයෙන් ඒකෙ ඇති ශක්තිය. ඒ වගේම මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ‘සුප්පබුද්ධං පබුජ්ඣන්ති’ කියන පදයෙන්, ප්‍රබෝධවත්ව නැගිටින්න උපකාර වෙන බව. ඒ කියන්නෙ දවසෙ හොඳට බුදු ගුණට යොමු කරපු සිතෙන් ජීවත් වෙනවා නම් ඒ තැනැත්තාට විශාල සැනසිල්ලක් ලැබෙනවා. මේ ගාථා පෙලෙන් ප්‍රධාන වශයෙන්ම අපි සැළකිල්ල යොමු කරන්න ඕන මේ කවුරුත් වගේ දන්න, ඒ වගේම පුහුණු කරන බුද්ධානුස්සති භාවනාවට. ඒ ගැන විශේෂයෙන් යමක් කිවයුතුව තියෙනවා. අනිත් දේවලුත් අපට කෙටියෙන් සඳහන් කරන්න වෙනවා කාලය තියෙන හැටියට. බුද්ධානුස්සති භාවනාව ගැන කල්පනා කරලා බලනවා නම්, මේ හැමදෙනෙක්ම දන්නවා බුදු පියාණන් වහන්සේගේ නව ගුණය. නව ගුණ පාඨය ආශ්‍රයෙනුයි බුද්ධානුස්සතිය වඩන්නෙ. එක්කො නවගුණ පාඨය සම්පූර්ණයෙන්ම කියනවා. එහෙම නැත්නම් මේ එක එක ගුණයක් සවිස්තරව - විස්තර සහිතව - ප්‍රකාශ කිරීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ විදියට බුද්ධානුස්සතිය වඩන ක්‍රමයක් කාලයක් තිස්සේ තියෙනවා. නමුත් අපට හිතෙනවා, සමහර විට එක එක පදය ඒ විදියට විග්‍රහ කරන්න ගියාම හිත විසිරෙන ස්වභාවයක් ඇතිවෙනව කියල. දන් බුද්ධානුස්සතිය හැටියට තියෙන ඒ කම්ස්ථාන කොටසෙ නව ගුණය මේ විදියටයි දැක්වෙන්නෙ:- ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ මෙතන ගුණනවයක් සඳහන් වෙනව. ඔය එක එකක් අරගෙන ඒවා පිළිබඳව නොයෙකුත් විදියට ශාස්ත්‍රීය අන්දමින් විස්තර කරන සිරිතක් තියෙනවා. ඒවායේ නිරුක්ති ඔස්සේ ගිහිල්ල විස්තර කරලා ඒවා කිය කියා ඉදීම භාවනාවක් හැටියටත් ඇතැම් කෙනෙක් සළකනවා. නමුත් කල්පනා කරන්නට ඕන දැන් බුදුගුණ ඇසුරෙන් ලියාපු පොතක් කියවීමත්, බුදුගුණ භාවනා කිරීමත් අතර යම්කිසි විශේෂයක් තිබෙන්ට ඕන කියල. වෙනසක් තිබෙන්ට ඕන කියල. බුදුගුණ ඇසුරෙන් ලියාපු පොතක් නම් ඔන්න සවිස්තරව බොහොම ලස්සන පාඨ සහිතව කිය කියා යම්කිසි කුසල් සිතක් වඩා ගන්න අවස්ථාව තියනවා. නමුත් හොඳ සමාධියක් ලැබෙන්නෙ නෑ. ඒ තුළ සිත විසිරෙනවා. ඒ වෙනුවට බුද්ධානුස්සතියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇත්ත වශයෙන්ම අර එක එක පදයක් තුළට බැහැලා ඒ තුළින් බුදු රජාණන් වහන්සේ දකින්න පුරුදු වීමයි. දන් බොහෝ විට ‘අරහං’ කියන පද උගතුන් ශාස්ත්‍රීය අන්දමට විග්‍රහ කරල ඒ වචනයේ මූලික අර්ථයටත් වඩා ඇතින් පිහිටි අනියම් අර්ථ රාශියක් ඈඳලා ඒ භාවනායෝගියාට භාරකරනවා, ඒවා ඉලක්කම් වශයෙන් මෙන්න මේවා කියන්න කියලා. ඒක තුළින් ඇත්ත වශයෙන්ම හිත විසිරෙනවා මිසක් හිත එක්තැන් වෙනවා කියලා හිතන්න අමාරුයි. සිත සමාධිමත් වෙන්නෙ නෑ. භාවනාවක පරමාර්ථය විය යුත්තේ සිත සමාධිමත් වීමයි. එකඟ වීමයි. එකඟවීමට ඒ තරම් අදාළ වෙන්නෙ නෑ අර වචන රාශියක්, පාඨ රාශියක්, වර්ණනා රාශියක්. ඒ වෙනුවට කරන්න ඕනෙ මේ එක එක පදයක සාමාන්‍ය අර්ථය සළකලා, ඒකට හැකිතාක් දුරට තමන් හදවතින් ළං වීමයි. අර පුංචි රාහුල කුමාරය බුදු රජාණන් වහන්සේ ළහට කිට්ටු වෙලා “මහණ, ඔබේ සෙවනැල්ලත් මට සැපයි” කියල කිව්ව වගේ මේ එක එක පදය තුළින් බුදු රජාණන් වහන්සේ දකින්න පුරුදු වෙන්න ඕන - ඒ පදය තුළට බැහැල. ඒතකොට සාමාන්‍ය අවබෝධය පමණක් අවශ්‍යයි - ඒ වචනවල අර්ථය වශයෙන්. දන් කෙටියෙන් කියනවා නම් අවස්ථානුකුලව, ‘අරහං’ කියන පදයෙ මූලික අර්ථය පූජා ලැබීමට සුදුසු බවයි. බුදු පියාණන් වහන්සේගේ ගුණ මහන්තත්වය නිසා, පූජනීයත්වය නිසා, පූජා ලැබීමට සුදුසුයි. ඒකත් ඕන නම් ආමිස ප්‍රතිපත්ති යන පූජා දෙකෙන්ම පිදීමට තරම් සුදුසු උත්තමයෙක් කියල හිතුවම ඇති. ඒ ඇරෙන්න වෙන නොයෙකුත් අර්ථ, අමතර අර්ථ කථන, එතෙන්ට අදාළ නෑ.   ඊළඟට ඒ වගේම තමයි ‘සම්මාසම්බුද්ධො’ කියන එකත්. සම්‍යක් සම්බුද්ධ කියන්නෙ තමන් වහන්සේම - ස්වයංභූ ඥාණය කියල කියනවා - තමන් වහන්සේම හොඳාකාරව චතුරාය සත්‍යය, එහෙම නැත්නම් ඒ බුද්ධඥානයෙන් සංසාරය පිළිබද, ජීවිතය පිළිබද, රහස තෝරා ගත්තා. ඒ ආර්ය සත්‍යයන් තමන් වහන්සේම හොඳින් අවබෝධ කරගත්තා - වෙන ගුරුවරයෙකුගේ, වෙන කෙනෙකුගේ, උපදෙස් රහිතව, ඒවා නැතිව. අන්න ඒ විශේෂත්වයයි ‘සම්මා සම්බුද්ධ’ කියන වචනය තුළ තිබෙන්නෙ. ඊළඟට ‘විජ්ජාචරණ සම්පන්නො.’ ඒ වගේම විජ්ජා-චරණ කියන වචන දෙක තුළ තියෙනවා බුදුපියාණන් වහන්සේගේ ගුණ සම්භාරයේ දෙපැත්තක්. ‘විජ්ජා’ කියල එතන කියන්නෙ විදර්ශනා ආදී ඥාණ වශයෙන් ඇති දැනුම් කොටස - කෙනෙකුගේ ජීවිතයේ ඥානය, දැනුම කියලා කියන එක, එක පැත්තක්. ඊළඟට හැසිරීම අනිත් පැත්ත. ඉතින් මෙතන බුදු පියාණන් වහන්සේ ඒ අංග දෙකෙන්ම සම්පූර්ණයි. ඇතුම් කෙනෙක් සමාජයේ සිටිනවා හොඳට දැනුම තියෙනවා හැසිරීම ගන්න දෙයක් නෑ. සමහර කෙනෙක් හොඳට හැසිරෙනවා. නමුත් අවබෝධ ශක්තියෙන් දුර්වලයි. අන්න එහෙම නැතුව බුදුපියාණන් වහන්සේ මේ දෙකෙන්ම සම්පූර්ණයි. ඒක හරියට - ‘විජ්ජා’ කියන එක ඇස්දෙක නම්, ‘චරණ’ කියල කියන්නෙ, චරණධම් කියල කියන්නෙ, පා දෙක නම්, අන්න ඒ ඇස් දෙකත් පා දෙකත් කියන ඒ අංග දෙකෙන්ම සම්පූර්ණයී. මේ ප්‍රතිපදාවේ යාමට අවශ්‍ය මූලික කරුණු දෙකෙන්ම සම්පූර්ණයී. ඒතකොට ‘විජ්ජාචරණසම්පන්න’ ගුණය තුළින් බුදු පියාණන් වහන්සේ මේ දෙ අංශයෙන්ම යුක්ත බව තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ‘සුගතො’ කියල කියන්නෙ - ඒකත් නානා අන්දමින් තෝරනවා - මනා ගමන් ඇති, හොඳ ගති ඇති කියල නොයෙකුත් ආකාරයෙන් තෝරනව. නමුත් සුගත කියන එක අපි අර්ථවත්ව ගන්න තියෙන්නෙ, බුද්ධත්වය සඳහා, එහෙම නැත්නම් නිර්වාණය සඳහා, යායුතු මාර්ගයේ ප්‍රතිපදාවේ - හොදින් ගමන් කළා. ඒ ගමන කෙළවර කළා. ඒ ගමනෙ කෙළවරට පැමිණියා. අර කියාපු ‘විජ්ජා - චරණ’ ගුණ දෙකෙන් ‘සම්පන්න වීම’ නිසාම බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රතිපදාවේ කෙළවරට හරියාකාරව පැමිණියා. ඒ වගේම ඒ පැමිණිලා ලෝකය පිළිබද දතයුතු හැම දෙයක්ම තේරුම් ගත්ත බව තමයි ලෝකවිදූ ගුණයෙන් දක්වෙන්නෙ. ලෝකවිදූ කියන ගුණයත් නානා විධියට තෝරන්න පුළුවන්. ලෝක ධාතුන් පිළිබද දතයුතු හැමදෙක්ම අවබෝධ කරගත්තා. නමුත් වඩාත් එක තේරුම් ගන්න පුළුවන් මේ විදියට. දන් ඒ බාහිර ලෝකය ගැන නම් නොයෙකුත් දෙනා මේ කාලෙ විද්‍යාත්මක වශයෙනුත් තේරුම් ගන්නවා. නමුත් බුදු පියාණන් වහන්සේ ඒ විදියට ලෝකය ගැන තේරුම් පමණක් නොවෙයි ඒ ඒ පුද්ගලයාගේ ඇතුළත ලෝකයත් තේරුම් ගත්තා. පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකයත් තේරුම් ගත්තා. පුද්ගලයාට පරිසරය වශයෙන් තිබෙන බාහිර ලෝකයත් තේරුම් ගත්තා. දතයුතු හැමදෙයක්ම බුදු පියාණන් වහන්සේ ඒ පිළිබදව තේරුම් ගත්ත නිසා තමයි ලෝක විදූ කියල කියන්නෙ. ’අනුත්තරො පුරිසදම්ම සාරථී’ – එතකොට ඒ ලෝකවිදූ ගුණයම පිහිට කරගෙන බුදුපියාණන් වහන්සේ දමනය කළ හැකි පුරුෂයින් - දමනය කළ හැකි සත්වයින් දමනය කිරීමෙහිලා රථාචර්යයෙක් වගෙයි. ඉතාම දක්ෂ රියැදුරෙක් වගෙයි. බුදුපියාණන් වහන්සේට පුළුවන්කම තිබුණා ඕනම කෙනෙකු තමන් වහන්සේගේ ප්‍රඥාවෙනුත් කරුණාව කියලා කියන උපාය මාර්ගයෙනුත් හික්මවන්න. ඒ හික්මවීමේ ශක්තියයි මේ. කාට, කොතැනකදී, කොයි අන්දමකින්, කොයි විදියේ දේශනාවක් කරලා හික්මවන්න පුළුවන් ද කියන එක බුදුපියාණන් වහන්සේගේ බුද්ධඥානයට පැහැදිලිව වැටහෙනවා. ඉතින් ඒක නිසා අර ලෝකවිදූ ගුණය උපයෝගී කරගෙන බුදු පියාණන් වහන්සේට ‘අනුත්තරො පුරිසදම්මසාරථී’ කියල කියන විදියට ඒ සත්ත්වයින් දමනය කිරීමේ හැකියාව තිබුනා. ඉතින් ඒ වගේම ‘සත්ථා දෙවමනුස්සානං’ - මනුෂ්‍යයින්ට පමණක් නොවෙයි දෙවියන්ටත් ශාස්තෘ වූ කියන එකයි. ඊළඟට ‘බුද්ධො’ කියල කියන්නෙ පොදුවෙ සළකන කොට, අර කියාපු සියල බුද ගුණයෙන් සම්පූර්ණයි. ස්වයංභූ ඤානයෙන් බුද්ධ්‍වය ලැබූ වගේම අනිත් අයටත් අවබෝධ කරවීමේ ශක්තිය තියෙනවා. භගවා’ කියන පදයේ ‘භාග්‍යවත්’ ‘වාසනාවන්ත’ කියන අදහසයි තියෙන්නෙ. ඒක තුළ තියෙනවා බුදුපියාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුළින් ඇති කරගත්තු බුද්ධ ශරීරය තුළත්, බුදු පියාණන් වහන්සේගේ ගුණ සම්භාරයෙත්, ප්‍රඥාවෙත්, ඒ හැම එකක්ම තුළම දකින්න ලැබෙන වාසනා ගුණය, භාග්‍යය, භාග්‍ය මහිමය. අන්න ඒ විදියට කෙටියෙන් සළකා ගත්තහම බුදුපියාණන් වහන්සේගේ නව ගුණය, ඊළඟට කරන්න තියෙන්නෙ ඒ නවගුණයම සැහෙන වෙලාවක් අනු පිළිවෙළින් කීමයි - ’ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධො – විජ්ජාචරණසම්පන්නො,– ආදි වශයෙන්. එහෙම කියන අතරේම තමන්ට වඩා හිතට අල්ලන, තමන්ට රුචිවන පදය තමන්ටම තෝරගන්න පුළුවන්. අන්න ඒ තෝරා ගැනීමේ දී - තෝරා ගත්ත නම් යම්කිසි පදයක් - ඒකට හේතු දක්වන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඇත්ත වශයෙන් කියනව නම්, ඒ ගුණ නවයට සැහෙන වෙලාවක් හිත යොදලා ඒකින් එක - තමන්ට හිතට ඒ තරම් අල්ලන්නෙ නැති ඒවා අතහරිමින්, නවය අටකරගෙන, අට හත කරගෙන, එහෙම අඩු කරගෙන ගිහිල්ල යම් කිසි ගුණයක් තමන්ට හිතට අල්ලනව කියල තෝරගත්ත නම්, තමන්ට හිතට අල්ලන්නෙ මොකද කියල තේරුම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඒක හරියට - දැන් ඉතාම ස්වාභාවික අන්දමින් කෙනෙකුට ඇල්මක් ඇතිවෙනකොට සාංසාරික සම්බන්ධයක් එක්ක, කෙනෙකුට ඇතුම් විට හිතෙනවා, “අනේ මං දන්නෙ නෑ මොකද කියල, මට නං මෙයයි හිතට අල්ලන්නෙ, මට නම් මෙහෙමයි” කියල. අන්න එහෙම කිව්වත් ඇති. “මං දන්නෙ නෑ මේ නවගුණයෙන් මට නම් හිතට අල්ලන්නෙ මෙන්න මේකයි.” කියල කියන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත්ම ස්වාභාවික තෝරා ගැනීම. ඒ තුළින් හැගෙන්නෙ සාංසාරික වශයෙන් බුදුවරුන් ඇසුරු කිරීමේදී, බුදුවරුන් වහන්සේලා දකීමේ දී, දහම් ඇසීමේදී, තමාගේ හිතේ තැන්පත්වුනු බුදගුණයේ යම් කිසි අංශයක්. ඒ අනුවයි අර තෝරා ගැනීම. ඒකයි අපි කියන්නෙ ඒක ස්වාභාවිකය කියල. අන්න එහෙම තෝරගත්තහම තමයි අර රාහුල කුමාරය බුදුරජාණන් වහන්සේ ළහට කිට්ටු වෙලා - “මහණ, ඔබේ සෙවනතත් මට සැපයි” කියල කිව්ව වගේ වෙන්නෙ. “මට මේ වචනෙ ඇති.” මේ වචනය තුළින් බුදු රජාණන් වහන්සෙ දකිනවා නම්, මේක වටේ ආයිත් ගොතන්න වැඩක් නෑ. ඒක වර්ණනා කර කර නොයෙකුත් ලස්සන වචන, ලස්සන පාඨ කියව කියව ඉන්න ඕන නෑ. ඒක තුළින් කෙරෙන්නෙ හිත විසිරෙන එකයි.   හරියට අර ජලාශයක බෝට්ටුවක් එහෙ මෙහෙ යන්නෙ නැතුව, ඒ අතට මේ අතට පද්දෙන්නෙ නැති හැටියට නංගුරමක් වගේ මොකක් හරි දාලා එක්තැන් කළා වගේ මේ හිත අර ගුණය තුළට බැහැගන්න ඕන. බැහැගෙන, ඒ ගුණය තුළින් බුදුපියාණන් වහන්සෙ දකින්න පුරුවෙන්න ඕන. එහෙම පුරුදුවුනාට පස්සෙ වැඩි වචන ඕනෙ නෑ. තමන් තෝරා ගත්තෙ ‘භගවා’ නම්, ‘භගවා - භගවා - භගවා’ කියන කොට, ඒක තුළින් සමාධියට පැමිණෙන්න පුළුවන්. ඒක විස්තර වශයෙන් හිතන්න ඕන නෑ. ඒ වචනය තුළින් බුදුරජාණන් වහන්සේ දකිනවා. දන් අර ළමයා ‘නමො බුද්ධස්ස’ කියල කිව්වා. ඒ කාලෙ බුදු රජාණන් වහන්සේ ජීවමානව හිටිය යුගයක්. දන් එතකොට මේ බෞද්ධ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැත්නම් හිතින් දකින්න පුළුවන් උන්වහන්සේගේ ගුණ සම්භාරය. ශුද්ධාවන්තයාට, සම්මදිට්ඨිය ඇති තැනැත්තාට බුදු පියාණන් වහන්සේ හිතින් දකින්න පුළුවන්. එතකොට ඒ හිතෙන් දකීමට උපකාරීවෙන එක වචනය වුනත් සැහෙනවා. අන්න ඒ වචනය නොකඩවා, එහෙම නැත්නම් වෙන තැනකට හිත යන්න නොදී භාවනා කිරීම තමයි බුද්ධානුස්සති භාවනාව. අපි බුද්ධානුස්සතිය ගැන විශේෂයෙන් කිව්වේ බොහොම දෙනා ඒක පුරුදු පුහුණු කරන නිසයි. ඒක තුළ යම් අඩුපාඩුකම් තියෙනවා නම්, මේ අපි කියාපු ඒවා හරියි කියල හිතෙනවා නම්, ඒ අනුව කෙනෙකුට හරිගස්සා ගන්න පුළුවන්. එතකොට අනිත් භාවනා ගැන අපි ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා, කාලවේලා ඇති හැටියට. ධම්මානුස්සතිය කියලා කියන්නෙ - ඒකත් මේ පින්වතුන් කොතෙකුත් අහල තියෙනවා, අර තරම්ම ප්‍රකට නැතත් – ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො, ඒහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති.’ ගුණ හයක් එතන කියවෙනවා. ‘ස්වාක්ඛාත’ ගුණය කියල කියන්නෙ, බුදුපියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය, යහපත්ව දේශනා කළ එකක්. හොඳින් දේශනා කළ එකක්. ඒ හොඳින් දේශනා කළ එකක් කියන එක බුදුපියාණන් වහන්සේගේ ස්වරය අනුවවත්, ඒ දේශනා කළ වචනයේ ලක්ෂණ අනුවත් නොවේ මෙතන කියන්නෙ. බුදුපියාණන් වහන්සෙගේ ධර්මය යම් ඉලක්කයකට, යම් පරාමාර්ථයකට, එල්ල කොට දේශනා කළා නම්, ඒ පරමාර්ථයට යන ආකාරයට මුල - මැද - අග හොඳට සම්බන්ධව දේශනා කරපු එකක්. මේක නිරර්ථක එකක් නොවේ. තේරුම් රහිත එකක් නොවෙයි. මේ ධර්මය ප්‍රතිඵල ලබා දෙන එකක්. ස්වාක්ඛාත කියලා කියන්නෙ මනාව දේශනා කරන ලද එකක්. ප්‍රතිපත්තියට ගැලපෙන විදියට ප්‍රතිඵලයක් ලැබෙනවා. ප්‍රතිඵලයට ගැලපෙන විදියට ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ විදියට මුල - මැද - අග යහපත්ව දේශනා කරන ලද බවයි ‘ස්වාක්ඛාත’ යන වචනයෙන් ගන්න තියෙන්නෙ. ඊළඟට ‘සන්දිට්ඨීක’ කියලා කියන්නෙ මෙලොවම, මේ ජීවිතයෙදිම, තමන්ට අත්දකින්න පුළුවන් මේකෙ ප්‍රතිඵල. මොකද, මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නෙ අපේ චිත්ත සන්තානය තුළ තිබෙන ලෝභ, ද්වේෂ, මෝහ කියන කෙලෙස ධර්ම ඉවත් කරන මාර්ගයයි. එතකොට එයින් යම් ප්‍රමාණයක් ඉවත් වෙනවා නම්, තමන්ටම ඒ ඒ ප්‍රමාණයට ඒක මෙලොවම අත්දකින්න පුළුවන්. නැවත පරලොවක ලැබෙන දෙයක් නොවෙයි. මග පල නිවන් මෙලොවම ලබා ගන්න පුළුවන්. පරලොවක ලැබෙන නිවනක් නොවෙයි. අන්න ඒක නිසා ඒක සන්දිට්ඨීක ගුණයයි. ‘අකාලික’ කියලා කියන්නෙ කල්නොයවා විපාක දෙන එකක්. ඒකත් අරකටම සම්බන්ධයි. කෙනෙකුට යම් ප්‍රමාණයකට ලෝභයක්, ද්වේශයක්, මෝහයක් තියෙනවා නම් ඒ තැනැත්තාට ඒ ප්‍රමාණයටම හිතේ බරපතල දොම්නසක්, එහෙම නැත්නම් හිත දූෂ්‍ය වීමක් තිබෙනවා. ඒවා යම් ප්‍රමාණයකට ඉවත් කර ගත්තා නම් ධර්මයේ පිහිටෙන්, ඒ ඉවත් කර හැටියෙම සැනසුමක් තියෙනවා. ඒක අකාලිකයි. ඒක ගැඹුරින් දක්වන්නෙ ලෝකෝත්තර මාර්ගය පිළිබදව - ලෝකෝත්තර තත්වයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමේදී. එකේදි කියවෙනවා මාර්ග - එල කියලා දෙකක්, ලෝකෝත්තර මාග්‍යත් එක්කම එලයට වැටෙනවා. ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නෙ විදර්ශනාඥාන ඔස්සේ ගිහිල්ලා ලබාගන්නා ඉතාම සියුම් සමාධි තත්ත්වයක්. ඒකත් එක්කම එලයට වැටෙනවා. ඒක අකාලික ගුණය. කල්නොයවා විපාක දෙන ගතිය. ‘එහි පස්සික’ කියලා කියන්නෙ ‘එව-බලව’. ‘එව-බලව’ කියන එක තුළ තියෙන්නෙ ‘ක්‍රියාවට නැගීමට ආරාධනා කරන විදියෙ දෙයක්ය මේ ධර්මය’ කියන එක. ප්‍රායෝගික බවයි එතනින් පෙන්නුම් කරන්නෙ. ධර්මයම කියනවා - ‘එව-බලව’ - ‘මාව ක්‍රියාත්මක කරලා බලන්න’ කියල. ඒ තරමටම පුදුම විදියේ ප්‍රායෝගිකත්වයක් ධර්මයේ තියෙනවා. එතකොට ඒ අනුව තමයි, ‘එහි පස්සික’ කිව්වේ. ‘ඔපනයික’ කියන එක ටිකක් ගැඹුරු වචනයක්. එතනත් තේරුම් ගන්න තියෙන්නෙ, ‘එව-බලව’ කියලා කෙනෙක් කැඳවාගෙන යන්නෙ. එක්කරගෙන යන්නෙ. අන්න ඒ වගෙ ගුණයක් ධර්මයේ තියෙනවා. ධර්මයේ , එක එක තත්වවලට එක්කර ගෙන යන ගතියක් වගෙ එකකට එකක් සම්බන්ධවෙලා තිබෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම්, සම්මා දිට්ඨීය වඩන කොට දන්නෙම නැතුව වගේ සම්‍යක් සංකල්පය, හොඳ සංකල්පය, ඇතිවෙනවා. ඒක වඩන කොට, ඒකට අනුව, හොඳ වචන පිටවෙනවා. එතන ඒ විදියට අර යම් යම් ආකාරයකින් ජීවත් වෙනවා නම් - යම් යම් ආකාරයකට ධර්මානුකූලව ජීවත් වෙනවා නම් - ඒ ඒ තත්වවලට ඉබේම පමුණුවන ගතියක් තියෙනවා. ඔපනයික කියලා කියන්නෙ ඒකයි. ධර්මය විසින් ඇදගෙන යනවා. පමුණුවනු ලබනවා. එහෙම ගුණයක් මේ ධර්මයේ තියෙනවා. ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී’ - නුවණැත්තන් විසින් සවකීය සන්තානයේ, තමන්ගේ සිත්සතන් තුළ, ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමේ ධර්මයක් මේක. තමාටම අන්තිමට ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න ඒ විදියෙ ගුණ සම්භාරයක් තමයි - ගුණ හයක් තමයි - ධර්ම ගුණ හැටියට දක්වල තියෙන්නෙ. ඊළඟට සඟ ගුණ හැටියට - ඒකත් මේ පින්වතුන් නිතර අහලා තිබෙනවා. ‘සුපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවක සංඝො, ඤායපටිපන්නො භගවතො සාවක සංඝො, සාමීචි පටිපන්නො භගවතො සාවක සංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුගලා, එස භගවතො සාවක සංඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති’ - කියල ඔය විදියෙ පාඨයක්. ඒක තුළත් ගුණ නවයක් තියෙනවා. එතකොට, ප්‍රධාන වශයෙන්ම ‘සුපටිපන්න’ කියල කියන්නෙ - ඒ අෂ්ට ආර්ය පුද්ගල සංඝරත්නය නිර්වාණ ගාමී ප්‍රතිපදාවට හරියට, යහපත්ව, පිවිසියා, ඒ ප්‍රතිපත්තියෙ යෙදෙනවා. ඊළඟට ඒ වගේම තමයි, ඒක වඩාත් අවධාරණය කිරීමට, වඩාත් ශක්තිමත්ව, දක්වීමටයි ‘උජුපටිපන්න’ කියන්නෙ. සෘජුව - ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සෘජු මාර්ගයක්. ඒ මාර්ගයට සෘජුවම, කෙලින්ම, අවංකවම බැහැලා කටයුතු කරන බවයි. ඊළඟට ඤාය පටිපන්නො - ක්‍රමවත්ව, එකකින් එකකට හරියට න්‍යායානුකූලව ඒ ප්‍රතිපදාවට බැස්සා. ඒ වගේම සාමීචි පටිපන්නො - නිවනට නැඹුරු හරියාකාරව ගමන් කරනවා. මේ හැම එකක්ම ප්‍රතිපත්තිය පිළිබදවයි කියන්නෙ. ඊළඟට - ‘යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා එස භගවතො සාවක සංඝො’ - එනම් පුගල අටක් හැටියට සතරමග සතර ඵලවලට පැමිණි ආර්යයින් අටදෙනා පිළිබදවයි මෙතන කියවෙන්නෙ. ඒ ගුණ සම්භාරය නිසාම ඒ සංඝයා වහන්සේලා පිළිබදව ඊළඟට කියවෙනවා පූජනීයත්වය. ‘ආහුනෙය්‍ය’ කියලා කියන්නෙ ඈත ඉදලා සිටුපසය ගෙනැල්ලා දෙන්න තරම් වටිනා කියන එකයි. පාහුනෙය්‍ය - තමන්ගේ නිවසෙ පිළියෙල කරගත්තා නම් නැයන් සඳහා හෝ අමුත්තන් සඳහා හෝ ආහාරයක්, පිණ්ඩපාතයේ වැඩියහම ඒකත් පූජාකරන්න සුදුසුයි, ගුණ සම්භාරය නිසා. ඒ වගේම ‘දක්ඛිණෙය්‍ය’ කියල කියන්නෙ විශේෂ පුද පූජා - කර්මඵල විශ්වාස කරගෙන කරන විශේෂ පුදපූජා පවා ලබන්න සුදුසුයි. ‘අඤ්ජලිකරණීයො’ කියල කියන්නෙ ඇඳිලි බැඳ - දොහොත් මුදුන් තබා - වඳින්න සුදුසුයි. ඊළඟට - ‘අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස’ ලෝකයාට උත්තරීතර වූ පින්කෙතක් හා සමානයි, ඒ ගුණ සම්භාරය නිසා, දායක පින්වතුන්ට ඉතාමත්ම උසස් ආනිසංස ලබාදීමට තරම් පින්කෙතක්. අන්න ඒ විදියට කාරණා රාශියක් එතන කියවෙනවා, සඟ ගුණ හැටියට. ඉතින් ඒ තුළින් කොයි වචනයකින් හෝ සංසයා වහන්සේලා පිළිබදව මෙනෙහි කිරීම පවා බුදුපියාණන් වහන්සේ දක්වනවා සංසානුස්සති වශයෙන් කෙනෙකුට ජීවිතයට ආරක්ෂාවක් වගේම අර ගාථාවල තියෙන ආකාරයට ප්‍රබෝධවත්ව පිබිදෙන්න හේතු වෙනවා. කොටින්ම කියතොත්, තුණුරුවන් මෙනෙහි කරන තැනැත්තාට එදිනෙදා ප්‍රබෝධවත්ව දවස ගත කරන්න පුළුවන් වෙනවා.   ඊළඟට කියවෙන එක තමයි එතන කායගතා සතිය. කායගතා සතිය කියල කියන්නෙ මේ අපේ ශරීරයේ ස්වභාවය සිහි කිරීමයි. ඒකත් තුන් ආකාරයකට දක්වනවා. කායගතා සතිය ගැන මේ පින්වතුන් බොහෝ විට අහලා තියෙනවා. බුදුපියාණන් වහන්සේ මේ ශරීර කුඩුව උපමා කරනව දෙකොන ඇරුණු මල්ලකට. ධාන්‍ය පුරවපු, දෙකොන ඇරපු මල්ලක් වගේ. මේකේ තියෙනවා කුණප කොට්ඨාස තිස් දෙකක්. ඒ කුණප කොට්ඨාස පිළිබදව මෙනෙහි කිරීමයි මෙතන කියන්නෙ. හිසකේ ඉදලා යටිපතුල් දක්වා වූ මේ ශරීරයේ විවිධ කොටස් කුණප හැටියට පිළිකුල් වශයෙන් දකීම - කොටින්ම කියතොත්. ‘පටික්කුල මනසිකාර’ කියලා කියනවා. පිළිකුල් වශයෙන් මෙනෙහි කිරීම. ඊළඟට ඒකටම අදාළ එකක් තමයි, මේ කායගතා සතිය ඇතුළටම එකතු කරන එකක් තමයි, අසුභ භාවනාව. දස අසුභයක් සඳහන් කරනවා. මේ ශරීරයෙන් විඤ්ඤාණය ඉවත්වුන හැටියේ, මරණයට පත්වුන හැටියෙ, ඉස්සර ඉන්දියාවෙ තිබුන සිරිත අනුව ගෙනිහිල්ල අමුසොහොනෙ දමනවා. අමුසොහොනෙ දම්මට පස්සෙ ඒ ශරීර කුඩුව දිරා යන ආකාරයෙ විවිධ අවස්ථා දහයක් දක්වනවා, අසුභ කම්ස්ථාන වශයෙන්. මේ ශරීරය වැඩී දවසක් යන්න කලින් ඉදිමිලා, නිල්වෙලා ඊළඟට පණුවන් වහලා, හැරව පිරිලා, අන්තිමට ඇට සැකිල්ලක් දක්වා යන තත්ත්වය ‘දස අසුභ’ හැටියට අවස්ථා 10 කින් දක්වනවා. අන්න ඒවා මෙනෙහි කිරීම. මේ ශරීරය පිළිබදව කලකිරීමයි මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නෙ. සාංසාරික සත්ත්වයා තුළ බලගතුව තිබෙන මේ ශරීරය පිළිබද ඇල්ම - රාගය - තමාගේ ශරීරයටත් අනුන්ගෙ ශරීරයටත් තිබෙන ඇල්ම, මේක තුළින් තමයි සංසාරයේ දිගින් දිගට යන්නෙ. මේ ශරීර කුඩුවට ඇල්ම තියෙන තාක් මේ කුරුල්ලා මෙහෙන් පිටවෙලා ගියත් ආයෙත් කැමැත්තෙන්ම තවත් කුඩුවකට ඇතුල්වෙනවා. තමන්ව කර්මානුරුපව කුඩුවක් මවාගෙනයි ඒකෙන් පිට වෙන්නෙ. තමන්ට ඕන හැටියටම නෙවෙයි තමන් කරපු කර්මානුරුපව කුඩුවක් මැවෙනවා. ඉතින් මැවුනට පස්සෙ ඊළඟට තියෙන්නෙ උත්පත්තිය එක්කම, ජරාව, ව්‍යාධිය, මරණ හය. ඕකයි සංසාර තත්ත්වය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ශරීර කුඩුව ගැන කලකිරීම ඇති කර නොගෙන මේ සංසාරයෙන් නම් මිදෙන්න බෑ කියල. මේකට ඇල්ම ඇති කරගෙන බෑ නිවන් දකින්න. ඒක නිසා අපි අකැමැති වුනත් - ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා - නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනා යම් ප්‍රමාණයකට කායගතාසතිය වැඩිය යුතුයි. කායගතාසතිය කියල කියන්නෙ අමුතු දෙයක් නොවෙයි. අපේ කයේ නියම තත්ත්වය. අපේ කයේ නියම තත්වය අපි බාහිරව ප්‍රදර්ශනය කරන්න කැමති නෑ. නමුත් අපි හිතෙන් සලකා ගන්න ඕන. ශරීරය ඇතුළේ තිබෙන දේවල් පමණක් නොවෙයි බාහිරව තිබෙන හැම එකක්මත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නෙ පිළිකුල් හැටියට. ඇත්ත වශයෙන්ම පිළිකුල් ස්වභාවයක් තිබෙනවා. නමුත් අපි ඒවා ආවරණය කර ගන්නවා. ඒවා ගැන සාමාන්‍ය ලෝකයාට අවබෝධයක් නෑ කෙලෙස නිසා. විඤ්ඤාණය සහිත මේ ශරීරයේ පිළිකුල් ස්වභාවයයි අර මුලින් කියාපු පිළිකුල් භාවනාවෙ තිබෙන්නෙ. දෙකොන ඇරුණු මල්ලක වගේ මේ ජීවමාන ශරීරය තුළ තිබෙන දේ ගැන මෙනෙහි කිරීම. ඊළඟට ඒවගේම මේක මියගියාට පස්සෙ එන තත්ත්වය - ඒක අනාගතයයි. මේ ශරීරයත් ඒ ධර්මතාවට යටයි, මේ ශරීරයත් ඒ වගෙයි කියලා ඒකට ආරෝපණය කරලා, සමාන කරලා හිතීම. ඒ තුළිනුත් කය ගැන කලකිරෙනවා. මේක මේ තත්වයට පත්වෙන දෙයක් නම් මේක ගැන අපි මේ හිතන තරම් උසස් හැටියට මාන්නයක් ඇති කර ගැනීම මෝඩකමක්ය කියන අවබෝධයක් එනවා. ඉතින් ඒ විදියටයි අසුභ භාවනාව. ඒ ක්‍රමයටම තවත් එන එකක් තමයි ‘ධාතු කම්ස්ථානය’ කියල කියන්නෙ. ඒකත් මේ ශරීරය පිළිබද උපේක්ෂාවක් ඇති කර ගන්න - අර ඇලුම් ගැටුම් ආදියෙන් තොරව යම්කිසි උපේක්ෂාවක් ඇති කරගන්න - උපකාර වෙනවා. ඒ කියන්නෙ, මේ ශරීරය ධාතුන් 4 කින් සමන්විත එකක් කියලා හිතීම. මේ අපේ ශරීරයත් අනුන්ගෙ ශරීරත් අතර විශේෂයක් නෑ ධාතු වශයෙන් සලකන කොට. පඨවි, ආපො, තෙජො, වායො කියලා කියන, අපි සාමාන්‍යයෙන් නිදර්ශන වශයෙන් මහ පොළොවත්, ජලයත්, ගින්නත්, වායුවත් කියලා ගන්නා ඒවායින් සකස් වෙච්ච දේවල් තමයි මේ අපේ ශරීර කුඩුව. මේ හැම එකක්ම. අන්න ඒ විදියට ධාතු වශයෙන් මෙනෙහි කිරීම විශේෂයෙන්ම නුවණැත්තන්ට ඉක්මණින්ම ශරීරය පිළිබද උපේක්ෂාවක් ඇති කර ගන්න උපකාර වෙන බව බුදුපියාණන් වහන්සේ දක්වනවා. කොටින්ම කියතොත්, නිර්වාණාවබෝධය සඳහා මේ ධාතු කම්ස්ථානය තුළින් ධාතු හතර ගැනම යම් අවස්ථාවක සිතේ කලකිරීම ඇතිවෙන්න ඕන. සිත මුදා ගන්න ඕන මේ ධාතු හතරෙන්. මොකද, අර කියාපු කුඩුව මැවෙන්න මේ ධාතු හතරෙනුයි. පඨවි, ආපො, තෙජො, වායො කියන ධාතු හතරෙන් තමයි, අර මැටි අනලා ගෙයක් හදන්න වගේ මේ ශරීර කුඩුව මැවෙන්නෙ. ඒක මැවෙන්නෙ ඒවට තියෙන ඇල්ම නිසයි. මේ ධාතු හතර පිළිබදව සියුම් ආකාරයකින් ඇල්මක් අප තුළ තියෙනවා. ඒක ඉවත් කිරීමට තමයි ධාතු කම්ස්ථානය බුදුපියාණන් වහන්සේ වදාළේ. ඒක කරන දෙයාකාරයක් තියෙනවා. මේ ජීවමාන ශරීරයම තමන්ම සලකලා බලනවා. කෙස්, ලොම්, නිය, දත්, ආදී තද ස්වභාවය ඇති දේවල් පඨවි ධාතුව නියෝජනය කරනවා. පඨවි ධාතුවට සාධක මගේ ශරීරයේ තිබෙනවා. කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන්. ආපෝ ධාතුව, දියාරු ස්වභාවයක් ඇති, ජල ස්වභාවය ඇති දේවල් - අර පිත්, සෙම්, සොටු, ලේ, සැරව, මූත්‍රා ආදී වශයෙන් - මගේ ශරීරයේ මේවත් තියෙනවා, ආපෝ ධාතුවට අයිති කොටස්. ඒවගේම තේජො ධාතුවේ ක්‍රියාකාරීත්වය මේ ශරීරයේ තියෙනවා. ඔය උණ ගැනීම, ශරීරයේ ආහාර පැසවීම, ශරීරයේ උෂ්ණය, තාපය, ආදිය දක්වන තත්ව තුළින් තේජො ධාතුවත් ඇතුළත තියනවා. ඒ වගේම වායෝ ධාතුව කියලා කියන මේ අපේ ආශ්වාස ප්‍රශ්වාසය, ශරීරය තුළ එහෙ මෙහෙ ගමන් කරන වාතය. මේ හැම එකක්ම වායො ධාතුවට අදාළයි. මෙන්න මේ ධාතු හතර. ඊළඟට කල්පනා කරනවා මේ ඇතුළත තියන ධාතු හතරත්, පිටත තියන ධාතු හතරත් එකමයි. මේවා ඇතුළත තිබුනත්, පිටත තිබුනත් ධාතු වශයෙන් බලනකොට එකමයි. ඒතකොට ක්‍රම ක්‍රමයෙන් මේක ‘මමය’ ‘මගේය’ කියන මානය දුරු කර ගැනීමටත් උපකාර වෙනවා. පුහුමාන ආදිය ඉවත්වෙනව, මේ හැම කෙනෙකුගේම ශරීරයේ තියෙන්නෙ මේ ධාතු හතරම නේද කියල කල්පනා කරන කොට. ඔන්න ඔය විදියට මේ කායගතා සතිය බුදුපියාණන් වහන්සේ දක්වනවා. ඒකත් මෙනෙහි කරන කොට එදිනෙදා ඒ තුළින් විශාල සැනසීමක් ඇතිවෙනවා. ජීවන ගැටළු තුළින් ඇතිවන කැළඹීම් බොහෝ දුරට නැතිකර ගන්න පුළුවන්. ජීවිතයේ යථාර්ථය දකීමයි මේ කායගතා සතියෙන් කෙරෙන්නෙ. ජීවිතයේ යථාර්ථය දකිනව නම් දිවිනසාගන්න පෙළඹෙන්නෙ නෑ. තමාගේ ජීවිතය කෙටි බව තේරුම් ගන්නවා, මේ ශරීරයේ ස්වභාවය අනුව. ඕවයි කායගතා සතියෙ ආනිසංස. ඒ වගේම දක්වනවා ‘අහිංසාය රතො මනො’ කියල අවිහිංසාව. අටුවාවෙ තෝරන්නෙ මේක කරුණා භාවනාවට විතරක් සීමා කරල. නමුත් අපට හිතාගන්න පුළුවන් අවිහිංසාව කියන එක ආකල්පයක් හැටියටයි මෙතන කෙලින්ම කියවෙන්නෙ. ‘අහිංසාය රතො මනො’ – අවිහිංසාවට කැමති වීම, අවිහිංසාවට ලැදිවීම, අවිහිංසාවට ඇලුම් කිරීම. අවිහිංසාවට ඇලුම් කිරීම කියන එක බොහොම වටින දෙයක් හැටියට බුදු පියාණන්වහන්සේ දක්වනවා. වැඩිපුර ලෝකයා තුළ තියෙන්නෙ හිංසාවට ඇලුම් කිරීමයි. ලෝකයා හැම තිස්සෙම බලන්නෙ තම තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්න අනික් අයට හිංසා කරලා. යම් කෙනෙක් ඇතුළතින් ආකල්පයක් වශයෙන් ගොඩනගා ගන්නව නම් කිසිම කෙනෙකුට හිංසා නොකරන බව, එතන මෛත්‍රියත් කරුණාවත් දෙකම තියෙනව - කරුණාව පමණක් නොවෙයි. මෛත්‍රි - කරුණාමය ආකල්පයකින් යුක්තව ලෝකය දිහා බැලීමයි මෙතන අහිංසාවට ඇලුම් කරනවා කියල කියන්නෙ. අන්න ඒකත් කෙනෙක් එදිනෙදා පුරුදු කරනවා නම්, ඒ තැනැත්තාට ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්. පසුතැවිලි නැතිව ප්‍රබෝධවත්ම පිබිදෙන්න ශක්තියක් එනව අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව ආදී සිතිවිලි පවත්වනවා නම් එදිනෙදා ජීවිතයේ. ඊළඟට කියවෙනවා - ‘භාවනාය රතො මනො’. ඒක පොදුවෙ අපි ගත්තෙ භාවනාවට ලැදියාව කියල. භාවනාවට ලැදියාවත් වටින දෙයක්, භාවනාව කියලා කියන්නෙ මොකක්ද? සිතේ නියමාකාර දියුණුවයි. එතකොට මේ කාලෙ සිත පිළිබදව නොයෙකුත් විදියේ දියුණු කිරීම් - විද්‍යා තාක්ෂණාදියෙන් යම් යම් දියුණු කිරීම් - ගැන කියවෙනවා. උගත්කමින් දියුණු කිරීම් ගැන කියවෙනව. නමුත් බුදුපියාණන් වහන්සෙ දක්වන මේ භාවනාවෙන් කෙරෙන දියුණුව ඊට වඩා විශේෂ දෙයක්. නිවන් කරා යන මාර්ගය. මේ සංසාරයෙන් එතරවීම සඳහා කළ යුතු යම් භාවනාවක් තියනවා නම්, අන්න ඒ භාවනාවට ලැදිවීම. එතන පොදුවෙ භාවනාව කියල කියන්නෙ හිතේ වැඩීම. හිතේ වැඩීම ලැදියාවක් හැටියට. ඒකෙ වටිනාකම තේරුම් අරගෙන, ඒකට මුල් තැන දෙමින් දවස ගත කිරීම වටිනා දෙයක්. ඉතින් අන්න ඒක තුළින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ජීවන වටිනාකම් හයක් මතු කරල දීල තියෙනව මේ ගාථා හයෙන් - බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංසානුස්සතිය, කායගතා සතිය, අවිහිංසාව, ඊළඟට පොදුවෙ භාවනාවට ලැදියාව, භාවනාවට ඇල්ම. ඒ අපේ ජීවිත හැඩගස්වා ගැනීමයි. කොටින්ම අපි දන්නවා, මේ කාලෙ විශේෂයෙන්ම, අසහනයෙන් නින්දට වැටෙන, අසහනයෙන් පිබිදෙන, අසහනයෙන් ජීවිතය ගෙවන පිරිසක් මේ සමාජයේ වැඩි වශයෙන් සිටින්නෙ. ඒ අසහනකාරී තත්ත්වය ඇතිවෙන්නෙ එදිනෙදා සිතිවිලි වැරදි ආකාරයෙන් පවත්වන නිසා. දැන් මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න ඕන නෑ, නොයෙක් මාධ්‍ය ඔස්සේ හිත යොදන පින්වතුන්, එදිනෙදා ජීවිතය ගත කරන හැටි, දිවා රාත්‍රී ගත කරන හැටි. විශේෂයෙන්ම රාත්‍රී කාලය ගත කරන හැටි. කොයි විදියෙ දේවල් එක්කද, කොයි විදියෙ සිතුම් පැතුම් එක්කද කියල මේ පින්වතුන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒවා තුළින් ඇත්ත වශයෙන්ම ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්ද, දවස සතිමත්ව, හොඳට සැපවත්ව ගත කරන්න පුළුවන්ද, කියන එකට මේ පින්වතුන්ටම සාධක ලබා ගන්න පුළුවන්. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දක්වන වටිනාකම් හය - මේ මාතෘකා හය ඔස්සේ - මෙන්න මේ නාලිකා හයෙන් එකක් තෝරා ගෙන ඒ අනුව සිතුම් පැතුම් පැවැත්වුවොත් බුදු පියාණන් වහන්සේ මෙතන පොරොන්දුවෙන ආකාරයට ‘සුප්පබුද්ධාව’, ඉතාම ප්‍රබෝධවත්ව උදෑසන අවදිවෙන්න පුළුවන්, ප්‍රබෝධවත්ව දවස ගෙවන්න පුළුවන්, සැනසිලිමත්ව දවස ගෙවන්න පුළුවන්. ඒ වගේම සිතේ වැඩීමක් ඒ එක්කම වෙනවා. එතකොට ඒ අනුව අපට හිතාගන්න පුළුවන් මෙතන බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙන මේ වටිනාකම් රාශිය. මේවා අපේ ජීවිතයට ළං කරගන්න ඕන. එන්න එන්නම අපි පරිහානි මුඛයට යන්නෙ ජීවිතයේ නියම සාරධම්, වටිනාකම් පිළිබදව හරි අවබෝධයක් නැති නිසයි. මොකද, බුදුපියාණන්වහන්සේ දක්වනව මේ අපට ලැබිච්ච මනුෂ්‍ය හිත ඉතාමත්ම දුර්ලභ එකක් කියල. මේ සිතේ බුද්ධත්වය කරා දියුණු කරන්න පුළුවන් හැකියාවක්, ශක්තියක්, තියෙනවා. නමුත් අපි කරන්නෙ මොකක්ද? ඉතාමත්ම භයානක අන්දමින් නොයෙකුත් විදියේ නවීන ආටෝප්සාටෝප ජීවිත තුළිනුත්, නවීන විද්‍යාව තුළිනුත් ඉදිරිපත් කරන වටිනාකම් වලට පෙළඹිල ගිහිල්ල, ඇදිල ගිහිල්ල, ඒවා ඔස්සෙ අපේ ජීවිත විනාශ කරගන්නවා. අපේ සිතුම් පැතුම් කිලිටිවන අන්දමේ මාධ්‍යන් ඔස්සෙයි අපි දවස ගත කරන්නෙ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සෙ දක්වනව, අමුතු වියදමක් නැතිව - කිසිම වියදමක් නැතිව – තම තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට අර කියාපු විදියට ප්‍රබෝධවත්ව පිබිදීමට, ඒ අනුව මුළු දවස සැනසිලිමත්ව ගෙවීමට, ඕන ඔය කියාපු සිතිවිලි පරම්පරාවල් තමන්ගෙ චිත්ත සන්තානයේ ඇතිකරගන්න උත්සාහවත් වෙන්න කියල. දැන්, භාවනාව කියන එක, සාමාන්‍යයෙන් කෙනෙක් කල්පනා කරන්නෙ අර පර්යංකයෙන් ඉදගෙන ඉන්න අවස්ථාවේ විතරක් කරන දෙයක් හැටියට. නමුත් මෙතන බුදුපියාණන් වහන්සේ විශේෂයෙන් දක්වන්නෙ අනුස්සති කියල කියන සිහිපත් කිරීමයි. දන් අර කථාන්තරයෙනුත් පේනවා අර දරුවා ගැඹුරෙ, පොතපතේ කියන ආකාරයට ‘අරහං’ ගුණ ආදිය ගැන මොකක්වත් දන්නෙ නෑ. නමුත් බුදුපියාණන් වහන්සෙ දකලත් ඇති. කොහොම නමුත් බුදුපියාණන් වහන්සේ ගැන හැඟීමක් ඇතිකරගෙන, ශ්‍රද්ධාවක් ඇතිකරගෙන, ‘නමො බුද්ධස්ස’ කිව්ව හැටියෙ අර යක්ෂයා බයවුනා. අන්න ඒ විදියට අපි කල්පනා කරන්න ඕන. මේ බුදුගුණයට අපි ළං වෙන්න ඕන අර රාහුල කුමාරය ළං වුනා වගේ. පාණ්ඩිත්‍යය, උගත්කම, අනුව ශාස්ත්‍රීය අන්දමින් දීර්ඝ වචන රාශියක් - පාඨ රාශියක් - තුළින් නොවෙයි. ඒක එකක් වුනත් ඇති. මොකද ඒකට හේතුව? අපට එදිනෙදා ජීවිතයෙ පොතක් කියවනව වගේ තිතිපතා වඩන්න බෑ. දන් මෙතන කියවෙනව - ‘යෙසං දිවා ව රත්තෝ ව – නිච්චං බුද්ධ ගතා සති.’ මේ කියන ගෞතම ශ්‍රාවකය රෑ දවල් දෙකේම නිතිපතා බුද්ධානුස්සතිය වඩනව කියල. ඉතින් නිතිපතා බුද්ධානුස්සතිය වඩන්න නම්, අර වගේ මහා පාඨ රාශියකින් කොහොමද වඩන්නෙ, එදිනෙදා ජීවිතයෙ වැඩ කටයුතුත් එක්ක? නමුත් යම් කෙනෙක් කෙටියෙන් මේවා සළකනවා නම් - අපි හිතමු අර කිව්ව ආකාරයට කෙනෙකුට ‘අරහං’ ගුණය ඉතාමත්ම ප්‍රියයි, ‘භගවා’ ගුණය ඉතාමත්ම ප්‍රියයි - හොඳට ඒක තෝරා ගත්තා නම් සැහෙන වෙලාවක් හිත යොදල, නව ගුණයට හිත යොමු කරලා ඒකට අපි ධර්මතාවක් කියල කියන්නෙ මොකද? දන් අපි නිදසුනක් වශයෙන් කිව්වොත් - ‘අනුත්තරො පුරිසදම්මසාරථී’ කියල කියන්නෙ සත්ත්වයින් දමනය කිරීමෙහිලා ඉතාමත් දක්ෂ රථාචාර්යයෙක් වගේ.’ ඒ වචනය නම් බොහොම දිග වගේ පේන්නෙ. නමුත් ඇතැම් කෙනෙකුට ඒකත් රුචිවෙන්න පුළුවන්. මොකද, ඒකත් සාංසාරික හේතුවක් තිබෙන්න පුළුවන්. අතීතයේ, බුද්ධකාලයේ, බුදු රජාණන්වහන්සේ අංගුලිමාල දමනය ආදිය කරන අවස්ථාවේදී, බුද්ධබලය පෙන්නුම් කරන අවස්ථාවෙදි, ඒව දකල ඇතිකරගත්තු ශුද්ධාව නිසා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපට ස්වභාවික වශයෙන් යම්කිසි ගුණයක් හිතට අල්ලනවා නම්, ඒ ගුණය කෙටියෙන් මෙනෙහි කිරීම තමයි බුද්ධානුස්සතිය කියල කියන්නෙ. ඒක නම් පුළුවන් අර විදියට එදිනෙදා යන එන අතරෙ, විවේක අවස්ථාවල පමණක් නොවෙයි, ‘රස්තියාදු වෙනවා’ කියල කියන අපතේ යන වෙලාවල්වල පවා අර බුදුගුණයට හිත නතු කරලා තමා වඩාගෙන ආපු කම්ස්ථානය වඩන්න අවස්ථාව තියෙනවා. ධම්මානුස්සතිය පිළිබදවත් එහෙමයි. කෙටියෙන් සළකාගන්න මේ ධර්මයේ ස්වභාවය. ඉතින් අපි සවිස්තරව වර්ණනා නොකළොත් මෙන්න මේ සාමාන්‍ය අදහස තේරුම් ගැනීම ප්‍රමාණවත්, කෙනෙකුට. මේකට ‘සතිය’ කියල කියන්නෙ සිහිය. බුදුන් වහන්සේ සිහිපත් කිරීම, ධර්මය සිහිපත් කිරීම, සංසයා සිහිපත් කිරීම. ඒ වගේම තමයි කායගතාසතිය කියන එක. මේකත් අමුතුවෙන් භාවනා ආසනයෙම ඉදගෙන කරන දෙයක් නොවෙයි. අපි හිතමු - කෙල ගැහුවා, වමනයක් කළා. එදිනෙදා ශරීරකෘත්‍යය හා සම්බන්ධ කටයුතු කෙරෙනවා. ඒ අවස්ථාවේ ඒවා නිකං අපතෙ යන්න දෙන්න නරකයි. මේ ‘අපද්‍රව්‍ය’ කියලා නිකං අහක දාන්න නරකයි. එයින් ධර්මයක් දකින්න ඕන. එයින් ධර්මයක් දකින්න ඕන. ඇතැම් කෙනෙක් මේවා අපද්‍රව්‍ය කියලා, අහක දානවා, මේවායින් ප්‍රයෝජනයක් නොගෙන. දන් අපද්‍රව්‍යලින් කොතෙකුත් වැඩ ගන්න බව අපට මේ නවීන විද්‍යාත්මක ලෝකයෙ දකින්න ලැබෙනව. අපි අහකදාන දේවල් සමහරවිට පිටරටවල් වලට ගෙනිහිල්ල විශේෂ නිෂ්පාදන කරලා ගෙනැල්ලා ලොකු ගණන්වලට විකුණනවා. එතකොට ඒ වගේම තමයි කල්පනා කරන්න තියෙන්නෙ. අපේ මේ ශරීරය තුළින් විසිකෙරෙන අපද්‍රව්‍ය වලිනුත් අපි ප්‍රයෝජන ගන්න ඕන, ධර්මානුකුලව . කොහොමද ප්‍රයෝජන ගන්නෙ? අන්න කායගතාසතියට දානවා. කෙළ ටිකත් කායගතා සතියට, මළ මූත්‍රා ටිකත් කායගතාසතියට. ඒ වෙලාවෙත් අපේ සිත වැඩෙනවා. අර භාවනාවෙන් වැඩෙනවා. ඒ තුළින් නිවනට කිට්ටු වෙනව. සසර පිළිබද ඇල්ම අඩුවෙනවා. මේ සංසාරයේ තව තවත් ශරීර කුඩු මවන්න ඇති ඇල්ම නැතිවෙල යනවා. ඉතින් අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නෙ මේක විරාග ධර්මයක් කියලා. මේ චතුරාය්‍යසත්‍ය ධර්මය තුළ තිබෙන්නෙ මේ සංසාරයෙන් ඉවත් වීමයි. ඒ සඳහා යන ගමනක් මේක. ඒ නිසා මේකට ඇල්මක් එක්කම මේ ගමන යන්න බැහැ. ක්‍රමක්‍රමයෙන් මේක පිළිබදව කලකිරීමක් ඇති කර ගන්න ඕන. ‘යථාභූත ඤාණය’ කියල කියන්නෙ ඇත්ත ඇති හැටි දකීම. ඇත්ත ඇති හැටි දකීමත් එක්කම කලකිරීම එන බව බුදුපියාණන් වහන්සේ දක්වල තියෙනවා - අනිවාර්‍ය වශයෙන්. ඇත්ත ඇති හැටි දකලා කල නොකිරී ඉන්න බෑ. ඇත්ත ඇති හැටි යම් ප්‍රමාණයකට දකිනව නම්, ඒ ප්‍රමාණයට සසර ගැන කලකිරෙනව. පැවැත්ම ගැන කලකිරෙනව. ඒ කලකිරීම තුළින් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නෙ. නිවන් දොර ඇරෙන්නෙ. අන්න ඒ නිසා මේවාට හයවෙන්න නරකයි. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, අපේ පරමාර්ථය මේ භයානක සංසාරයෙන් හැකිතාක් ඉක්මණින් මිදීමයි. ඒක නිසා අර ගෙවල් දොරවල්වල තිබෙන බන්ධන - ඒවා කෙසේ වෙතත් අපි කල්පනා කරන්න ඕන අපි උපන්නෙ තනියම, මැරෙන්නෙත් තනියම. මේ සංසාරයෙ අපි තනියමයි යන්නෙ. ඥාති සම්බන්ධකම් තාවකාලිකයි. ඒ නිසා අපේ විමුක්තිය අපටයි අයිති. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. “මටවත් බෑ කෙනෙක් මුදාගන්න. ඒක ඔබටම හාරයි.” කියල. තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. එතකොට අපට නම් මේක අයිති - මේ අපේ සිත, මේ බුද්ධෝත්පාද කාලේ, මේ දුර්ලභ අවස්ථාවේ, මනුෂ්‍ය ආත්ම භාවයේ, අර කියාපු මිනිස් සිත යෙදිය යුත්තෙ ඉතාමත්ම ඵලදායක දෙයකටයි. සාමාන්‍යයෙන් ලෝකෙ කොතෙකුත් දේවල් තියෙන්න පුළුවන් ලාභ ලැබෙන රැකිරක්ෂාවල් එහෙම. නමුත් ඒව නොවෙයි. මනුෂ්‍යාත්ම භාවයෙන් ගතයුතු උපරීම ප්‍රයෝජනය තමයි මේ බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙන්නෙ. වැඩිය යුතු සාරධර්ම හයක් හැටියට දක්වලා තියෙන්නෙ. ඒ නිසා මේ පින්වතුන් නුවණින් කල්පනා කරන්නට ඕන. තම තමන්ගේ ජීවන රටාව තුළ බොහෝ දෙනාට තියෙනව දින චරියාවක්. ඒ දින චරියාවට මෙන්න මේවා එකතු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ හයම බැරි නම් ඒයින් කීපයක් හරි. මෙන්න මේ නාලිකා ඔස්සේ තමන්ගේ සිතුම් පැතුම් යෙදෙව්වොත් ඒ අය ප්‍රබෝධවත්ව පිබිදෙන්න පුළුවන්. අර කියාපු අසහනකාරී තත්ත්ව වලින් මිදෙන්න පුළුවන්. නිවනට, තමන් හිතුවටත් වඩා ඉක්මණින් කිට්ටුවෙන්න පුළුවන් - මේ නියම ලැදියාවල් ඇති කරගත්තහම. බුදුපියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ ධර්මයේ පමුණුවන ස්වභාවයක් තියෙනවා කියලා. ධර්මයේ යෙදෙන කොට ධර්මය විසින් තව තවත් ඉදිරියට කෙනෙක් පමුණුවනවා. මොකද, ධර්මය ඉක්මණින්ම ආනිසංස දෙන නිසා. ධර්මයේ ආනිසංස දකින කොට තව තවත් ඒ මාර්ගයට යොමු වෙනවා. ඉතින් අපට තියෙන්නෙ නියම සාරධර්ම හඳුනාගෙන, නියම රුචිකත්වය ඇතිකරගෙන ඒ මාර්ගයට බැසීමයි. ඒ තුළින්, බුදුපියාණන් වහන්සේ ප්‍රතිඥා කරන අන්දමට අපේ ජීවිතවල තියෙන භයානක පරිහානි තත්ව මහහරවාගෙන යම් කිසි සැනසුමක් ළහාකරගන්න පුළුවන්. මේවා මිල මුදල්වලින් කරන්න බැහැ. අප ළඟමයි මේකෙ රහස තියෙන්නෙ. ඒ බව කල්පනා කරලා මේ පින්වත් පිරිස අද වැනි විටින දවසක - මේ ඇසල පුර පසළොස්වක පෝය දවස කියන්නෙ මුළු මහත් විශ්වයටම බුද්ධ ගුණය, ධර්ම ගුණය, සඟ ගුණය විකාශනය වුන, අවීචියේ සිට අකනිටාව දක්වා විහිදුන ධම් ශක්තියක් ඇති, අවස්ථාවක්. එතකොට, විශ්වය පුරා පැතිරුනු බුද්ධ ශක්තියක්, ධර්ම ශක්තියක්, සංඝ ශක්තියක් තිබෙද්දි, අපි අපේ ජීවිත නොවටිනා දේවල්වලට, නිසරු දේවල්වලට, කැප කරලා මේ ජීවිතේ ගෙවා දැම්මොත්, අපටමයි පසුතැවිලි වෙන්න සිද්ධවෙන්නෙ. අන්න ඒ නිසා නුවණින් කල්පනා කරලා, මේ පින්වත් පිරිස, මේ වටිනා දවසේ ඒ ඒ මට්ටමින් යම් ශීලයක් සමාදන් වෙලා, අර කියාපු ප්‍රතිපදාවට ළං වෙලා කය වචනය හික්මවා ගත්තා. අර වගේ යම්කිසි භාවනාවකින් සිත තැන්පත් කරගෙන මේ කාලය ගතකළා. දන් ධර්මශ්‍රවණ වශයෙන් මේ අවස්ථාවේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම , බල ධර්ම තමන්ගේ චිත්ත සන්තානයේ වඩා ගැනීමට අවශ්‍ය වන කාරණා සිතේ තැන්පත් වෙන්න ඇතිය කියල හිතනවා. ඒ වගේම මේ ඇතිකරගත්තු අධිෂ්ඨානය තුළින් තමතමන්ගේ ජීවිත වඩාත් ආලෝකවත් කරගෙන, කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ සෝවාන් සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාග්‍ය ඵල ප්‍රතිවේධයෙන් මේ ජීවිතයේදීම අමාමහ නිවන් සාක්ෂාත් කිරීමට මේ රැස්කරගත් කුශල සම්භාරය ඒකාන්තයෙන් හේතු වාසනා වේවා! ඒ වගේම මේ ධර්මදේශනාමය, ධර්මශ්‍රවණමය වශයෙන් රැස්කරගත් කුශල සම්භාරය අවීචියේ සිට අකනිටාව දක්වා වූ යම්තාක් සත්ත්ව කෙනෙක් සිටිනවා නම් ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම රාජයන් වහන්සේලාත් අපගේ ඥාතීනුත් ඇතුළු, ඒ හැම කෙනෙක්මත් මේ කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රර්ථනීය බෝධියකින් හැකිතාක් ඉක්මණින් උතුම් අමා මහ නිවනින් සැනසීමට පත්වේත්වා! කියල මේ ගාථාවලින් පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහී…………….’ 17 වන දේශනය නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්පගොචරා’ ’සාරඤ්ච සාරතො ඤත්වා - අසාරඤ්ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති - සම්මාසංකප්පගොචරා’ - යමක වග්ග, ධ.ප. සැදැහැවත් පින්වතුනි, නියම දියුණුවක්, ප්‍රගතියක්, කෙනෙකුට සළසාගන්න පුළුවන් වන්නේ නිස්සාරදේ අතහැරලා සාරවත් දේ පිළිගන්නා තරම් ආත්ම ශක්තියක් ඇත්නම් පමණයි. නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් දකින වැරදි ආකල්පයක් ඇති තැනැත්තාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සරු දේ දකින්න ලැබුනු හැටියේ නිසරු දේ අතහරින වටිනා ප්‍රතිපත්තියක් අපේ පැරණි ශ්‍රී ලංකාවාසීන් තුළ තිබුන නිසා තමයි අද වගේ පොසොන් පොහොය දවසක ඒ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලක්දිවට අරගෙන ආපු සම්බුද්ධ ශාසනය මේ රටෙ මුල් බැස ගත්තෙ. ඒ ශාසනයේ අනාගතයටත් හේතුවන ඒ වටිනා ප්‍රතිපත්තිය පිළිබදව ප්‍රකාශ කෙරෙන ගාථා දෙකක් තමයි අපි අද මාතෘකා කර ගත්තෙ. මේ ගාථා දෙක දේශනා කරන්ට හේතු වුනේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක සැරියුත් මුගලන් මහා ස්වාමීන්වහන්සේලාගේ ජීවිත පිළිබද යම් යම් සිද්ධි මුල් කර ගෙනයි. සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම මේ බුද ශාසනයට එකතු වෙලා සඟ පිරිසට එකතු වෙලා, රහත් බව ලැබුවට පස්සෙ බුදු රජාණන් වහන්සේ සඟ පිරිස රැස් කරල මේ ස්වාමීන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු දී වදාළා. ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා අතර යම් කිසි විචේවනාත්මක අදහස් පළකිරීමක්, කසුකුසුවක් ඇති උනා, බුදුරජාණන් වහන්සේ මේ තනතුරු දීපු ආකාරය ගැන. මූණ බලලා දන් බෙදන්නා වාගේ පක්ෂග්‍රාහී වැඩක්ය බුදුරජාණන් වහන්සේ කළේ. අගසව් තනතුරු දෙනවා නම් දෙන්න තිබුනේ මුලින්ම මහණ වුන පස්වග මහණුන් වහන්සේලාටය. එහෙම නැත්නම් යසකුල පුත්‍ර ප්‍රධාන ඒ පස් පණස් නමගෙන්ය තෝරා ගන්නා තිබුනේ. එහෙමත් නැත්නම් හද්ද වග්ගිය පිරිසේ ඒ තිස් නම අතුරෙන්ය. එහෙමත් නැත්නම් උරුවෙල් කාශ්‍යප ආදී දහසක් සංඝයා වහන්සේලා අතුරෙන්ය කියලා, ඔය විදියට සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ පිළිබදව යම් කිසි දෝෂාරෝපණයක් වගේ කථාවක් යෙදිල ඉන්න කොට බුදු පියාණන් වහන්සේ “කුමක්ද, මහණෙනි, කථා කරන්නේ” කියල අහල කාරණය ප්‍රකාශ කළහම “නෑ, මහණෙනි, මම මූණ බලල තනතුරු දෙනව නොවෙයි. ඒ ඒ අයගේ අතීත ප්‍රාර්ථනා, පාරමී ශක්තිය අනුවයි මම තනතුරු දෙන්නේ” කියල ඉතාමත්ම සවිස්තරව අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ, යසකුල පුත්‍ර ආදීන් වෙන වෙනම ඒ අය අතීතයේ කළ පින් දහම්, පෙර ලබා ගත්තු විවරණ ආදිය ප්‍රකාශ කරල අවසාන වශයෙන් වදාළ සැරියුත් මුගලන් දෙනම අනොමදස්සී බුදුරජාණන් වහන්සේ වෙතින් අගසව් තනතුරු ලබා ගැනීමට නියත විවරණ ලැබූ ආකාරය. ඒ සියලුම ප්‍රවෘත්ති ප්‍රකාශ කරල ඉවර වුනාට පස්සේ සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරල පිරිස ඉදිරියේ ප්‍රකාශ කළා බුදුපියාණන් වහන්සේ ළහට එන්න කලින් සත්‍ය ගවේෂණයේ තමන් වහන්සේලා යෙදුනු ආකාරය. ඒ ප්‍රවෘත්තිය අපි සැකෙවින් සඳහන් කරනවා නම් මේ විදියටයි. මේ පින්වතුන් බොහෝ දෙනෙක් අහලත් ඇති මේ දෙනමගේ වටිනා ජීවත ප්‍රවෘත්තිය. උපතිස්ස කෝලිත කියල බමුණු කුල දෙකක් ඒ රජගහ නුවර තිබුන. ඒ ප්‍රධාන පවුල්වල ඉපදුනා පින්වත් බමුණු මාණවකයින් දෙන්නෙක්. උපතිස්ස කෝලිත යන නම් මේ දෙදෙනාට ලැබුනා. මේ පවුල් කාලයක් තිස්සේම ඔවුනොවුන් මිතුරව සිටියා. ඒ වගේම මේ දෙදෙනාත් ඉතාමත්ම සමීප මිත්‍රයන් හැටියට හැම කටයුතුම එකට කරන්න පටන් ගත්තා. තරුණ කාලයේ දී ඉගෙනීම් ආදිය කරල අවසාන උනාට පස්සේ, සාමාන්‍යයෙන් තරුණයින් යොමුවෙන්නා වගේම විනෝදාංශවලටත් යොමුවෙලා අවුරුදු පතා රජගහ නුවර පැවැත්වෙන ගිරග්ග සමජ්ජ කියල කියන යම් කිසි සමාජ උත්සවයක් බලන්න පුරුදු වෙලා සිටිය. දන් මේ කාලෙ විවිධ ප්‍රසංග, සංගීත රාත්‍රී, ආදී වශයෙන් ඔය තියෙන්නේ, ඒ වගේ දෙයක් වෙන්න ඇති. කඳු මුදුනක පැවැත්වෙන උත්සවයක්. ඉතින් එහෙම සිරිතක් වශයෙන් තිබුණ නමුත් එක අවුරුද්දක, එක අවස්ථාවක, ඒ ගිරග්ග සමජ්ජ උත්සවය බලන අතරේ - ඒ වෙනකොට මේ දෙන්නාගේ සාංසාරික බුද්ධිය මුහුකුරා ගිහිල්ල, මෝරල, තිබුන නිසාදෝ - වෙනද වගේ සිනහ විය යුතු තැන් වල සිනහ වෙන්නෙ නෑ. සංවේගය දක්විය යුතු තැන්වල සංවේගය දක්වන්නේ නෑ. තෑගි දිය යුතු තැන්වල තෑගි දෙන්නේ නෑ, කලකිරිල වගේ බලාගෙන ඉන්නවා. දෙන්නාට දෙන්නා කතා කරල බලන කොට සමාන අදහස්. මොකක්ද අදහස? මේකෙ කිසි ගතයුත්තක් නෑ. සාරයක් නෑ. නිස්සාර දෙයක්, මෙතන මේ නටන, වයන, ගයන, අය අවුරුදු 100 ක් යන්න කලින් මරණයට පත් වෙනවා. මීට වැඩිය අපිට වටිනවා මේ සංසාරයෙන් මිදීමේ විමුක්ති මාර්ගය සොයාගෙන යාම කියල දෙන්නම එකමතිකව ඊළඟට සාකච්ඡා කළා. දන් අපි විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් පැවිද්දක් ලබා ගන්න ඕන. කා ළඟද පැවිද්ද ලබා ගන්නේ? කියල රජගහ නුවර ඒ කාලේ ප්‍රසිද්ධව සිටියෙ සංජය කියල පරිබ්‍රාජකයෙක්, විශාල පිරිසක් ඇතිව. තීරණය කළා එතෙනට ගිහිල්ල පැවිදි වෙන්න ඕන කියල. තමන්ගේ රථවාහන ආදී විශේෂ පරිවාර සම්පත් ආපසු යවල 500 ක් දෙනා එක්ක සංජය පරිබ්‍රාජකයා ළහ පැවිද්ද ලබා ගත්තා. එහෙම ලබාගෙන මේ ඉතාමත් තියුණු ප්‍රඥාව ඇති අය නිසා ටික දවසකින්ම සංජය පරිබ්‍රාජකය දනගෙන සිටිය ඒ ඔක්කොම, ඒ ඉගැන්වූ හැම දෙයක්ම, ඉගෙනගෙන ආචාර්යයන් වහන්සේගෙන් ඇහුවා “ඔබ තුමා මීටත් වඩා යමක් දන්නවද?” කියල. “නෑ මෙච්චර තමයි මම දන්නේ. මීට එහාට යමක් මට කියන්න පුළුවන් කමක් නෑ.” කියල කිව්වහම, එහෙම නම් මෙතන ඉදීම නිස්සාරයි. අපි සත්‍යය සොයන්න ඕන, තනි තනිව කියල මේ දෙදෙනා කතිකා කර ගත්තා අපි දෙන්නාගෙන් යම් කෙනෙක් විමුක්ති මාර්ගය, එහෙම නැත්නම් නිවන, ලබා ගත්තා නම් අතිත් එක්කෙනාට කියන්න ඕන කියල. ඒ ඒ තැන්වලට ගිහිල්ල ආචාර්යවරුන් හමුවෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ එක ආචාර්යවරයකුටවත් මේ දෙදෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනා. ඒ අයගේ ප්‍රශ්න වලට මේ දෙන්නා උත්තර දෙන්න සමත් උනා. ඔහොම කලක් යන අතරේ - ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමය පිළිඅරගෙන රජගහ නුවර වැඩ වාසය කරන අවස්ථාවක්. අර පස්වග මහණුන් වහන්සේලා අතුරින් අස්සජී ස්වාමීන් වහන්සේ එක දවසක් දා පිණ්ඩපාතෙ වඩිනවා. එදා මේ උපතිස්ස කියන පරිබ්‍රාජකයා - මේ අපි දැන් සැරියුත් ස්වාමීන් වහන්සේ නමින් හඳුන්වන ඒ උපතිස්ස පරිබ්‍රාජකයා - තමන්ගේ ගෙදර ඉදලා ආහාර පාන අරගෙන ඉවරවෙලා පරිබ්‍රාජකාරාමයට යන්න පිටත් වුනු ගමන් මේ ස්වාමීන් වහන්සේ දකලා, “මම මේ වගේ කෙනෙක් කවදාවත් දකලා නෑ. මේ වගේ ශාන්ත ඉන්ද්‍රිය ඇති, බොහොම තැන්පත් ඉරියව් ඇති මේ වගේ කෙනෙක් දැකල නෑ. එක්කො රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් අරහත් මාර්ගයට ඇතුල් වුන කෙනෙක් වෙන්න ඕන. මේ වෙලාවේ එක පාරටම කථා කරන්න හොද නැහැ පිණ්ඩපාතේ වඩින නිසා” කියලා පිටි පස්සෙන් ගිහිල්ල, ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයෙ වැඩලා අවසානයේ වළදන්න සුදානම් වෙනකොට ඒකට නිසි ආසනයක් එහෙම සකස් කරලා දීලා තමන්ගේ පැන කෙණ්ඩියෙන් පැන එහෙම දීලා වතාවත් කරලා, හැම උපස්ථානයක්ම කරල ඉවර වෙලා වළදලා ඉවර උනාට පස්සේ ස්වාමීන් වහන්සේ ගෙන් අහනවා “ඈවත්නි ඔබේ ආචාර්යවරයා කවුද? මොකක්ද ඔබ අනුගමනය කරන ධර්මය? ඔබේ ඉරියව් එහෙම බොහොම ප්‍රසන්නයි. ඔබේ වර්ණය, සමේ පැහැය, ඉතාමත් ප්‍රභාවත්” කියලා ඊළඟට ඉල්ලා සිටිය “මට ඒ ධර්මය කියන්න” කියලා. එතකොට අස්සජී ස්වාමීන් වහන්සේත් ඉතාමත්ම නිහතමානීව ප්‍රකාශ කරනවා. “මම මේ නවක පැවිද්දෙක්, අලුතෙන් පැවිදි උන කෙනෙක්. මට දිග බණක් කියන්න, විස්තර සහිතව බණ කියන්න බෑ.” එතකොට උපතිස්ස පරිබ්‍රාජකයා කියනවා, “මගේ නම උපතිස්ස. මට ටිකක් කිව්වත් ඇති. වැඩිය වචන කියන්න ඕනෙ නෑ. මට ඕනේ අර්ථය විතරයි. මූලික හරය විතරයි. ඒ ටික කිව්වොත් මම තේරුම් ගන්නවා.” කියලා ඒ විදියට පැවරුවා. අන්න ඒ අවස්ථාවේ දී අස්සජී ස්වාමීන් වහන්සේ දේශනා කළ ගාථාව ඉතාමත්ම සාරවත් ගාථාවක් - පටිච්චසමුප්පාද ධර්මයේ සම්පූර්ණ හරය, මූලික ධර්ම න්‍යායය ඉදිරිපත් කෙරෙන විදියෙ වටිනා ගාථාවක්. යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ තෙසංච යො නිරෝධො - එවං වාදි මහා සමණො ‘හේතුන්ගෙන් හටගත් යම් ධර්මයෝ වෙද්ද, ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවායේ නිරුද්ධ වීම - නැති වී යාම ද - ප්‍රකාශ කළා. මෙන්න මේ විදියේ ධර්මයකුයි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ’ කියන එකයි ඒ ගාථාවේ අදහස.   මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත්, ඒ උපතිස්ස පරිබ්‍රාජකයාගේ පුණ්‍ය ශක්තිය, නුවණ කොයි තරම් තියුණුද කියතොත්, මුල් ගාථා පද දෙක අහලම සෝවාන් එලයට පැමිණියා. යම් ධර්ම හේතුවෙන් හට ගත්ත ද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා කියලා කියනව අහනවත් එක්කම සෝවාන් වෙලා ඉවරයි. ඉතිං ඊළඟට ගාථාව සම්පූර්ණ උනාට පස්සේ උපතිස්ස පරිබ්‍රාජකයා ස්වාමීන් වහන්සේගෙන් අහනවා “කොතනද ඒ අපේ ශාස්තෘන් වහන්සේ වැඩ වාසය කරන්නේ” කියලා. වේළුවනාරාමයෙයි කිව්වාම ඒ යන පාර අහගෙන, “මට තවත් වැඩක් තියෙනවා. මගේ යාළුවෙක් ඉන්නවා, එයත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා මෙන්න මෙහෙම සත්‍යය, අමෘතය, සොයා ගත්තොත් නිවන සොයා ගත්තොත් කියනවා කියල. ඒ පොරොන්තුව ඉෂ්ට කරලා මම එන්නම්. ඔබ වහන්සේ කලින් වඩින්න” කියලා අස්සජී ස්වාමීන් වහන්සේ යවල ඊළඟට මේ උපතිස්ස පරිබ්‍රාජකයා ගියා අර පරිබ්‍රාජකාරාම දිහාවට. යනකොට ඇතදීම දක්කා. ඒ කෝලිත යාළුවා දකලා ’අද මගේ යාළුවාගේ වෙනදා ස්වරූපය නොවෙයි බොහොම ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. සතුටින් ඉන්නේ. එකත් එකටම නිවන ලබාගෙන වෙන්න ඇති’යි කියලා ඔන්න විස්තරේ අහුවාම උපතිස්ස පරිබ්‍රාජකය අර ගාථාව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළා, මේ විස්තරෙත් කියලා “මට මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවුනා” කියලා. ඒ ගාථාව සම්පූර්ණ වෙනවාත් එක්කම කෝලිත පරිබ්‍රාජකයාත් සෝවාන් එලයෙ පිහිටියා. ඊළඟට මේ කෝලිත පරිබ්‍රාජකයා කියනවා “අපි දන් එහෙනම් යමු බුදුපියාණන් වහන්සේ හමුවෙන්න” කියලා. එතකොට උපතිස්ස පරිබ්‍රාජකය කවදත් ආචාර්යවරුන්ට ගරු කරන අයෙක් නිසා ටික කලකට නමුත් ඒ ආචාර්යව සිටිය සංජය පරිබ්‍රාජකයා ගැන හිතලා, කල්පනා කරලා, කියනවා “අපි අපේ ආචාර්යවරයාණන් වහන්සේටත් ගිහිං කියමු මේ අලුත් ප්‍රවෘත්තිය. එක්කො මේ ගාථාව කියනකොටම යම් ධර්මයක් තේරුම් ගනියි. එහෙම බැරි වුනොත් බුදුපියාණන් වහන්සේ දකින්න හෝ යාවී.” කියලා ගියා අර ආචාර්යවරයා හොයාගෙන. සංජය පරිබ්‍රාජකයාත් මේ දෙන්නා දකලා “කොහොමද දරුවෙනි සත්‍යය සොයා ගත්තාද?” කියලා ඇහුවා. ඔන්න ඒ ප්‍රවෘත්තිය කිව්වහම කෙසේ නමුත් ශ්‍රද්ධාවක් වැඩිය පෙන්නුවේ නැහැ. ඒවා ඔක්කොම කිව්වට පස්සේ කියනවා. ‘එහෙනම් ඔය දෙන්නා යන්න. මට නම් යන්න හැටියක් නැහැ.’ ‘මොකද?’ කියලා ඇහුවහම කියනවා “මම මෙච්චර කාලයක් ආචාර්යවරයෙක් වෙලා ඉදලා දන් මට නම් බැහැ අතවැසියෙක්, ගෝලයෙක්, වෙන්න. ඒක හරියට උපමාවට කියනවා නම්, ‘කලින් හැලියක් වෙලා ඉඳලා පස්සෙ කෙණෙස්සක්, හැන්දක්, වුනා වගෙයි.’ මේ පින්වතුන් දන්නව නේ හැලිය අනිත් අයට වතුර දෙන්නේ. හැන්දකින්, කෙණෙස්සකින්, ඒකෙන් ගන්නව. අන්න ඒ උපමාවයි කිව්වේ. මම ඉස්සරවෙලා හැලියක් වගේ ඉඳලා දැන් කොහොමද කෙණෙස්සක් වගේ, හැන්දක් වගේ, වෙන්නේ?” ඒක මට මදිකමක් කියල යන්න බෑහැ කිව්ව. නැවතත් ඊළඟට ඇවිටිලි කරන කොට ඒ දෙන්නා - “එහෙම කියන්න එපා, ආචාර්යයෙනි, මේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්, බුදු කෙනෙක් දන් ලෝකේ ඉපදිල ඉන්නවා. පහළ වෙලා ඉන්නවා. ධර්මය පහළ වෙලා තිබෙනවා. සංඝයා පහළ වෙලා තියෙනවා. මේ හොඳ අවස්ථාවක්” කියල උනන්දු කරනකොට නැවත අහනවා. “දරුවෙනි, මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මෝඩයෝ ද, පණ්ඩිතයෝ ද?” කියල. ඉතින් උපතිස්ස කෝලිත දෙදෙනා කිව්වා “මෝඩයෝ තමයි වැඩියෙන් ඉන්නේ” කියල. “හා, එහෙනම් කමක් නෑ. මෝඩයෝ මෝඩ මා ළහට ඒවි. පණ්ඩිතයෝ ඒ පණ්ඩිත ශ්‍රමණ ගෞතමයාණන් ළහට යාවී” කියලා ප්‍රතික්ෂේප කළා. එහෙම කිව්වට පස්සේ ඉතින් මේ දෙන්නා පිටත් වෙනවත් එක්කම අර සංජය පරිබ්‍රාජකයාගේ පිරිසේ විශාල කොටසක්ම මේ දෙන්නාත් එක්ක යන්න පිටත් වුනා. ඒක දැකල අර සංජය පරිබ්‍රාජකයා, ඇතිවුන ශෝකය නිසා, කටින් ලේ පිට දම්මා කියල සඳහන් වෙනවා. ඒ තරම් ලොකු ශෝකයක් ඇති වුනා කියල. ඉතින් ඔන්න ඔය ප්‍රවෘත්තියයි අපි සඳහන් කළේ. නමුත් මේ ඔක්කොම ප්‍රවෘත්තිය සැරියුත් මුගලන් දෙනම අර අවස්ථාවේදී සංසයා වහන්සේලා ඉදිරිපිට බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළා. අපි මේ තරම් උත්සාහ කළත් අර අපේ ආචාර්ය සංජය පරිබ්‍රාජකයා ආවේ නැතෙයි කියන එකයි අවසාන වශයෙන් කිව්වේ. ඒක කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනව, “එහෙම තමයි ලෝකෙ ස්වභාවය. ඒ සංජය තමාගේ මිථ්‍යා දෘෂ්ටිය නිසා, වැරදි අදහස් නිසා, නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් සැළකුව. ඔය දෙනම තමන්ගේ පණ්ඩිතකම, නුවණැතිකම, නිසා නියම හරය තේරුම් අරගෙන හරය ලබා ගත්ත”යි කියලා ප්‍රශංසා කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථා දෙක වදාළා. ’අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්පගොචරා’ අසාර දෙයෙහි, නිසරු දෙයෙහි, සරුයයි කියා හඟින්නා වූ, සරුය කියන මතය ඇත්තා වූ, ඒ වගේම සරු දෙය පිලිබඳව නිසරුය යන හැඟීම ගත්තා වූ ද, අන්න එබඳු අය වැරදි සංකල්පනාවලට වැරදි අදහස්වලට යටවෙලා, ඒවායේ යෙදිල, ඒවා ඔස්සේ ඒ අය කවදාවත් හරවත් දෙයට, නියම සාරයට, පැමිණෙන්නේ නැත කියල ඒ විදියට එක පැත්තක් ප්‍රකාශ කරල, ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනව. ’සාරඤ්ච සාරතො ඤත්වා - අසාරඤ්ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති - සම්මාසංකප්ප ගොචරා’ නමුත් යම් කෙනෙක් හරවත් දෙය, සරු දෙය, සරු හැටියට තේරුම් අරගෙන, අසාර දෙය, නිසරු දෙය, නිසරු හැටියට තේරුම් අරගත්තා නම් අන්න එබඳු අය සම්‍යක් සංකල්පනාවන් අනුව සිතුවිලි පවත්වමින් නියම හරවත් දෙයට, නියම හරයට පැමිණෙනවා කියන එකයි ඒ ගාථාවේ තේරුම. ඒතකොට මේ ඉතාමත්ම ගැඹුරු අදහස් ඇති වටිනා ගාථා දෙකක්. මේ කථාන්තරයෙනුත් ගාථා දෙකෙනුත් අපට මෙවැනි දවසක හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්, බුද්ධ ශාසනය පිළිබදව, අප අපගේ ජීවිත පිළිබදව. දැන් මෙතන මේ මුල් ගාථාව ගැන විශේෂයෙන් සළකලා බලනවා නම් හොදම නිර්ණය මේ අපි කියපු කථාන්තරයෙම අඩංගු වෙනවා. අර සංජය පරිබ්‍රාජකයාගේ චරිතය. ඒ චරිතය ප්‍රකාශ වෙනවා අර මුල් ගාථාවෙන්. මොකද ‘අසාරෙ සාරමතිනො’ - නිස්සාර වූ දෙය සරු හැටියට ගත්තා. ඊළඟට හරවත් දෙය සරු දෙය, නිසරු හැටියට ගත්තා. ඉතින් ඒ නිසා විටිනා අවස්ථාවක් ගිලිහිලා ගියා. බුදු පියාණන් වහන්සේ දකින්න ශක්තිය තිබුනෙ නැහැ කියන එකයි එතන කියන්නේ. මිථ්‍යා සංකල්පනා වලට ගොදුරු වීම නිසා. ඉතින් මෙතන තව සවිස්තරව කියනවා නම්, මේ ගාථාවේ අර්ථයත් එක්ක, මෙතන මේ නිසරු දේ කියල ගන්න තියෙන්නේ - ‘අසාරෙ සාර මතිනො’ කියන තැන නිසරු හැටියට ගන්න තියෙන්නේ - අපට පේනවා මේ කථාන්තරයෙනුත් අර සංජය පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේ ළහට යන්න මැලි උනේ මොකද කියල හිතන කොට ඒ නිසරු දේ මොනවද කියල. පිරිස් බලයක් තිබුන, ලාභ සත්කාර තිබුණ, කීර්ති ප්‍රශංසා තිබුන. ඔන්න ඔය දේවල් තමයි මේ සංජය පරිබ්‍රාජකයා ලොකුවට ගත්තේ. ඒවා ඔක්කොම නිසරු දේවල්. ඉතිං ඒ නිසරු දේ සරු දේ හැටියට ගත්ත. අර විශාල පිරිසක් - මෝඩයින් නමුත් විශාල පිරිසක් - තමන්ට ඉන්නවා. මහ පිරිස් බලයක් තිබෙනවා. ඒ වගේම අර මාන්නය නිසා හිතුව, “ආචාර්යවරයෙක් මම, මට බැහැ දන් ගෝලයෙක් වෙන්න” කියලා. අන්න ඒවා මෝඩ කල්පනා. ඒ අනුව මිථ්‍යා සංකල්ප කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාග්‍යය අනුව කියනවා නම්, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියල මේ පින්වතුන් කොතෙකුත් කියවලා ඇතිනේ. කාමාශාවන් පිළිබද හැඟීම්, ඊළඟට ද්වේෂය පිළිබද හැඟීම්, හිංසා කිරීමේ හැඟීම්. ඉතින් ඔය විදියෙ කල්පනාවලට යට උනාට පස්සේ දිගටම ඒ පැත්තටමයි ඇදිලා යන්නේ. එතකොට අන්න ඒ දෘෂ්ටියයි. ඒ දර්ශනයයි. ඒ ආකල්පයයි, මුල් ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ. අර සංජය ඒකට හොද නිදර්ශනයක්. ඉතිං අපට ඒ අනුව හිතනව නම් ඇත්ත වශයෙන්ම ඒ කාලයෙ පමණක් නොවෙයි මේ කාලෙත් ඒ කාරණය සතයයි. ලෝකයේ බහුතර කොටස අර කියාපු විදියේ කට්ටිය තමයි. ඒ වගේම බොහෝ දෙනා මිථ්‍යා දෘෂ්ටියට පහසුවෙන් ඇදිලා යනවා. මිස දිටුවලට ඉතාමත් පහසුවෙන් ඇදිල යනවා. අර නිසරු කියලා කියන්නේ කොටින්ම මිසදිටු පැත්තට ගැනෙන දේවල්. ඇත්ත වශයෙන්ම මිථ්‍යා දෘෂ්ටිය කියල කිව්වට, දන් සම්පූර්ණයෙන්ම අසත්‍ය දේවල් වලටත් වඩා සමහර විට භයානක හැටියට පේනවා අර්ධ සත්‍ය කියන ජාතිය. “අර්ධ සත්‍ය” කියල කියන්නේ පින්වතුනි, ඔය අඩාල සත්‍ය, බැලු බැල්මට සත්‍ය වගෙයි පේන්නේ. නමුත් ඇතුළෙ බලනකොට ඒක තියෙන්නේ හිස් දේවල්, බොරු බොල් දේවල්. ඒවායේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අර්ධ සත්‍ය කියන එකට පැරණි වචනයක් තියෙනවා, මේ ශාසනයේ යෙදිලා - “මුග්ග සුප්පතා” කියලා. ‘මුග්ග සුප්ප’ කියලා කියන්නේ මුං ඇට සුප්. මුං ඇට සුප් වගේ කියන එකයි. මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්, දන් ඔය මුං ඇට හොද්දක් එක්ක බත් කනකොට ඉදහිටලා ‘යක්-ඇට’ කැවෙනවා. වැඩිපුර තියෙන්නේ සමහර විට යක් ඇට. අන්න ඒ වගෙයි. ඒ කියන්නේ බාගෙටයි තැම්බිලා තියෙන්නේ. ඒ වගේ තමයි අර අර්ධ සත්‍ය කියන ජාතියත්. ඉතිං ඒ කාලේ වගේම මේ කාලෙත් මුං ඇට සුප් බොහොම ජනප්‍රියයි. විශාල පිරිසක් ඇදිලා යනවා මුං ඇට සුප් වලට. සමාජය දිහා බැලුවහම පෙනේවි මේ පින්වතුන්ට. ඔන්න ඔය විදියයි සමාජ තත්ත්වය. ඊළඟට මිථ්‍යා දෘෂ්ටිය ගැන හිතල බලනකොට, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකේ තියෙන තරම් වැරදිවලින් ඉහළම, ලොකුම, වැරද්ද තමයි - ‘පරම වඡ්‍ජ’ කියල කියනවා - ලොකුම වැරද්ද තමයි මිථ්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මොකද ඒ? හේතු සහිතවයි කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් “ඇයි අපට හිතන්න නිදහස තියෙනවා නේ. අපි අපට ඕන දෘෂ්ටියක් ගත්තට අනික් අයට මොකද?” කියල ඔය විදියට අහන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ ජීවිතයේ පරිහානියට මුල්ම හේතුව තමයි මිථ්‍යා දෘෂ්ටිය. ඒකට හොද නිදර්ශනයකුත් - හොද උපමාවකුත් - එක්කයි බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලාට මිථ්‍යාදෘෂ්ටියේ භයානකත්වය පෙන්නුම් කළේ. ඉස්සෙල්ල කාරණය ප්‍රකාශ කරනවා. “මහණෙනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ඒ හැම එකක්ම ඒ තමා ගත්තු මිථ්‍යා දෘෂ්ටිය අනුවම යනවාය. ඒ තැනැත්තා යම් චේතනාවක් ඇති කර ගන්නවා නම්, ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම්, ඉලක්කයක් ඇතිකර ගන්නවා නම්, යම් ක්‍රියාකාරකම්, ක්‍රියාකාරීත්වයක්, පවත්වනවා නම්, ඒ හැම එකක්ම අර මිථ්‍යා දෘෂ්ටිය අනුවම යනවාය. ඊළඟට ඒවායේ විපාක පක්ෂය, ආදීනව පක්ෂය, මොකක්ද? ඒ නිසා බරපතල අකුසල් විපාක විඳින්න, දුක් ගැහැට විදින්න වෙනවා. අප්‍රිය අමනාප විපාක විදින්න වෙනවයි කියල. ඊළඟට ඔන්න උපමාවට එනවා. ’යම් සේ මහණෙනි, කොහොඹ ඇටයක් හෝ කරවිල ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් පොළොවක පැල කළහම ඒ ඇටයට අද ගන්නා සියලුම පෘථිවි රසයත්, දිය සිරාවත් තිත්ත එලයක්ම ලබා දෙන්න ක්‍රියා කරනවයි. තිත්ත එලයක්ම ලබා දෙනවය. අන්න ඒ වගේ මිථ්‍යා දෘෂ්ටිය ගත්තු කෙනාගේ මුළු ක්‍රියා කලාපයම නරක ප්‍රතිඵල, අනිසි ප්‍රතිඵල, අප්‍රිය අමනාප ප්‍රතිඵල කරා අරගෙන යනවය. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. “ඒ වගේම මහණෙනි සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ඔක්කොම ඒ සම්‍යක් දෘෂ්ටිය අනුව පෝෂණය වෙනවය. ඒ වගේම ඔහුගේ චේතනාවල්, ප්‍රාර්ථනාවල්, බලාපොරොත්තු, ඉලක්ක, ක්‍රියාකාරකම්, හැම එකක්ම ඒ සම්‍යක් දෘෂ්ටියට අනුව සකස් වෙලා අවසානයේ හොද විපාක ලබා දෙනවයි, හොද ආනිසංස ලබා දෙනවයි කියල ඒකට දක්වන උපමාව මේ අනුව හිතා ගන්න පුළුවන්.”මහණෙනි යම් සේ මිදි ඇටයක්, ඇල් වී ඇටයක්, උක් බීජයක් වැනි දෙයක් තෙත් පොළොවක පැල කරහම ඒකට අද ගත්ත පෘථිවි රසය, දියසිරාව, හැම එකක්ම රසවත් එලයක් ලබා දෙනවය. අන්න ඒ වගේ තමයි සම්‍යක් දෘෂ්ටිය” කියල ඔය දෙකේ වෙනස පෙන්නුම් කර වදාළා. ඉතින් ඔය අනුව අපට හිතාගන්න පුළුවන් දන් ලෝකයේ බහුතර සංඛ්‍යාව අර කියාපු විදියට මුං ඇට හොදි ඔස්සේ, එහෙම නැත්නම් අර මිථ්‍යා දෘෂ්ටි ඔස්සේ ඇදිල යන, ඒ පැත්තට ඇදිල යන අය. ඊළඟට දැන් දෙවෙනි ගාථාව. හොදම නිදර්ශනය මේකට. - අමුතුවෙන් මතක් නොකළත් මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් - අර සැරියුත් මුගලන් දෙනමගේ ජීවිතය. උන් වහන්සේලාගේ ජීවිතය ඒක අපට පෙන්නුම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියන කොට අපි හැම දෙනෙක්ම කල්පනා කරන්ට ඕන බුදු පියාණන් වහන්සේ ළහට අපට ආදර්ශ ගන්න තියෙන්නේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේලාගෙන්ය කියලා. ඇත්ත වශයෙන්ම ආදර්ශවත් ඒ අතීත බලන කොට, මොකද නිසරු දේ ඉවත් කරලා නිහතමානීව සරු දේ පිළිගන්නා තරම් ශක්තියක් තිබුන උන්වහන්සේලාට. ගිහි කාලයේදී පවා ඒක දැන් අවස්ථා කීපයකදීම අපට පෙන්නුම් කෙරෙනවා. පළමුවෙනි අවස්ථාව දැන් මේ කථාන්තරයෙන්ම කියවුනා. අර තරුණ වයසේ කවුරු කවුරුත් යන විනෝදවෙන අවස්ථාවල් තමයි ඔය විවිධ ප්‍රසංග, සංගීත රාත්‍රී ආදිය. නමුත් සාංසාරික බුද්ධිය මුහුකුරා ගියාට පස්සේ ඒවා එපාවෙන අවස්ථාවකුත් එනවා. අපි කලින් ධර්ම දේශනාවලින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ මුළු මහත් ලෝකයම පාසලක් හැටියට ගත්තොත් මේකේ ශ්‍රේණි 3ක් තිබෙනවා. අස්සාද, ආදීනව, නිස්සරණ, කියලා. වැඩි වශයෙන් ලෝකයා සිටින්නේ ආස්වාද පක්ෂයෙයි. පංචකාම සම්පත්තිය ඔස්සේ දූවන පිරිසයි වැඩි. ඊළඟට යම්කිසි අවස්ථාවක බුද්ධිය මුහුකුරා යාමෙන්, අත්දකීම් තුළින්, ආදීනව, ඒවායේ තියෙන දෝෂ පැත්තක්, පෙනෙන්න පටන් ගන්නවා. එහෙම පෙනුනට පස්සේ ඊළඟට නිස්සරණ කියන පංතියට පාස් වෙනවා නෙක්ඛම්මයෙන්, පැවිදි වීමෙන්. ඉතින් මෙතනත් අර ඒ බුද්ධිය මුහුකුරා ගියාට පස්සේ අර ඉස්සර සරුය කියලා හිතපු දේ නිසරු හැටියට පෙනුන මේ දෙන්නටම. වෙනදා වගේ හිනාවක් නෑ. සතුටක් නෑ. බුම්මාගෙන වගේ ඉන්නවා කලකිරිලා. අතීත අය ඔක්කොම නටලා විනෝද උනාට මොකද මේ දෙන්නට ඥානය මුහුකුරා ගිය නිසා මේක නිස්සාර හැටියට පෙනුන. ඒ වගේම ඊළඟට ගත්තු පියවර ඒ සියලු සම්පත් අතහැරල පැවිද්දට ගියා. ඒ පැවිදි උනෙත් නිසි තැන නොවෙයි. අර කියාපු සංජය කියන ඒ පරිබ්‍රාජකයා ළහයි. ඉතින් එතනදිත් ‘මේ මගේ ගුරුවරය’ කියලා එතනවත් ලැගලා හිටියේ නෑ. එතන ඒ ඒ දේ ඉගෙනගෙන ඉවර උනාට පස්සේ තේරුණා මෙතන හරයක් නෑ කියලා. ඒකත් අතුරිය. ඊළඟට සත්‍යය සොයන්න පටන් ගත්තා. එහෙම සොයාගෙන ගිහිල්ලා ඔන්න ඉතින් අපට හොදම නිදර්ශනය, නියම සාරවත් දේට ඇදෙන ගතිය, අපට පෙනෙන අවස්ථාව තමයි, අස්සජී ස්වාමීන් වහන්සේ හමුවෙලා අර විදියට ආරාධනා කිරීම. “මට වැඩි වචන එපා. නියම හරය කියන්න” කියලා කිව්වහම අස්සජී ස්වාමීන් වහන්සේ අර තරම් වටිනා, සරල හැටියට පෙනෙන නමුත් මුළ මහත් සද්ධර්මයේම අර්ථ සාරය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය කියන ගැඹුරු ධර්මයේ සාරය, පෙන්නුම් කරන විදියේ ගාථාවක් වදාළ. ඒ ගාථාවේ මුල් පද දෙකකෙන්ම සත්‍යය අවබෝධ කර ගත්ත, ආර්ය සත්‍යය අවබෝධ කර ගත්ත උපතිස්ස පරිබ්‍රාජකයා - ඊළඟට කෝලිත පරිබ්‍රාජකයත් ඒ ගාථාවම අහල. එතනත් අපට තේරෙනවා ඒ ගාථාව ගැන දීර්ඝ විග්‍රහයක් නොකළත්, කෙටියෙන් කියතොත් මේ පින්වත් වැඩිහිටි අය දන්නවා ඇති ඔය පටිච්ච සමුප්පාදය කියලා ධර්මයක් තිබෙනවා. ඔය බොහෝ දෙනා සිල් ගත්තම ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ කියලා අංග 12ක් ඔහොම කිය කියා ඉන්නවා. නමුත් පින්වතුනි. මේක නෙවෙයි පටිච්ච සමුප්පාදයේ හරය. නියම හරය තමයි අන්න අර ගාථාවේ කියන එක. මොකක්ද? ‘යම් ධර්මයන් හේතුන්ගෙන් හට ගත්තා නම් ඒවායේ හට ගැනීමත් බුදුපියාණන් වහන්සේ දක්වූවා. ඒවායේ නිරුද්ධ වීමත් දක්වූවා.’ එතන දක්වන මූලික ධම් න්‍යායය - අපි කෙටියෙන් දක්වුවොත් - ඒක වෙනත් තැන්වල සඳහන් වෙනවා ධර්මයේ : ’ඉමස්මිං සති ඉදං - හොති ඉමස්සුප්පාදා ඉදං - උපප්ජ්ජති ඉමස්මිං අසති ඉදං න - හොති ඉමස්ස නිරෝධා ඉදං - නිරුජ්ජති’ කියලා. මෙය ඇති කල්හි, මෙය - වෙයි මෙහි හටගැනීමෙන්, මෙය හටගනියි මෙය නැති කල්හි, මෙය - නොවෙයි මෙය නැති වීමෙන්, මෙය - නැතිවෙයි ඒක අර මූලධර්මයක්, සිද්ධාන්තයක්. ඒක තුළ තිබෙනව මුළුමහත් පටිච්ච සමුප්පාද ධම්යේ සාරය. මේ ලෝකයා ආත්මයක් හැටියට හිතන, සදාකාලික, නිත්‍ය හැටියට සිතන දේවල් පිළිබදව බුදු පියාණන් වහන්සේලා මතු කරල දෙන පුදුම ධර්මතාව තමයි - ලෝකයේ කවදත් පවතින ධර්මතාව වැහිලයි තිබෙන්නේ මේ අවිද්‍යා අන්ධකාරය නිසා සත්වයාට ඒක - මේ හැම එකකම තිබෙන පුදුම විදියේ අර පටිච්ච සමුප්පාද කියල කියන එකිනෙක අතර ඇති හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව. ඒකයි මේ ගාථාවෙන් හෙළිවෙන්නෙ. ඉතින් ඒක නිසා අර උපතිස්ස පරිබ්‍රාජකයාගේ තියුණු නුවණට මුල්ම පද දෙක ඇහෙන කොටම සෝවාන් මාර්ග ඥානයෙන් සෝවාන් එලය ප්‍රත්‍යක්ෂ වුන. එතනත් අපට පෙනෙනවා අර හරවත් දේ පිළිබඳව. මෙන්න මේක තුළින් අපට පෙනෙනවා ලෝකයේ කොතරම් නිසරු දේ තිබුනත් ලෝකයා ඇදීයන, අපේ උත්සාහය විය යුත්තේ ක්‍රම ක්‍රමයෙන් අප තුළ දියුණුවක් ඇතිවෙන විදියට නිසරු දේ අතහැරලා සරු දේ ලබා ගැනීමයි. කොච්චර කාලයක් නිසරු දේ බදාගෙන හිටියත් වැඩක් නෑ. මේ පින්වතුන් ඔය සමාජයේ තියෙන කතාවක් අහලා ඇති හණමිටි සම්ප්‍රදාය කියලා. හණමිටි බදාගත්තු මිනිහ වගෙයි කියලා. එතනත් මහ දිග කථාන්තරයක් තියෙනවා. කෙටියෙන් සැළකුවොත් මෙහෙමයි. මේ පිරුළට යටින් තිබෙන කථාන්තරය ටිකක් හාස්‍යජනක එකක්. යාළුවෝ දෙන්නෙක් තමන්ගේ ගමින් පිටවුනා ධනය සොයාගෙන ගමින් ගමට යන්න. එහෙම යන අතරේ ඔන්න ඉස්සෙල්ලාම ගියෙ හණ පහසුවෙන් ලබා ගන්න පුළුවන්, විසි කරන්න තරම් හණ බහුලව තිබෙන ගමකට. ඉතින් මේ දෙන්නම හණ මිටි දෙකක් බැඳ ගත්තා. එහෙම බැඳගෙන ඔන්න ඊළඟ ගමට යනවා. යනකොට එතන හණ නුල් ඕන හැටියට ගන්න තියෙනවා. එතකොට අර එක යාළුවෙක් කියනවා අනික් යාළුවට දන් මේ හණ අරගෙන යන්නේ හණ නුල් සඳහා නේ. අපි මේ හණ ටික විසිකරලා හණ නුල් ටික අරගෙන යමු කියලා. අනික් යාළුවා කියනවා ’නෑ නෑ මම මේ හණ මිටිය හොඳට බැඳලයි තිබෙන්නෙ. මේක මට නම් බැහැ අහක දාන්න. ඔයාට ඕන දෙයක් කරගන්න” කියලා. ඉතින් එක යාළුවෙක් අර හණ නුල් ටික ගත්තා. අනික් එක්කෙනා අර පරණ හණ මිටියම අරගෙන ගියා. ඔන්න ඊළහ ගමට යනකොට එතන තියෙන්නේ හණ රෙදි. ඒතෙනදිත් අර විදියට ප්‍රකාශ කළා අර ඥානවන්ත යාළුවා. “දන් මේ හණ නුල් අරගෙත යන්නේ රෙදි සඳහා නේ. අපි මේ හණ රෙදි ටික ගනිමු. ඔය ටික විසි කරලා” කියලා “නෑ ඒකත් එපා. මං මේ අමාරුවෙන් බැඳගෙන ආපු එක මං ගෙනියනවා” කියලා අරන් ගියා. ඔහොම ඔහොම ගමින් ගමට ගියා. කෙටිකරලා කියනව නම්, ඊළඟ ගමේ කපුරෙදි තියෙනවා. ඊළඟ ගමේ යකඩ තියෙනවා. ඊළහ ගමේ පිත්තල තියෙනවා. ඊළහ ගමේ රිදී තියෙනවා. ඊළඟ ගමේ රත්තරං තියෙනවා, ඕන තරම් - විසි කරලා. ඉතින් මේ දෙන්නගෙන් අර නුවණැති යාළුවා අර කලින් තිබුන රිදී පොට්ටනිය අතහැරලා රත්තරං පොට්ටනියක් බැඳගත්තා. අර අනික් යාළුවා තාම හණ මිටියමයි. හණ මිටිය කරගහ ගත්තු එක එක අතහරින්න කැමති නෑ. ඉතින් මේ දෙන්න ඊළඟට තමන්ගේ ගමට ආපසු ගියා. ඒ ගියහම අන්න අර හණ මිටි කාරයගේ පවුලේ අය බොහොම තැවෙනවා, දුක් වෙනවා. මෙච්චර කාලයක් ඉදලා අරගෙන උස්සගෙන ආවේ මේකයි කියලා. අර රත්තරං මිටිය අරගෙන ගිය එක්කෙනාගේ ගෙදර ඔක්කොම දරුමල්ලෝ බොහොම ප්‍රීති වෙනවා, උදම් වෙනවා. ඔන්න ඔය උපමා කථාන්තරයයි තියෙන්නේ. අපි ඉතින් මේ පින්වතුන් කථාන්තරත් අහන නිසයි ඔය ටිකත් කිව්වේ. පිරුළ නම් සමාජයේ බහුලව තිබෙනවා. ඇතැම් කෙනෙකුට ඔය අර්ථයත් නොවැටහෙන්න පුළුවන් නිසා. නමුත් ඔවා දැනගෙන ඉන්න එක හොදයි. මොකද, මේ වැඩි දෙනෙක් ඔන්න ඔය පැත්තටයි යන්නේ. නිසරු දේ ලොකුවට අල්ලා ගන්නවා, ඒවායේ තියෙන තාවකාලික සහනය බලාගෙන. දන් අර සංජය පරිබ්‍රාජකයා අර විදියට මේ අර්ධ සත්‍ය සහිත දේවල් ඔස්සේ ගියෙ මොකද, ඒවාට වැඩි දෙනෙක් ඇදෙනවා. පිරිස් බලය - පිරිස එකතු කර ගන්න පුළුවන් නම්, ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් නම්, ඒක තමයි ක් ලොකු දේ කියලා ගත්ත. මේ සංසාරයෙන් මිදීම - විමුක්තිය - කියලා කියන ඒ උතුම්ම සාරය, මුළු මහත් ජීවිතයේ, පැවිද්දේ, එහෙම නැත්නම්, මේ නෙක්ඛම්මයේ, මූලික අදහස, ඒක ඉෂ්ට කර ගන්න පෙළඹුනේ නෑ. ඉතින් ඔය අනුව අපට හිතා ගන්න පුළුවන් මේ ශාසනයේ අනාගතය ගැන කල්පනා කරලා බැලුවත් මේ බුද්ධ ශාසනය රැක ගන්න නම් ශාසනයේ නියම හරය තේරුම් අරගෙන, ඒ හරය ඉස්මතු කරගෙන අපේ ජීවිත ගෙනයන්ට ඕන බව. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ශාසන පරිහානියට හේතු වන එක කාරණයක් එක අවස්ථාවකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ නැති උනාට පස්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේම තමයි ශාසනය රැක ගන්න ඉතාමත්ම උනන්දූ උනේ. ඉතින් ඒකට හේතුවක් වශයෙනුත් වෙන්න පුළුවන්, එක අවස්ථාවක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනව: “කාශ්‍යප, මේ සද්ධර්මය නැති වෙන්නෙ නෑ, සද්ධර්මය වගේ පෙනෙන ව්‍යාජ සද්ධර්මයක් ලෝකෙ ඇති වෙනතාක් - ‘සද්ධර්මය’ කියල ව්‍යාජ දෙයක්. ඊළඟට ඒකට උපමාව කියන්නේ - දැන් රත්රන් කියන කොට, අපි දන් නිතර පාවිච්චි කරන්නේ රත්රන් කියන වචනය. රත්රන් අමුරන් කියලා දෙකක් පරණ පොත් වල යෙදෙනව. රත්කරලා, පිළියෙල කරලා, සකස් කරලා ගත්තු එකට, රත්රන් කියලා කියන්නේ. අමුරන් කියන්නේ ඒකේ ප්‍රකෘති තත්වය. ඒකට කියනවා ජාත රූප කියලා. අන්න ඒ ප්‍රකෘති වශයෙන් තිබෙන ඒ රන් පවා ලෝකයේ අන්තර්ධාන වෙන්නේ - අතුරු දහන් වෙන්නේ - වෙන දේකින් නොවෙයි. ව්‍යාජ අමුරන් වර්ගයක් ඇති වීමෙනුයි. දන් මේ කාලේ වචනයෙන් කියනවා නම් ‘ඉමිටේෂන්’ – ඉමිටේෂන් විදියෙ එකක් ඇති උනාම තමයි අමු රන් ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. රැවටෙනවා මිනිස්සු මේක අමු රන් කියලා. ඔන්න ඔය විදියෙ දෙයක්ය සද්ධර්මයට වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට වෙන මිථ්‍යා දෘෂ්ටික ආගම්වලට නෙවෙයි, ඇත්ත වශයෙන්ම මේ ශාසනය - මේ ධර්මය - නැති කරන්න පුළුවන්. මේක ඇතුළතින්ම නැතිවෙන්න ඉඩ තියෙනවා. මොකද? ‘සද්ධර්ම ප්‍රතිරූපක’ කියල කියන්නේ සද්ධර්මය වගේ පේන ධර්ම. ඒකත් අන්න අර මුං ඇට සුප් වගේමයි. ඒවටත් බොහෝ දෙනා ඇදිල යන්න ඉඩ තිබෙනවා. ඒක ගැනත් කල්පනාකාරී වෙන්න ඕන මේ බෞද්ධ පින්වතුන්, අනාගතය ගැන හිතන කොට. සද්ධර්මයේ නියම හරය තේරුම් ගන්ට ඕන. මොකක්ද හරය? බුදු කෙනෙක් ලෝකෙ පහලවෙන්නේ මෙතෙක් ඒ කිසිම ශාස්තෘවරයකුට විසඳා ගන්ට බැරිව තිබුනු මේ සංසාර ගැටළුව විමුක්ති මාර්ගයෙන් විසඳුම් දීමටයි. මේ සංසාර විමුක්තිය මතුකර දීමටයි. කොටින්ම කියතොත් නිවනයි පරමාර්ථය සහ හරය. ඒක ධර්මයේ දක්වනවා, බුදු පියාණන් වහන්සේම එක අවස්ථාවක සල් ගහකට උපමා කරලා මහා සාරෝපම කියන සුත්‍රයේදී. දැන් සල් ගහක ඇතැම් කෙනෙක් කොළ අතු රිකිලි කඩාගෙන යනවා. ඒවා විටිනා දේ හැටියට. තවත් කෙනෙක් එලය. නමුත් කලාතුරකින් කෙනෙක් තමයි අර ඒකේ හරය - විටිනා දේ - ගන්නේ. ඒ වගේම මේ ශාසනයෙන් වටිනා නොවටිනා කියලා එහෙම හේදයක් තිබෙනවා. දන් කෙනෙක් පැවිදි උනා කියලා හිතමු. එහෙම නැත්නම් ඒ කටයුතුවලට යොමු උනා කියලා හිතමු. ඊළඟට ලාභ සත්කාර ගලාගෙන එනවා. ඒවා අර කොළ අතු වගෙයි. ඊළඟට පොතු පට්ටා වගෙයි, ඔය ශීලය කියන එක. ඒකත් ලොකු දෙයක් තමයි. අරිට වඩා හොදයි. නමුත් ඒකම නොවෙයි හරය. ඊටත් එහායිනුයි සමාධිය. ඒවා ඔක්කොම පාස් කරලා ගිහිල්ලා ඊළඟට තමයි ඒ අරහත් එලය, එහෙම නැත්නම් ඒ නිවන. මාර්ග එල අවබෝධයෙන් ලබා ගන්න ඒ විමුක්තිය. ඒකම තමයි, මේ ශාසනයේ සාරය, හරය. එතකොට යම් ධර්ම දේශනාවක් ඒ නිවන අමතක කරලා, නිවන පැත්තකට දාලා, තාවකාලික සහනයක් ලබා දෙන ලෞකික පරමාර්ථය කුළු ගන්වනව නම් - අතීතයේ ඒ ධර්ම දේශකයාණන් වහන්සේලා සියළුම ධර්ම දේශනාවන් නිවනින් කුළු ගන්වා ඉවර කළා. නමුත් දැන් බොහෝ විට ධර්ම දේශනා එයින් නොවෙයි සාමාන්‍ය සුලහ ලෞකික පරමාර්ථවලින් තමයි කෙළවර කරන්නේ. ඒකටත් බොහෝ දෙනා ප්‍රියයි. මොකද, මේ එදිනෙදා ජීවිතයේ තාවකාලික ගැටළු සංසිදවා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒ තාවකාලික සහනයකින් සැහීමකට පත් වීම අන්න අර කියාපු නිසරු දේ සරු හැටියට සැළකීමක් වගෙයි. මේ තරම් දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවය එහෙමපිටින්ම පිරිහෙළා ගැනීමක් වගෙයි. ඉතින් ඒ වගේම මේ ධම්දේශනාවලදීත් අපි කල්පනා කරන්නට ඕන, ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, මේ ප්‍රතිපත්ති මාර්ගයේ යෙදෙනවා නම් මාර්ගඵල අවබෝධයෙන් සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් බව. එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා “භාග්‍යවතුන් වහන්ස ගිහිය ද පැවිද්ද ද මේ ශාසනයේ අර ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්නේ?” කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “ඒ ප්‍රශ්නය ඔහොම නොවෙයි. අහන්න තිබුනේ. ඒක බෙදලා ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද, ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා. මේ ප්‍රතිපත්ති මාග්‍යයේ යනවා නම් මාර්ග ඵල අවබෝධය ලබන්න පුළුවන්” කියලා. ඒ විදියට පිළිතුරු දුන්නා. අන්න ඒ අනුව අපි කල්පනා කරන්ට ඕන, මේ ධර්ම දේශනාවකින් ගත යුතු සාරය ඇත්ත වශයෙන්ම මේතාක් දීර්ඝ කාලයක් සංසාරයේ ඒ ජීවිතවලින් නොලැබුන විදියේ සැනසීමක් ලබා ගැනීම බව. මොකද, ධර්ම කථාවලත් අපට දකින්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, කොටින්ම කියතොත් බෝධි සත්ත්වයන් වහන්සේ පවා අනන්ත කාලයක්, ගණන් කියන්න බැරි තරම් අවස්ථාවල තමන්ගේ පුණ්‍ය ශක්තිය නිසා, පාරමී ශක්තිය නිසා, චක්‍රවර්ති රජකම ලබා තිබෙනවා කියලා. මේ සක්විති රජ කෙනෙකුගේ සැප සම්පත් ගැන ඒ ඒ සූත්‍රවල සඳහන් වෙනවා - කියවන කොට මහ පුදුම හිතෙනවා. ඒ තරම් පංචකාම සම්පත්තියට අදාළව, ආයෙ කෙළවරක් ඉවරයක් නැති තරම් පුදුම විදියේ සැප සම්පත් ගොඩක් ඒවායේ කියවෙන්නෙ. නමුත් ඒවාත් නිස්සාර හැටියටයි ඒ සූත්‍ර දේශනා අවසාන වෙන්නේ. “මේ හැම එකක්ම - මේ සංස්කාර හැම එකක්ම - අනිත්‍යයි මහණෙනි. ඒ ඔක්කොම ඒ කියාපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවොත් නෑ. ඒ රජ්ජුරුවන්ගේ අනික් රටවලුත් නෑ. ඒ ඔක්කොම දන් විනාශයි. ඒ අනිත්‍යතාවට යටයි” කියලා ඒ විධියටයි. ඒවායේ නිස්සාරත්වය දක්වන්නයි බුදු පියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය වගේ දේවල් පවා විස්තර කරන්නේ. නමුත් පින්වතුනි දන් මේ කාලේ සාමාන්‍ය රටාව තමයි අන්න අර කියාපු චක්‍රවර්ති රාජ්‍යයට කිට්ටු කරන්නවත් බැරි තරම් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ භෞතික දියුණුව ලොකුවට අරගෙන ඒක හරය හැටියට පෙන්නුම් කරලා, ඒකට විශාල පිරිසක් අද්දවන හැටියට, ධර්මය දේශනා කිරීම. ඒක අර සංජය ප්‍රතිපත්තිය වගේ දෙයක් වෙනවා. සද්ධර්මය ඉක්මණින්ම අන්තර්ධාන වෙනවා. ශාසනය ඉක්මණින්ම පරිහානියට පත් වෙනවා. ඉතින් අද වගේ දවසක අපි ඒ විදියේ දේවල් කල්පනා කර ගන්න ඕන - නුවණැති පින්වතුනි. මොකද දුවන්නත් වාලේ දුවන ගතිය කවදත් පිරිස් අතර තිබෙනවා. විශාල පිරිසක් උනහම එක් කෙනෙක් දුවනකොට අනිත් අයත් දුවල යනවා. හේතුවවත් දන්නේ නෑ. පස්සේ බලනකොට ගන්න දෙයක් නැහැ. හිස් දෙයක්. ඔක්කොම ආපහු හැරෙනවා. ඊළඟට බලනකොට ඔන්න තව තැනකට මිනිස්සු දුවනවා පෙනෙනවා. එතෙන්ටත් දුවනවා. දුවගෙන දුවගෙන ඔක්කොම යනව. ඔක්කොම සම්පත් වියදම් කරගෙන එතෙන්ටත් යනවා. ගිහිල්ලා බලනකොට එතනත් ගන්න දෙයක් නැහැ. ඔහොම මුළු ජීවිතයෙම එතෙන්ට මෙතෙන්ට දුවනවා, මිරිඟුවක් ඔස්සේ වගේ. ඉතින් මේ කියන කථාන්තර වලට නිදර්ශන මේ පින්වතුන් එදිනෙදා ජීවිතයේදී දකින්න ලැබෙන, අහන්න ලැබෙන, කියවන්න ලැබෙන දේවල් වලින් දැනගන්න පුළුවන්. අපි මේ සාමාන්‍ය වශයෙන් කියන ටික. මේ කොයි එකෙනුත් යමක් අපට තේරුම් ගන්ට ඕන. බුද්ධ ශාසනයේ හරය මතු කරගෙන එදිනෙදා ජීවිතයේ සැළකිය යුතු දුරක් යන්ට අපට හැකියාව තිබෙන බව හොදට විශ්වාස කරන්ට ඕන. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවාට යෙදෙනවනම් ප්‍රතිඵල තමන්ට ලබා ගන්ට පුළුවන් අද පවා. නමුත් ඒක පහසුවෙන් ලැබෙන එකක් නොවෙයි. ඒක තේරුම් ගන්ට ඕන. හොද දේ, හරවත් දේ, පහසුවෙන් ලබා ගන්ට බෑ. තණකොල වගාව පහසුයි. ආදායම ටිකයි. ගොවිතැන අපහසුයි. බොහොම දුක් මහන්සි වෙලා කරන්නේ. නමුත් ආදායම හුහක් ලැබෙනවා. අන්න ඒ වගේ කල්පනා කරන්ට ඕනෑ තමන්ගේ චිත්ත සන්තානයට දාන්නේ මොනවාද? තණකොල වගේ වැඩක්ද? එහෙම නැත්නම් බොහොම මහන්සි වෙලා කරන ශීල සමාධි ප්‍රඥා කියන ගොවිතැනද? බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ඒකයි. ඒකත් ගොවිතැන වගේය කියලා ඒ විදියට උපමා කරලා තියෙනවා. ඉක්මණට ඉක්මණට මේ ශීලාදි ගුණධම් වඩන්න කියලා. අර ගොවියෙක් වහිනකොට ඉක්මණට ඉක්මණට ඒ ගොවිතැන් කරන්න වාගේ. මොකද එහෙම කියන්නේ? මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් සද්ධර්මයේම වටිනාම ‘අ’ යන්න වගේ වචනයක් හැටියට දක්වල තියෙන්නේ ‘අප්‍රමාද’ කියන වචනය. අප්‍රමාදව මේ විමුක්ති මාර්ගයේ ගමන් කරලා සංසාර විමුක්තිය සලසා ගන්න. මොකද, සංසාරය භයානකයි. සංසාරය භයානකයි. යටත් පිරිසෙයින් අර සෝවාන් ආදී මාර්ග ඵලයකින් නියත ගතික තත්ත්වයක් ලැබුවේ නැත්නම් මේ හොද ජීවිත ගත කරන පින්වතුන් සමහරවිට - කොයිවෙලාවේ ජීවිත නැතිවෙලා යයි ද කියලා අපිට කියන්න බෑ කොයි වෙලාවක හරි ජීවිතය නැති උනාට නම් - සමහර විට මේ හොදට හිටියට මොකද ඒ තමන්ට මෙතෙක් මනුෂ්‍ය ජීවිතය ලබා දුන්නු පුණ්‍ය ශක්තිය ගෙවිලා අතීත පාප කර්මයක් මතුවෙලා තිරිසන් ආත්මයක, ප්‍රේත ආත්මයක, යක්ෂ ආත්මයක, විදියේ තැනක උත්පත්තිය ලබන්න පුළුවන්. ඒ විදියේ භයානක තත්ත්වයක් සංසාරය පිළිබදව තිබෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය - දෙවියන් පවා උසස් කොට සළකන මේ මනුෂ්‍ය ලෝකයේ, මනුෂ්‍ය ආත්ම භාවය - වටිනා දෙයක් හැටියට සළකලා එයින් ගතයුතු සම්පූර්ණ ප්‍රයෝජනය ගන්ට උත්සාහවන්ත වෙන්න කිව්වේ. ඉතින් මේ ධර්මයේ අන්න අර කියාපු භෞතික පරමාර්ථ පිළිබදව එක්තරා ප්‍රමාණයකින් දක්වෙනවා තමයි. දන් මේ පින්වතුන්ගෙන් ඇතුම් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඇයි අපේ මංගල සුත්‍රයේ එහෙම කියලා තියෙනවා නේද මඟුල් 38 ක්. මඟුල් 38 ක්ම කියලා තියෙනවා නේද? අර විදියට අඹු දරුවන්ට සළකන්න කියලා - ඒ හැම එකක්ම කියලා තියෙනවා නේද? නමුත් පින්වතුනි ඒ ඔක්කොම මඟුල් කෙළවර වන්නේ නිවන් මඟුලෙන්. තිස් අටවෙනි මඟුල නිර්වාණ මංගලයයි. එතකොට ඒක නිසා වෙන්නැති සමහර විට අර ‘පරම මංගල’ කියලා කියන්නෙ නිවන පිළිබදව දේශනා අගදි. ඇත්ත වශයෙන්ම ‘පරම මංගලය’ ඒක තමයි. අන්න ඒක නිසා කෙනෙකුගේ නුවණ දියුණු විය යුතු දෙයක් නම්, ඒතනම ලගින්නෙ නැතුව, හණ මිටි බදාගෙන ඉන්නෙ නැතුව, අර විදියේ මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න ඕන. ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය හිත කියන එක හිතා ගන්න බැරි තරම් මහ පුදුම ශක්තියක් තිබෙන හිතක්, මේ මුළ මහත් විශ්වයේම. ඒ බව දන් මේ පින්වතුන්ට පහසුවෙන් තේරේවි. දැන් ඔය විද්‍යාව කියලා ඒ විද්‍යාඥයින් හිත දියුණු කරල කරන හපන්කම් වලින්. නමුත් ඊට වඩා පුදුම හපන්කම් තමයි අර පාරමී ශක්තිය දියුණු කර ගත්තු බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා අතීතයේ කළේ. ඒව ටිකක් අමාරු නිසාදෝ, ඒ වගේම ඒවායේ ප්‍රතිඵලය සාමාන්‍ය ලෝකයාට ලොකුවට පේන්නේ නැති නිසාදෝ, ඒවා ගැන මනුෂ්‍යයින් උනන්දූ වෙන්නේ නෑ. නමුත් සංසාරයේ භයානකත්වය ගැන මෙනෙහි කරන්ට ඕන. එතකොට ධර්ම දේශනාවක් නම් අපි නිතර මකක් කරන්නට ඕන ඒකෙදි අන්න අර කියාපු අප්‍රමාද පදය. ඊළඟට සංවේග වස්තු කියලා තිබෙනවා. මේවාට උනන්දූ වෙන්ට උපකාර වන දේවල්, මේ සංසාරේ භයානකත්වය, ජීවිතයේ භයානක තත්වය, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඊළඟට අපාය භය. ඔන්න ඔය විදියේ කාරණා නිතර මෙනෙහි කරන්ට ඕන. මරණ සතිය එහෙම. ඒවා මෙනෙහි කරනකොට තවත් උත්සාහය වැඩෙනවා. ඉතින් මෙවයි අපි මේ ධර්මයේ හරය හැටියට ගන්ට ඕන. ඒවා තුළින් අපි මේ ප්‍රමාදයට වැටෙන ගතිය, සසරට ඇදිල යන ගතිය, ලොකුවට ගන්න ගතිය එහෙම නැතුව, අර පැවැත්ම වෙනුවට නැවත්ම අරමුණු කරගන්නවා. මේ සංසාරයේ මෙතෙක් කාලයක් නිස්සාර දිවුමක් දුවලා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවලා තියෙනවා. දැන්වත් මේක කෙළවරක් කරගන්ට ඕන කියන ඒ අවබෝධය ඇතුව මෙන්න මේ ධර්මයේ අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන බුදුපියාණන් වහන්සේ දක්වන අරටුවට ළඟා වන ප්‍රතිපදාවට එන්ට ඕන. නියම අරටුව නම් අර සියල්ලෙන්ම ඉවත් වන, පඤ්චස්කන්ධයෙන් මිදුන විමුක්ති තත්ත්වයයි. බුදු පියාණන් වහන්සේලා ඵල සමාපත්තියට සමවැදිලා අන්න ඒ කියාපු අර පරම මංගලය, ඒ අවස්ථාව, ඒකේ නියම ශක්තිය, අත්දකිනවා. ඉතින් ඊළඟට ඒක තුළින් ලැබෙන ලොකුම සහනය තමයි මේ සංසාරයෙන් අත්මිදීම. ඒ අවස්ථාව දක්වා යාමට නම් අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ යන්ට ඕන. භාවනා වල යෙදෙන්ට ඕන. ඉතිං සාමාන්‍යයෙන් භාවනාව ගැන පවා ඇතුම් කෙනෙක් කල්පනා කරන්නේ මේක මේ තමන්ගේ කායික ආබාධ සුව කර ගන්න කරන, එහෙම නැත්නම් කරන්නන් වාලේ කරන එකක්. දැන් මේ කාලේ හැටියට නම් ඒක විලාසිතාවක්, මෝස්තරයක් බවට පත් වෙලා තියෙනවා. ‘අපිත් භාවනා කරනවා’ කියලා. නමුත් ඒක කරනවයි කියනවට කරන දෙයක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ නියම ආකාර සිතේ වැඩීමයි. ක්‍රමානුකූලව කළ යුත්තක්. සමථ වශයෙන් යම් කිසි සමාධියක් ඇති කරගෙන ඒක තුළින් ඊළඟට මේ ලෝකයේ ඇති අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වන අන්දමට තමාගේ මනසිකාරය - විදර්ශනා මනසිකාරය - පැවැත්වීමයි. ඒ තුළින් එතකොට, ඒ හරය හඳුනාගන්න කොට, නිසරු දේ අතහැරෙන එක ස්වභාවයක්. ඉතින් එක වළක්වන්නත් බෑ. අපි දන්නවා දැන් ගහක් වැඩෙනකොට අර ඉදිච්ච කොළ, වේලිච්ච කොළ වැටෙනවා. උඩින් දලු එනකොට පහළින් කොළ වැටෙනවා. ඒක ඉතිං වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. අන්න ඒ වගේ මේ පින්වතුනුත් ධර්ම ඥානයෙන්, භාවනාවෙන්, දියුණු වෙනකොට කලින් අර උසස් හැටියට සලකපු දේවල් - අර සංගීත රාත්‍රී, විවිධ ප්‍රසංග, - ඒවා නිසරු දේවල් හැටියට, නිකම්ම ‘නාඩගම්’ හැටියට, පෙනෙන්ට පුළුවන්. නමුත් ඒක ගැන හිතන්න නරකයි. දැන් ඔහොම ඔහොම ගියොත් හෙම අපට මේ විනෝද මාර්ග නැති වෙනවා නේද? ආදායම් මාර්ග නැති වෙනවා නේද? ලෝකය ප්‍රීතිය නැති තැනක් වෙනවා නේද? කියලා. ඇතුම් කෙනෙක් සමහර විට ඔය විදියට තර්ක කරන්න පුළුවන්. අන්න ඒ අයට තමයි අපි අර ඇතැම් අවස්ථාවල කියන්නේ, ‘ලෝකවර්ධනලා’ කියලා. ‘න සියා ලෝකවඩ්ඪනො’ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ලෝකවර්ධනයෙක් වෙන්න එපා කියලා. එතකොට මේ මෙච්චර කාලයක් කළේ ලෝක වර්ධනයත්, සොහොන් වර්ධනයත්. දැන් කරන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මෙන්න මේ කියාපු ලෝකයෙන් මිදීමයි. මුළ මහත් සංසාරයෙන් මිදීමයි.   ඒ විමුක්තිය සලසා ගැනීමට ශක්තිය අප තුළ තිබෙනවා. පාරමී ශක්තියත් සමහර විට සැහවිලා තියෙන්න පුළුවන්. මිනිස් සිතක තිබෙනවා ඒවා මතු කර ගන්න පුළුවන්කම්, කුඩා දරුවකු තුළ පවා. අවුරුදු හතක කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කියලා කියන කොට මේ ශාසනයේ, කොයි තරම් මහ පුදුම ශක්තියක් පෙන්නුම් කෙරෙනවාද? මේ ශාසනයේ ඇති නෛයාණිකත්වය, ඒ වගේම අර අකාලික ගුණය කියලා කියන මේ මිහිපිටම මේ අවස්ථාවේදීම මේකේ ප්‍රතිඵලය නෙළා ගන්න පුළුවන් කියන එක නිතර මෙනෙහි කරන්ට ඕන. එතකොට ඒ ධර්මයේ අර සන්දිට්ඨීක, අකාලික, එහිපස්සික ආදී වශයෙන් දක්වලා තිබෙන ගුණ - ධර්මයේ ගුණ - මෙනෙහි කරන කොට තමන් තුළ මේ මාර්ගයේ යන්න වඩාත් උනන්දුවක් ඇති වෙනවා. මොකද, නිෂ්ඵල ගමනක් නෙවෙයි යන්නේ. යම් ප්‍රමාණයකට තමන්ගේ හිතේ මේ ධම්ය වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට එතන එතනම ප්‍රතිඵල තිබෙනවා. ඒ ආනිසංස තිබෙනවා. ඒ ආනිසංස නෙලනකොට තව තවත් උනන්දූ වෙනවා. මේ මාර්ගයේ යන්න - ආනිසංස දකිනකොට. ඒ වගේම අතීත පැත්ත තමයි අර සංවේග වස්තු ආදියෙන්, සමාජයේ කෙරෙන දේවල් වලින්, ඒ හැම එකකින්ම තමන් ලබා ගන්න ඕන මේ සංසාරයේ දුක් ස්වභාවය පිළිබදව නිදර්ශන. කොතෙකුත් ඒ දකින්න ලැබෙන දර්ශන – සමහර දේවල් සමාජයේ වහලයි තිබෙන්නේ. මාරයාගේ ඇටවීම් වගේ ඒක. මාරයාගේ උගුලක් වගේ. සමාජය ගැන කලකිරෙන දේවල්, ලෝකය ගැන සමාජය ගැන කලකිරෙන දේවල්, වහලා දාලයි තිබෙන්නේ. ඒවා දිහා බලන්නත් එපායි කියලා. ඒ විදියේ ආකල්පයක් ලෝකයේ තිබෙන්නේ, නමුත් බුදු පියාණන් වහන්සේ ඒවා මතු කරලා දෙනවා ඔය අසුභ භාවනා ආදී වශයෙන්. සමහර විට ඒවා අප්‍රිය වෙන්න පුළුවන් - ඒ බුදු පියාණන් වහන්සේ දක්වන දේවල්. ඇත්ත වශයෙන්ම අපි ඒවා සමහර වෙලාවට උපමා කරනවා නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩිය එක පාරටම හපුවාම තිත්ත තමයි. නමුත් ඒකේ රසයක් තිබෙනවා. අමෘත කියලා කියන්නේ ඒකයි. “ආමලක” - අමෘත. ඉතිං ඒවගේ මේ ධර්මයේත් තිබෙනවා අමිහිරි බවක් බැලූ බැල්මට. නමුත් ඒකේ යෙදෙන කොට - යෙදෙන්නාට - ඒකේ පුදුම රසයක් තිබෙනවා. අන්න ඒ විදියට කල්පනා කරන්ට ඕන. බාහිර ඔපයට - ආටෝපයට - පෙනුමට - වැඩි දෙනා ඇදී යන පමණින් මනින්න නරකයි. අර සංජය කියාපු කථාව කොච්චර උනත් ඇත්තයි. ටික දෙනයි ලෝකයේ පණ්ඩිතයින් ඉන්නේ. වැඩි දෙනා මෝඩයින්. නමුත් එපමණකින් අපි ඒ වචනය පිළිඅරගෙන එහෙම එක තැනම ලගින්න නරකයි. පාසැලක උනත් අපි දන්නවා ඒ ඒ ශ්‍රේණි වශයෙන් තිබුනත් හැමෝම බලාපොරොත්තු වන්නේ පාස්වෙන්න. දැන් එක පංතියක ඉන්නවා කියලා, එක ශ්‍රේණියක ඉන්නවා කියලා. ඒකෙම රැදිලා ඉන්නෙ නෑ නේ. විභාග වලට ඉඳගන්නේ මොකටද? ඊළහ පංතියට පාස් වෙන්න. ඊළඟට එතෙන්ට ගියාට පස්සේ එතන ලැගගෙන ඉන්නෙ නෑ නේ. දන් මේක මගේ පංතියයි කියලා. ඊළඟට තවත් විභාගයකට ඉදලා ඊට ඉහළ පංතියට යනවා. ඔහොම ඔහොම. ඒ වගේ දෙයක් තමයි මෙතනත්. මේ සංසාරේ අපේ දියුණුවක් තියෙන්ට ඕන. එක තැනම ලැගලා ඉන්නවා. අන්න එක තැනම ලැගලා ඉඳීම තමයි හණමිටි සම්ප්‍රදාය කියලා කියන්නේ.   ඒක නිසා ඒ කාරණා හොඳට නුවණින් සිහිපත් කරගන්න අද වැනි මේ වටිනා දවසක, දන් මේ සාසනයක් රකිනව කියන එක වෙන බාහිර දේවල් වලින්, ගොඩනැගිලි වලින්, රන් වැටවල් වලින්, කරන දෙයක් නොවෙයි. ඒවත් අවශ්‍ය තමයි, මේ ශාසනයේ ශ්‍රද්ධාව ඇති කර ගන්න. නමුත් ඇත්ත වශයෙන්ම මේක හදවතකින් හදවතකට යන පණිවිඩයක් වගෙයි. ඒක නිසා හදවත පිරිසිදු කරගත්තු තරමටයි - අපි හිතමු මවුපියන්ගේ හදවත පිරිසිදුයි. ධර්ම මාර්ගයේ යනවා. දාන, ශීල, භාවනා - ශීල, සමාධි, ප්‍රඥා වඩනව. ඒ පණිවිඩය අන්න දරුවට ලැබෙනවා. ඒ දරුවා ඊළඟට තමාගේ දරුවට දෙනව. අන්න ඒ විදියට ගිහි පරම්පරාව යනවා. සංඝයා වහන්සේලා අතරත් එහෙමයි. සංඝයා වහන්සේලා අතර ආචාර්යවරු ගුරුවරු ඒවායින් වැඩෙනකොට ඔන්න ගෝලයින්ටත් යනවා. ඒ විදියටයි සාසනයක් පවතින්නේ. මේ ශාසනය කියලා කියන කොට දැන්නම් ඉතිං සංඝයා වහන්සේලාට ඒක සින්නක්කරව ලියලා දීලා වගෙයි කල්පනා කරන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මේක අර කණු හතරක් උඩ තියෙන දෙයක් හැටියට වගෙයි, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිස ගැන ප්‍රකාශ කළේ. ඉතිං ඒ විදියට දායකයින්ගෙ පැත්තෙන් ‘අපේ වැඩේ තිබෙන්නේ හොදින් හෝ, නරකින් හෝ, ධාර්මිකව හරි අධාර්මිකව හරි, ධනය ලබාගෙන එයින් කොටසක් සංසයා වහන්සේලාට පූජා කරලා දිව්‍ය ලෝක සම්පත්තිය ලබා ගන්න එකයි,’ කියන එක නොවෙයි. කල්පනා කරන්න තියෙන්නෙ, තමනුත් ඒ ධර්ම මාර්ගයේ යන්න ඕන බවයි. දන් මේ අවස්ථාවේ ඒක දිගට කියන එකක් නෙවෙයි. කලින් සඳහන් කළ අර මංගල සූත්‍රය හොදට බලාගෙන යනකොට පේනවා. ගිහි ජීවිතය අර විදියට අරඹන, හොද පරිසරයක් ඇතිව උත්පත්තිය ලබන ඒ විදියට සකස් වන ගිහි බෞද්ධයා ක්‍රමක්‍රමයෙන් සංසයා වහන්සේලාට ළංවෙලා, ධර්ම සාකච්ඡා කරලා, අන්තිමට නිර්වාණය කරාම යනවා. අන්න ඒ විදියෙ දෙයක් ගිහි පින්වතුන් වැඩියෙන් පාවිච්චි කරන මංගල සූත්‍රයේ පවා අඩංගු වෙනවා. එයින් පේනවා අපට අපේ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා යන එකක් විය යුතු බව. එක තැනම ලැග සිටීමක් නොවෙයි. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ පින්වත් පිරිසට ප්‍රමාණවත් වේය කියලා හිතනවා. මේ ගැන කල්පනා කරලා තමන් ගතයුතු ක්‍රියාමාර්ගය තීරණය කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම එදිනෙදා ජීවිතයේ මේ කාලයේ හැමදෙනා ගැනම පහසුවෙන්ම කියන්න පුළුවන් දේ තමයි, ජීවන රටාව අනුවත් සමාජ තත්ත්වය අනුවත්, පහසු ගමනක් නොවෙයි මේ ධර්ම ගමන. බණ භාවනා කරන්න කාලය සොයා ගැනීම. එදිනෙදා ජීවිතය නොයෙකුත් විදියේ භයානක ආර්ථීක සාමාජික පීඩන තුළින් යන්නේ. නමුත් අපි කලින් අවස්ථාවල කිව්වා වගේ ඒ හැම එකක්ම රුකුලක් කරගන්න ඕන මේ සසරින් මිදීමට, මේ වැඩේ ඉක්මනින් කරගැනීමට. ඒකට තමයි අර වේස්වලාගත් ආශිර්වාද කියලා කිව්වේ. ඇත්ත වශයෙන්ම ඒ විදියෙ දෙවල් නැත්නම් සුඛෝපභෝගී බවටම පෙළඹිලා ඇතැම් කෙනෙක් අධර්ම මාර්ගයටම නැඹුරු වෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව ජීවිතය කෙළවර කර ගන්නවා. නමුත් යම් කිසි කෙනෙකුට ජීවිතයේ දුක තේරෙනවා නම්, සංසාර දුක තේරෙනවා නම්, තමන්ට මේ ජීවිතයේදී ලැබෙන ගැහැට තුළින් අවබෝධ කර ගන්නවා නම් මේ වගේ අනන්ත කාලයක් අපි මේ දුක විඳින්න ඇති, ඒක නිසා අපි මේකට විසඳුමක් සොයා ගන්ට ඕන කියලා, එහෙම හිතුන නම් කෙනෙකුට එතකොට අමාරුවෙන් හරි අර තමන් බුදුපියාණන් වහන්සේ වදාළ ශීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපත්තියට නැඹුරු වෙනවා. ඒ නැඹුරු උනාට පස්සේ අන්න එතකොට අර යන්තම් විවරයක් මතුකරගත්තා නම්, දවසේ විනාඩි පහක් දහයක් භාවනා කටයුතු සඳහා යොදන්න, ටිකෙන් ටික ඒකට රුචිය, ඡන්දය, ඕනෑකම, වැඩිවෙනකොට තමන්ටම තේරෙනවා දැන් ඊට වැඩිය කාලයක් අපට තියෙනවා කියලා. ඒ විදියට යම්කිසි පරිත්‍යාගයක් කරන්ට ඕන. පරිත්‍යාගය කියලා කිව්වේ ඒ ධනසම්පත් නොවෙයි. කාලය. ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයින් දැන් ඉතාමත් පසුබට වෙන්නේ මේ කාලය කියන එක පරිත්‍යාග කරන්නට. ඒ තරමට වැඩ. ඒ තරමට වැඩ. ඒ වගේම තවත් පැත්තක් යනවා මේ හැම එකක්ම පහසුවෙන් කරගන්න. ඒක දැන් මේ නවීන විද්‍යාව නිසා වෙච්ච එකක්. වෙනද අපි බොහොම මහන්සි වෙලා කරන දේ පහසුවෙන් කරගන්න. ඒවයින් සමහර වෙලාවට අපිත් අනියම් අන්දමින් ප්‍රයෝජනය ගන්න බව ඇත්ත. ඔය පොඩි යතුරක් පොඩ්ඩක් කැරකෙව්ව හැටියේ අපි ඉස්සෙල්ල බොහොම අමාරුවෙන් කරපු දේ පහසුවෙන් කෙරෙනවා. නමුත් ඒක අනුව හිතන්න නරකයි මේ ධර්මයත් එහෙමයි කියලා. බොහෝ විට අර මහා දීර්ඝ කාලයක් පාරමී පුරපු කට්ටිය තමයි අර සැරියුත් ස්වාමීන් වහන්සේලා වගේ ඉතාම සුළු වෙලාවකදී ධර්මය අවබෝධ කළේ ගාථාවක් අහල කියලා. එපමණකින් හිතන්න නරකයි මේ ධර්මයෙන් වැඩක් නෑ කියල. ඒ සඳහා කොයිතරම් කාලයක් අර සැරියුත් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන්න ඇත්ද, පාරමී පුරන්න ඇත්ද, අර ගාථා පද දෙකෙන් සෝවාන් වෙන්න. අන්න එහෙම කල්පනා කරල අපි හිතාගන්න ඕන අපට එච්චර පුණ්‍ය ශක්තියක් නැත්නම් අපි ඒ පුණ්‍ය ශක්තිය ඇතිකර ගන්න ඕන කියල මේවායේ යෙදීමේ. ඒක නිසයි ඒවා ඒ පරිත්‍යාගය කියලා කියන්නේ. අන්න අර කාලය, ශ්‍රමය - වෙන දේවල් වලට වැය කරන කාලය ශ්‍රමය - මෙන්න මේ ධර්මය වෙනුවෙන් වැය කරන්ට ඕන. මොකද, මේක හැමදාම කරන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. බුධෝත්පාද කාලයක පමණයි, නිර්වාණ මාර්ගය විවෘත වෙන්නේ. එහෙම කල්පනා කරගෙන එතකොට මේ පින්වතුන් තම තමන්ටම තමයි ශාසනය රැකගන්ට තිබෙන්නේ. තමන් රැක ගන්න ශාසනයයි, මේ අපි කියන්නේ ජාතියක් රැක දුන්නයි මේ ශාසනය කියල. ඒ විදියට අපි ප්‍රකාශ කරන්නේ ඒ ඒ පුද්ගලයා තුළ අර විදියට ශාසනය වැඩෙනව නම් තමයි. එහෙම නැත්නම් ඒ වැඩෙන ශාසනය අන්න අර විදේශිකයින් ඇදගෙන එන, පෙනුමට තිබෙන, ඒ ඒ තැන්වල ගිහිල්ල බලන්ට තිබෙන, ශාසනයක් විතරයි. ඒක නියම දියුණුවක් නෙවෙයි. ඒක හිස් දෙයක්, බොල් දෙයක්. ඒක නිසා මේ හැම කෙනෙක්ම තම තමන් ධර්ම මාර්ගයේ යමින් කල්‍යාණ මිත්‍රයෙක්, උනානම් ඒ තුළින්, කල්‍යාණ මිත්‍ර ශක්තියක් තුළින්, මේ ශාසනය වැඩෙනවා. බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළේ ආනන්ද හාමුදුරුවන් කිව්වහම එක් අවස්ථාවක - ඒක අපි නිතර මතක් කරල දීල තිබෙනවා - එක් අවස්ථාවක ප්‍රකාශ කළහම මේ ශාසනයෙන් භාගයක් තරම් කල්‍යාණ මිත්‍රතාව වටිනවා කියලා. ’නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා. මුළු මහත් ශාසනයම කල්‍යාණ මිත්‍රතාවය” කියල. එතකොට හැම කෙනාගෙම පරමාර්ථය විය යුත්තේ තමන් ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තියට අදාළ ගුණ සම්භාරය දියුණු කරගෙන තමන්ගේ මට්ටමින් ඒ තම තමන්ගේ ගෙදර දොරවල්වල දූ දරුවන්ට, නෑ හිතවතුන්ට, මිතුරන්ට, ආයතනවල අනිත් අයට, තමන් දන්නා පමණින් ධර්මයෙන් සංග්‍රහ කරමින්, දන්නා පමණින් කියල දීල - මිථ්‍යා දෘෂ්ටි නෙවෙයි - තමන් හරියට දන්නව නම් මේ දේ හොදයි කියල, ඒක කියල දෙන්ට ඕන. ඒ විදියට උත්සාහවත් කරල අන්න එහෙම යන ගමන තුළින් තමයි ශාසනයේ දියුණුව සැලසෙන්නේ. එතකොට මේ වචන කීපයෙන් මේ පින්වත් පිරිසට අද වැනි මේ පොසොන් පෝය දවසක මතක තියාගෙන ක්‍රියාත්මක කරන්ට අවශ්‍ය දෙයක් කියවුනා කියලා හිතනව. ඉතිං මේ පින්වතුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයේ හැටියට යම් ශීලයක් සමාදන් උනා. ශීලය මේ සමාජයට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මේ හීලැකම. ඒ තරමටම දුශ්ශීල භයානක අපරාධ කෙරෙන සමාජයක් ඒ පැත්තෙන් බැලුවත්. විටිනා ශීලයක් සමාදන් වෙලා බණ භාවනා වලට යොමු වෙලා මේ අවස්ථාවේ පැයක් පමණ ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ තුළින් මේ පින්වතුන්ට යම් ශ්‍රද්ධාවක්, විර්යයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් ඇති උනා නම් ඒකම තමයි යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රියයක් බලයක් වෙලා මේ පින්වතුන්ට ලෝකෝත්තර මාර්ග එල අවබෝධ කරල උතුම් වූ අමාමහ නිවතින් සැනසෙන්ට ශක්තිය ලබා දෙන්නේ. එතකොට මේ ධර්ම ශ්‍රවණය තුළින් මේ පින්වතුන්ට ඒ උපනිශ්‍රය සම්පත්තිය අනාගතයට නෙවෙයි මේ ජීවිතයේම මේ ශක්තිය උපකාර කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සෝවාන් සකදාගාමී, අනාගාමී කියන මාර්ග ඕස්සේ අර්හත්වය දක්වාම ගමන් කරන්ට ශක්තිය බලය ලැබේවා කියලා ඒ විදියට ප්‍රාර්ථනා කර ගන්ට ඕන. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා යම් සත්ත්ව කෙනෙක් පින් අනුමෝදන් වෙන්ට, කුසල් අනුමෝදන් වෙන්ට, කැමති නම් අපගේ මිය ගිය ඥාතීනුත් ඇතුළු, ඒ හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් අද දින රැස් කර ගත්ත කුසල සම්භාරය අනුමෝදන් වේත්වා, අනුමෝදන් වී ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කර ගනිත්වා! කියල ප්‍රාර්ථනා කරමු. එහෙම හිතමින් මෙන්න මේ විදියට ගාථා කියල පින් දෙන්න. ‘එත්තාවතා ච අම්හෙහි…………..’ 18 වන දේශනය නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’සහස්සම්පි වේ ගාථා - අනත්ථපදසංහිතා එකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති’ - සහස්සවග්ග, ධ.ප - බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී, එක්තරා පිරිසක් ඉන්දියාවේ-දඹදිව -ඈත ප්‍රදේශයක ඉඳලා මුහුදට පිටත් වෙලා ගියා නැවකින්. ලොකු පිරිසක්. නැව මුහුද මැද දී කැඩිලා ඒ මිනිස්සු හැම දෙනෙක්ම වාගේ මුහුදු බත් වුණා. එක්කෙනෙක්, බාහිය කියල නම ඇති එක මනුෂ්‍යයෙක් පමණක් ලැල්ලක් අල්ලාගෙන පීනලා පීනලා අමාරුවෙන් සුප්පාරක පටුනට ගොඩ බැස්සා. මේ අවස්ථාව වෙන කොට මේ මනුෂ්‍යයට හරියට වස්ත්‍රයකුත් නෑ. ලී කැබලි එකතු කරල, පොඩි පොඩි ලී කැබලිවලට ගස්වල පොතු එහෙම සම්බන්ධ කරල, වස්ත්‍රයක් හදාගත්තා. ඊළඟට ඒ සුප්පාරක පටුනේ ගම්වලට පිණ්ඩපාතයේ ගියා. එතකොට මේ තැනැත්තාගේ අමුතු ඇඳුම නිසා මනුෂ්‍යයින් මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ලොකු ගෞරවයකින් පූද සත්කාර කළා. මේ තැනැත්තත් ඉතින් කලක් යනකොට හැදින්වුනේ බාහිය දාරුචීරිය කියල. දාරුචීරිය කියල කියන්නේ අර වල්කළා - එහෙම නැත්නම් ගස්වල පොතු වලින් හදාගත්තු වස්ත්‍රයක් - ඇදගෙන ඉන්න නිසා. ඒ වගේම තාපසයෙක් හැටියට මේ තැනැත්තා කාලය ගත කරනවා. හැමෝම රහතන් වහන්සේ කෙනෙක් කියල කියන නිසා හිතුනා ‘මම සමහර විට රහත් කෙනෙක් වෙන්න ඇති’ කියලා. මේ විදියට හිතිවිල්ල ඇති වෙනවත් එක්කම මේ තැනැත්තාගේ අතීතයේ ඥාති සම්බන්ධතාවක් ඇති දේවතාවෙක් ඉදිරිපත්වෙලා කීව, “බාහිය ඔබ රහත් කෙනෙක් නෙවෙයි. රහත් මාර්ගයට පිළිපන් කෙනෙක්වත් නෙවෙයි”. “එහෙම නම් කවුද රහත් වෙලා ඉන්නෙ ලෝකේ” කියල ඇහුවා. එතකොට ‘අන්න උතුරු දිශාවේ සැවත් නුවර වැඩ සිටිනවා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. උන් වහන්සේයි මේ තත්ත්වයට පැමිණිලා තියෙන්නේ’ කියල කිව්ව.   ඒ එක්කම ඒ තැනැත්තාට විශාල ශ්‍රද්ධාවක්, ලොකු ඕනෑකමක්, ඇති උනා බුදු පියාණන් වහන්සේ දකින්න. මහා දුර මාර්ගයක්. යොදුන් ගණක් දුර මාර්ගයක්. ඒ ඒ තැන්වල එක් රැයක් පමණක් නවතිමින් දීර්ඝ මාර්ගය ගෙවමින් මේ තැනැත්තා ගියා බුදු පියාණන් වහන්සේ සොයාගෙන. එතකොට එක දවසක්දා උදේ වරුවෙමයි සැවත්නුවර ජේතවනාරාමයට පැමිණියේ. පැමිණෙන වෙලාව වෙනකොට සංසයා වහන්සේලා එළිමහනේ සක්මන් කරමින් සිටිනවා. දුවගෙන ඇවිල්ලා ඇහුවා, “කෝ අර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන් වහන්සේ දකින්නටයි මම මේ තකහනියක් ආවේ” කියලා. ඒතකොට සංසයා වහන්සේලා කීවා “බාහිය, බුදුරජාණන් වහන්සේ ඔන්න පිණ්ඩපාතේ වැඩම කළා” කියලා. බාහිය එතනින් නැවතුනේ නෑ. ඊළඟට පස්සෙන් දුවගෙන ගියා. බුදු පියාණන් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වඩිනවා දකිනවත් එක්කම විශාල ශ්‍රද්ධාවක් ඇති වුනා. ඉතාම ශාන්ත, ඒ උපශාන්ත ඉන්ද්‍රියයන් ඇති බුදුරජාණන් වහන්සේ දැක්ක හැටියෙම, පා ළහ වැද වැටිලා “අනේ, භාග්‍යවතුන් වහන්ස මට ධර්මය දේශනා කරන්න කියල” ඉල්ලා හිටිය. බුදු පියාණන් වහන්සේ මොන හේතුවකින් නමුත් කියනව “බාහිය මේ ධර්මය දේශනා කරන වෙලාව නොවෙයි. අපි පිණ්ඩපාතේ වඩින වෙලාව” කියල. කිව්වහම බාහිය නැවතත් ඇවිටිලි කරනව “අනේ මම දන්නෙ නෑ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවේ නැතිවෙයිද, මගේ ජීවිතේ කොයි වෙලාවේ නැතිවෙයිද, ඒක නිසා මට කොහොම හරි ධර්මය ටිකක් කියන්න” කියල. ආයෙත් බුදු පියාණන් වහන්සේ කිව්වා “නෑ බාහිය මේ බණ කියන වෙලාව නෙවෙයි අපි පිණ්ඩපාතේ වඩින වෙලාව”. තුන්වෙනි වරටත් ආයෙත් ආරාධනා කළා “අනේ භාග්‍යවතුන් වහන්ස මම දන්නෙ නෑ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කොයි වෙලාවේ නැතිවේයිද, මගේ ජීවිතේ කොයි වෙලාවේ නැතිවේයිද කියල. ඒක නිසා ඉක්මණට බණ ටිකක් හරි කියන්න” කියල. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඉතාම කෙටි දේශනාවක් කළා. සරල හැටියට පෙනෙන නමුත් - මහ ගැඹුරු අදහසක් ඇති දේශනාවක්. ඒකේ අදහස වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙමයි. “එසේනම් බාහිය මෙන්න මේ විදියට හික්මෙන්න. එසේ නම් කියල කිව්වේ - එහෙමනම් කියල කිව්වේ - ඔන්න මට දැන් ඇවිටිලි කරනව නම් මෙන්න මේ විදියට හික්මෙන්න කියල දේශනාවක් කළා.”තස්මාතිහ බාහිය එවං සික්ඛිතබ්බං.” එසේනම් බාහිය මෙන්න මේ විදියට හික්මෙන්න. කොයි විදියටද? ’දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති සුතෙ සුතමත්තං භවිස්සති මුතෙ මුතමත්තං භවිස්සති විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති’ දුටුවෙහි - දුටුවෙහි කියල කියන්නේ දුටුදේ කියන අදහස වගෙයි. දුටුවෙහි දුටු පමණක්ම වන්නේය. ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේය. “සුතේ සුතමත්තං භවිස්සති” “මුතේ මුතමත්තං භවිස්සති”. මුත කියල කියන්නේ දැනුන කියන එකයි. දැනීම එතන හඳුන්වන්නේ. නැහැයටයි, දිවටයි, කයටයි දැනෙන හරියට මුත කියල වචනයක් යොදනව. දැනීම කියල ගන්න පුළුවන්. නැහැයටයි, දිවටයි, කයටයි දැනෙන දැනීම විශේෂ දැනීමක්. ඒකට මුත කියල කියනව. එතකොට දැනුනෙහි දැනුන බව පමණක්ම වන්නේය. “විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති”. විඤ්ඤාණ කියලා කියන්නේ හිත නේ. හිතෙන් දැන ගත්තු දෙයෙහි, දැනගත් දෙයෙහි, එහෙම නැත්නම් හිතුනු දෙයෙහි. අපට කියන්න පුළුවන් ඕන නම් දැනගතුයෙහි, නැත්නම් දතුයෙහි. දත්දෙය පිළිබදව දැනගත් පමණක්ම වන්නේය. “ඒවංහි තේ බාහිය සික්ඛිතබ්බං” බාහිය මෙන්න මේ විදියටයි හික්මෙන්න ඕනෙ. ඊළඟට දේශනා කරනවා, “යතො ඛෝ තේ බාහිය, දිට්ඨෙ දිට්ඨොමත්තං භවිස්සති - සුතේ සුත මත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති - විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති, තතො ත්වං බාහිය න තෙන. යතො ත්වං බාහිය න තෙන, තතො ත්වං බාහිය න තත්ථ, යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙව ඉධ න හුරං න උභයමන්තරෙ, එසෙවන්තො දුක්ඛස්ස” දැන් එතකොට ඉස්සෙල්ල කිව්වේ මේ විදියට හික්මෙන්න කියල. බොහොම සරල විදියේ වැඩක් වගෙයි පෙනෙන්නේ. අර විදියට දුටුවෙහි දුටුමතින් දුටු පමණක්ම වන්නේය. ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේය. දැනුනෙහි දැනුනු පමණක්ම වන්නේය. දැනගත් යුතුයෙහි, එහෙම නැත්නම් විඤ්ඤාණයට දැනුනු දෙයෙහි දැනගත් පමණක්ම වන්නේය. අන්න ඒ විදියට හික්මුනාට පස්සේ යම් අවස්ථාවක බාහිය නුඹ ඇත්ත වශයෙන්ම දුටුවෙහි දුටු පමණක්ම වන්නේද, ඇසුනෙහි ඇසුනු පමණක්ම වන්නේද, දැනුනෙහි දැනුනු පමණක්ම වන්නේද, දැන ගත් යුතුයෙහි දැනගත් පමණක්ම වන්නේද, එවිට බාහිය, නුඹ ‘එයින්’ නොවන්නෙහිය. ඒක අපි පස්සෙ තේරුම් කරල දෙන්න බලනවා. ඒ දුටු දෙයින්වත්, ඇසුනු දෙයින්වත් ඔබ එය දෙයක් හැටියට අරගෙන ‘එයින්’ කියල ගන්නේ නෑ. යම් අවස්ථාවක ඔබ ඒ විදියට ‘එයින්’ කියල ගන්නේ නැත්නම් එතකොට ඔබ ‘එහි’ නොවන්නේය. ‘එහි’ නොවන්නේය කියල කියන්නේ ඒක ඇතුළට රිංගගන්නෙ නෑ. එතකොට ඒකට ඇතුල් නොවන්නෙහිය. “යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙව ඉධ න හුරං, න උභයමන්තරේ.” යම් අවස්ථාවක ඔබ ‘එයින්’ නොවන්නේද, ඒ අවස්ථාවේ ඔබ ‘එහි’ නොවන්නේය. යම් අවස්ථාවක ඔබ ‘එහි’ නොවන්නේද, ඒ අවස්ථාවේ ඔබ ‘මෙහිත්’ නැත. ‘එහිත්’ නැත. ‘මේ දෙක අතරත් නැත’ එසෙවන්තො දුක්ඛස්ස. මෙයම දුකෙහි කෙළවරයි. බැලුවහම නිවන දකින්න බොහොම ලේසියි වගෙයි. මේ එක පාඨය නිවන දක්වාම, අර්හත්වය දක්වාම කර්මස්ථානයක්. මහා පුදුම දේශනාවක්. දැන් මේ කාලෙත් බොහෝ උගතුන් බුද්ධ දේශනාවේ සාරය කියලා දක්වන්න මේ සුත්‍ර දේශනාව බොහෝ විට එළියට ගන්නවා. කී දෙනෙකුට තේරෙනවද කියල අපි දන්නේ නෑ. කෙසේ වුනත් භාවනාමය මනසක් ඇති කෙනෙකුට, වැඩි දැනුමක් උගත්කමක් නැතුවත්, මේව තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය උගතුන්ට අමාරු වුනත්. එතකොට කොහොම හරි මේ දේශනාවෙන් එහෙම පිටින්ම නිවන දක්වාම, අර්හත් එලය දක්වාම, කමටහනයි මේ බුදු පියාණන් වහන්සේ බාහියට දුන්නේ. ඒක කොයිතරම් සාර්ථක වුනාද කියතොත්, මෙතන සුත්‍ර දේශනාවේ සඳහන් වෙනව, එකෙණෙහිම, මේ දේශනාව බුදුපියාණන් වහන්සේ දේශනාකරල ඉවර වෙනවත් එක්කම, අර වල්කළා ඇඳගෙන හිටපු බාහිය තාපසය එහෙමම රහත් වුනා කියලය. කොයි තරම් පුදුමයක්ද? එතකොට ඒ රහත් වුනා. රහත් වුනේ එතනින්ම දුක කෙළවර වුනා. ඒක අපි පස්සේ හෙමි හෙමිහිට තෝරන්න බලනවා. ඉතින් එතනින් කථාව ඉවර වෙන්නෙ නෑ. අපි කථාව ආශ්‍රයෙන් යම් යම් දේවල් තේරුම් කරනවා. ඒවත් උපකාර වන නිසා. හිතේ තබා ගන්නත් පහසු වන නිසා. ඊළඟට කියවෙනවා මෙන්න මෙහෙම ඒ සිද්ධියේ. ඉතින් බුදුපියාණන් වහන්සේ අර විදියට මේ දේශනාව කරල පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩලා පිණ්ඩපාතෙන් වළඳලා සංසයා වහන්සේලා එක්ක ආපසු ඒ නගරෙන් නික්මෙන අවස්ථාවේ දැක්කා - මොකක්ද දැක්කෙ - බාහිය රහත් වෙලා වැඩි ඈතට යන්න වුනේ නෑ. පැටියෙක් සහිත නපුරු එළදෙනක් ඇනලා මරණයට පත් කළා. එතකොට එතන වැටිල සිටිනව බාහිය තාපසයා - දැන් ඉතින් බාහිය රහතන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ විතරයි ඒ තත්වය දන්නේ. මේ රහතන් වහන්සේගේ ශරීරය වැටිල තියෙනව දැකලා බුදු පියාණන් වහන්සේ සංසයා වහන්සේලාට කියනවා, ‘පේනවද මහණෙනි මේ බාහියගේ ශරීරය. මේක ඇඳක් උඩ තියල ගෙනිහිල්ලා ආදාහනය කරලා මේ ධාතුවලින් ස්තූපයක් කරන්න’ කියලා. එතකොට සංසයා වහන්සේලාත් ඒ වැඩය සඳහා ගියා. ගිහිල්ල අර විදියටම ශරීරය අරගෙන ගිහිල්ල දවලා ස්තූපයක් හදලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමත් කළ දේ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට මෙන්න මෙහෙම තාපසයාගේ, එහෙම නැත්නම් ඒ තැනැත්තාගේ ශරීරය අපි දවලා ආවා. කොහේද ඒ තැනැත්තා උපන්නෙ කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මහණෙනි, බාහිය බොහොම පණ්ඩිතයි. බොහොම ඥානවන්තයි. බොහොම ප්‍රඥාවන්තයි. මට වැඩිය කරදර කළේ නෑ. මේක තෝරල දෙන්න කියලවත් වැඩිය කරදර කළේ නෑ. බාහිය රහත් වෙලා පිරිනිවන් පෑව” කියල. එතකොට ඒක මහ ආශ්චර්යවත් සිද්ධියක්. ඊළඟට සංසයා වහන්සේලා ඇහුවා භාග්‍යවතුන් වහන්ස එහෙම නම් කොයි වෙලාවෙද, මොන බණක් අහලද, මේ තරම් ඉක්මනට රහත් උනේ කියලා. ඒ ධර්මයේ දැක්වෙන හැටියට එතකොටයි මෙන්න මේ ගාථාව විශේෂයෙන් දේශනා කොට වදාළේ. තවත් ඒකට අදාළ ගාථා තිබුණත් සරල වශයෙන් මේක ගන්න පුළුවන්. සහස්සම්පි වේ ගාථා - අනත්ථපදසංහිතා ඒකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති අර්ථයක් නැතිව බැඳුනු දහසක් ගාථාවලට වඩා, යම් ගාථා පදයක් අහලා සන්සිඳීමට පත්වේද, උපශාන්ත බවට පත්වේද, අන්න ඒ ගාථා පදයම වඩා උතුම් කියන එකයි ඔය ගාථාවේ අදහස. එතකොට දැන් මෙතන තියෙන කථාන්තරය ගැනත් අපි තව ටිකක් හිතල බලමු. ඊළඟට එපමණක් නොවෙයි. මේ ධර්මයේ සඳහන් වෙනවා බුදුපියාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ඒ ඒ සංසයා වහන්සේලා ඒ ඒ අංශයෙන් අග්‍රස්ථානයේ තැබුවා. ඒක මේ පින්වතුන් හුඟ දෙනෙක් අහල ඇති. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රාඥයි. මුගලන් මහ රහතන් වහන්සේ සාද්ධිමතුන් අතරින් අග්‍රයි කියලා. ඒ විදියට බුදු පියාණන් වහන්සේ අග්‍රස්ථානය දුන්නා. ඒ වගේම මේ බාහිය තාපසතුමා සුඑ වේලාවකින් පිරිනිවන් පෑවට මොකද බුදු පියාණන් වහන්සේ උන් වහන්සේ පිළිබදව - අර සංසයා වහන්සේලාට - වෙන එකක් තබා ප්‍රකාශ කළා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියල. සබ්‍රහ්මචාරී කියන පදය යොදන්නේ සංසයා වහන්සේ කෙනෙකුටයි. නමුත් අර විදියේ ඇඳුම් ඇදගෙන, වෙන ඇඳුමකින් රහත් වුනාට මොකද බුදු පියාණන් වහන්සේ එතනදි සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙනෙක් කියලා හැඳින්වුවා. ඒ වගේ මෙතැනදී ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ මේ මගේ ශාසනයේ ඛිප්පාභිඤ්ඤා කියල කියන ඉතාම ශීග්‍රයෙන්, ඉතාම ඉක්මණින්, ධර්මය වටහා ගන්න පුළුවන් අය අතරින් බාහිය දාරුචීරිය තමයි අග්‍ර කියල. අන්න ඒ වගේ මහා පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙක් අර විදියට මොන කර්ම වේගයකින් හරි - එකක් අර නැව ගිලුනට පස්සේ බොහොම දුක් විඳගෙන අර විදියට පීනලා ගියා. ඊළඟට රහත් වුනාට පස්සේ, රහත්වෙලා සුළු වේලාවකින්, කාලක්‍රියා කරන්න සිද්ධවුනා. නමුත් මේ තරම් ඉක්මණින්ම ධර්මය තේරුම් ගන්න හේතුවුනු අතීත කථාන්තරයකුත් සඳහන් වෙනවා. ඒක මේ කාලයේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකක්ද? මේ බාහිය දාරුචීරිය කාශ්‍යප සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේගේ ශාසනය තිබුනු කාලෙ හිටිය සංසයා වහන්සේලා හත්දෙනෙකුගේ පිරිසෙන් කෙනෙක්. හත් නමක් එකතුවෙලා ඔවුනොවුන් කතිකා කර ගත්තා මේ කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනය පරිහානියට පත්වෙන කාලේ - දැන් ඔන්න මේ කාලේ ගැනත් ටිකක් හිතන්න පුළුවන්. මේ විදියේ යුගයක් වෙන්න ඇති. මේක අර ‘දහයට බහින කාලේ’ කියල කියන්නේ. අන්න ඒ වගේ බැහැගෙන බැහැගෙන යන කාලේ මේ හත්නම බොහොම සංවේගවත් වෙලා මේ ශාසනය විනාශවෙන්න කලින් අපි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහ කරමු කියල කතිකා කරගෙන කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කරලා අවසාන වශයෙන්, වනයට ඇතුල් වුනාම දැක්කා විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නගින්න කලින් මේ හත් දෙනාම කියා ගත්තා දැන් ඉතින් ජීවිතයට ආශාව ඇති අය ඉන්නවා නම් නවතින්න. ජීවිත ආශාව අතහැරලා නිවන සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න කියලා. ඔන්න ඉණීමඟක් බැඳලා අර මහා පර්වතයට නැග්ගා. නැගලා ඉණිමඟ පෙරළලා දැම්මා. දැන් කොහොමද තත්ත්වේ? දැන් ඉතින් ගල උඩ මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ එකම වැඩයි. සංසාරෙන් මිදීම සඳහා භාවනා කිරීම පමණයි. ඉතින් මුළු කාලයම - වෙන එහෙකට යන්න ක්‍රමයක් නෑ නේ. ඉණීමඟත් නෑ නෙ ඉතින් බහින්නවත් - දැඩි සේ භාවනාව පටන් ගත්තා. පස්සෙන්දා එළිවෙනකොට අර සංඝස්ථවිරයන් වහන්සේ, ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ, රහත් වුනා. අභිඥා සහිතව රහත් වුනා. රහත් වෙලා එතන සඳහන් වෙනවා, අභිඥාවෙන්ම පිණ්ඩපාතේ වැඩම කරල උතුරුකුරු දිවයිනේ යම් කිසි දානය ලබාගන්න පුළුවන් ස්ථානයකට වැඩම කරල පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා සමහරවිට වාරිත්‍රයක් වශයෙන් අනිත් උන්නාන්සේලාට ආරාධනා කළා මේ පිණ්ඩපාතෙන් අනුභව කරන්න කියලා. අතිත් සංඝයා වහන්සේලා කියනවා “ස්වාමීනී අපි මෙන්න මේ විදියේ කතිකාවක් කරගත්තද? යම් කිසි කෙනෙක් මෙයින් රහත් වුනාට පස්සේ ඒ ගෙන පිණ්ඩපාතේ අපි වළඳනවද කියලා”? “නැත ඇවැත්නි”. “එහෙම නම් ඉතින් ඔබ වහන්සේ ඒක වලඳන්න . අපි අපේ ශක්තියෙන් කර ගන්න පුළුවන් එකක් කර ගන්නවා” කියලා දැඩි සේ ආයෙත් භාවනාව පටන් ගත්තා. දෙවෙනි දවසේ අර දෙවැනි ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයට පත්වුනා. ඒ ස්වාමීන් වහන්සේත් අර විදියටම අහසින් ගිහිල්ල පිණ්ඩපාතේ අරගෙන ඇවිල්ලා අර වගේ ආරාධනාවක් කළා, අනෙක් අයට ඒකෙන් අනුභව කරන්න කියලා. ඒ අවස්ථාවේත් ප්‍රකාශ කළා, “ස්වාමීනී අපි මෙන්න මේ විදියේ කතිකාවක් කළාද? ප්‍රධාන සංඝ ස්ථවිරයන්ගේන පිණ්ඩපාතේ ප්‍රතික්ෂේප කරල දෙවෙනි ස්වාමීන් වහන්සේගේන පිණ්ඩපාතේ වළඳනවා. වලඳල භාවනාව කරනවා කියලා”, “එහෙම කතිකාවක් කර ගත්තද?” “නැත ඇවැත්නි” “ආ එහෙනම් ඒකත් අපට ඕනෙ නෑ. කොහොම හරි අපි අපිම අපේ ශක්තියෙන් යම් කිසි පුළුවන් අවස්ථාවක් වුනොත් ඒ විදියට ගිහිල්ල පිණ්ඩපාතේ ලබා ගන්නවා” කියලා අර පස්නම දැඩිසේ භාවනාව පටන් ගත්තා. ඉතින් හත් දවසකට පස්සේ ඒ පස් නමම ශරීර වියලිලා ගිහිල්ලා ක්ලාන්තය පමණක් නෙවෙයි, අන්තිමට මරණාන්තය දක්වාම දැඩිසේ භාවනා කරලා ඒ ගල උඩම කාලක්‍රියා කළා, පෘථග්ජනයින් හැටියටම. එතකොට ඒ රහතන් වහන්සේ පිරිනිවන් පෑව. දෙවෙනි ස්වාමීන් වහන්සේ අනාගාමී තත්ත්වයෙන් බ්‍රහ්ම ලෝකේ උපන්නා කියල සඳහන් වෙනවා. එතකොට මේ පස්නමගෙන් කෙනෙක් තමයි මේ බාහිය දාරුචීරිය කියන තාපසතුමා. ඊළඟට අනිත් අය ගැනත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ පස් නම ම අන්තිමට අර විදියට ශරීරය වියලී යන තෙක්ම දැඩි සේ භාවනා කරල ගත්තු උත්සාහයේ, ඒ වගේම රැක්ක සීලයේ බලයෙන්, භාවනාවේ බලයෙන්, දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබලා මේ බුද්ධෝත්පාද කාලයේ ඒ ඒ තැන්වල උත්පත්තිය ලැබුවා කියලා කියනවා. පුක්කුසාති රජ හැටියට එක්කෙනෙක්. අනික් එක්කෙනා කුමාර කාශ්‍යප - පස්සේ මහ රහතන් වහන්සේ හැටියට, සභිය කියන පරිබ්‍රාජකයා, දබ්බමල්ල පුත්ත කියන ඒ ස්වාමීන් වහන්සේ - ඒත් හත් අවුරුද්දේදී රහත් වුනු, - අන්න ඒවගේ විශේෂ පුද්ගලයන් හැටියටයි මේ බුද්ධ ශාසනයේ ඉපදුනේ. මේ පස්වැන්නා තමයි බාහිය දාරුචීරිය. එතකොට අර පස් නම ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසාන කාලයේ ජීවිත පරිත්‍යාගයෙන් කළ ඒ උත්සාහයේ ප්‍රතිඵලය තමයි ’ඛිප්පාභිඤ්ඤා ‘ - ඉතාම ශීඝ්‍ර ධර්මාවබෝධය කරගන්න පුළුවන්වුනා මේ බුද්ධ ශාසනයේ. අන්න ඒ විදියට අතීත ප්‍රවෘත්තිය තුළිනුත්, අපට මේ කාලයේ පවා, මේ බුද්ධ ශාසනයේ පරිහානි කාලේ පවා, උත්සාහය අත්නොහැර භාවනා කරන්න හොද ධෛර්යයක් මේ ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශයෙන් අපට ලැබෙනවා. අපි ඒක ගැනත් කල්පනා කරන්ට ඕන. ඊළඟට ඒ වගේම තමයි දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි බලමු, බුදුපියාණන් වහන්සේ ඒ දේශනා කළ නිර්වාණ මාර්ගය ගැන අර අපි ආරම්භයේම කිව්වේ මේක හිත හා සම්බන්ධ දෙයක්. සංසාරයෙන් මිදෙනවා කියන එක මහා පුදුම තත්ත්වයක් මේක. අවසාන වශයෙන් මිදෙන්නේ ප්‍රඥාව පිහිට කරගෙනයි. සීල, සමාධි, ප්‍රඥා වැඩීමයි බුද්ධ ශාසනය කියල කියන්නේ. අපි කොතෙකුත් අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා. සීලය සමාදන් වෙන්නේ කය, වචනය හික්මවා ගන්න. කය වචනය හික්මවා ගෙන ඊළඟට හිත තැන්පත් කරගන්නවා සමාධියෙන්. තැන්පත් කරගත්තු හිතට ඊළඟට ලෝකයේ යථා ස්වභාවය වැටහෙනවා. ලෝකයේ යථා ස්වභාවය කියලා කියන්නේ ඔය ඇහැට, කනට, පෙනෙන, ඇහෙන දේවල් පිළිබදව, මිරිඟුවක් ඔස්සේ දුවනවා වගේ ගිහිල්ලා, හැම එකක්ම පරීක්ෂා කරල විද්‍යාවෙන් කරන්නා වගේ එහෙම පරීක්ෂණයක් නෙවෙයි. අවසාන වශයෙන් මේ හැම එකකටම මුල හැටියට තිබෙන්නේ මෙන්න මේ හිත. හිතිවිල්ල. හිතිවිල්ල තේරුම් ගැනීමයි. හිතිවිල්ල තේරුම් ගත්තු දවසට මාර බන්ධනය කැඩෙනවා. මොකද, මාර බන්ධනයම තමයි හිතිවිල්ල කියලා කියන්නේ, හොඳට හෝ නරකට හෝ අපිට ඒක නොකර බැරි වුනත්. හිතන්ට සිද්ධවෙනවා. සිතිවිලි තිබෙනවා. අපි ඒකයි අර මූලීම සඳහන් කළේ. සිතිවිල්ල කියලා කියන එක - අපි හැම දෙයක්ම තේරුම් ගන්න උපකාර කර ගන්නේ හිතිවිල්ලයි. නමුත් හිතිවිල්ල තේරුම් ගන්නේ කොහොමද? කියන එකයි ප්‍රශ්නය. ඒකටයි බුදු පියාණන් වහන්සේලා පිළිතුර ලබා දෙන්නේ, මේ ධර්මය තුළින්. දැන් මෙතන අපි මේ දේශනාව - මේ කෙටි දේශනාව - ටිකෙන් ටික ලිහලා බලලා, විග්‍රහ කරලා, අවස්ථා වශයෙන් දක්වලා, තම තමන්ට ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට ගන්න උත්සාහ කරමු. දැන් මෙතන කිව්වේ දුටුවෙහි දුටුමතින්. මෙතන හිතාගන්න පුළුවන් තවත් කාරණයක්. කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ, මෙතරම් මහා කාරුණික බුදුපියාණන් වහන්සේ අර තරම් දුර ඉඳලා ආපු තාපසයෙක් - යොදුන් ගණන් ඈත ඉඳලා ආපු තාපසයෙක් මෙහෙම ඇවිල්ල ඇවිටිලි කරහම ඇයි ප්‍රතික්ෂේප කළේ, පළමුවෙනි වරටත්, දෙවෙනි වරටත්. බණ දෙසන්න මේ වෙලාව නොවෙයි, පිණ්ඩපාතයේ යන වේලාව කියලා. ඒතනත් අපි හිතාගන්න ඕන මහා ගැඹුරු අදහසකින් ඒක කරලා තියෙන්නේ. හේතු ගණනාවක් අපිට හිතාගන්න පුළුවන්. එකක්, අර වෙහෙස මහන්සිවෙලා ආපු ගමනේ - දැන් හති දාගෙන කෙනෙක් ආපුවහම බණ අහන්න ලෑස්තිම නෑ නේ. ඒක ටිකක් හතිය නිවෙන්න ඇරලා තමයි ඔන්න ටිකක් සන්සුන් උනහමයි යමකට හිත යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තවත් කාරණයක් අපිට හිතාගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ බොහෝවිට උපාය මාර්ගයන් යොදනවා. දැන් බුදු පියාණන් වහන්සේ, වැඩ හිටියානම් එහෙම, “හා හොඳයි පිණ්ඩපාතේ ගමන පස්සේ යන්නම්. දැන් හොදට ඉඳගන්න. පන්සිල් සමාදන් වෙන්න.” එහෙම කියලා ඔය විදියට පටන් ගත්තානම් අර තැනැත්තාගේ අර ධර්මයට ඇති - ධර්මය ලබාගන්නට ඇති - ඕනෑකම අඩුවෙනවා. ඒ තිබුන දැඩි උත්සාහය වෙනුවට ඊළඟට හිතා ගන්නවා දැන් ඉතින් මේක හෙමිහිට යන ගමනක් කියලා. මේ දෙකම වැලැක්වීමටයි බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේත් බොහොම ඉක්මන් ගමනක් යන්න වගේ ඇඟේව්වේ. එතකොට, එහෙම යන කෙනෙකුගෙන් “අනේ මට ඩිංගක් කියලා යන්න” යන අදහසයි ඊළඟට දෙන්නේ. “මට ටිකක් කිව්වත් ඇති, ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා නම් මට දිග දේශනාවක් අවශ්‍ය නෑ. මට පොඩ්ඩක් කියන්න. මං ඒක තේරුම් ගන්නම්.” අන්න ඒ ආකල්පය ඇතුවයි කෙනෙක් අහන්නේ. දැන් මේකෙ එතකොට අපිට දෙපැත්තක් හිතාගන්න පුළුවන්. එක පැත්තකින් අර පුද්ගලයාගේ අර වැඩි උනන්දුව, නැත්නම් අර වෙහෙස ආදිය සමනය වෙන්න හේතුවක් වුනා. අනිත් පැත්තෙන් බුදු පියාණන් වහන්සේ ඒ දැක්වූ උපාය මාර්ගය නිසා මේ තැනැත්තා සැහීමකට පත්වෙන අවස්ථාවකට පත්වුනා කෙටි දේශනාවකින් පවා. ඒකෙනුත් ගතයුතු උපරීම ප්‍රයෝජනය ගන්න ලෑස්ති වෙලා, මුලු අවධානයම ඒකට යොමු කරලා කන් දුන්නා. ඒකෙන් වෙන්න ඕන අර තරම් කෙටි දේශනාවක් තුළින් අපි අර මුලින් කිව්වා වගේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන ඉඟිය තේරුම් ගත්තේ. මේ ධර්මය කියලා කියන්නේ යම් කිසි ඉඟියක් දෙනවා කෙනෙකුට. මොකද, තමන්ටම කරගන්න තියෙන දෙයක් මේ හිතිවිල්ල පිළිබද තත්වය තේරුම් ගැනීම කියන එක. වෙන කෙනෙකුට කරන්න බෑ. බුදු පියාණන් වහන්සේටවත් කරන්න බෑ. ඒකට මාර්ගය දක්වනවා. උපාය ආදි දීලා ඒකට යොමු කරනවා. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මේ පින්වතුන්ටත් තම තමන්ට අයිති දෙයක් මේක. එතකොට ඒ විදියෙ පසුබිමක් ඇතුව අපි මේක හිතලා බලමු. දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති - අපි මේ පාළි වචනෙන් කිව්වට ඒකට වැඩිය කලබල වෙන්න දෙයක් නෑ. අපි සිංහල කරල ගත්තොත් දිට්ඨ කියන්නේ “දුටුව”. අපි මේකට “දුටුව” කියලා කියන්නේ මොකද? සාමාන්‍යයෙන් අපි දුටුදේ කියලයි පාවිච්චි කරන්නේ. දුටුදේ කියන කොට අපි ඒකට අහුවෙලා ඉවරයි. අපිට දැන් දුටු දේ කියල හිතනව නම් දැන් දේදුන්න - දැන් වැහැගෙන එන වේලාවෙ - දැන් දේදුන්න කියන එකක් තියෙනවා. කවුරුත් කැමතියි ඒකට. මේ දේදුන්න කියන එක දෙයක්ද? හිතල බලන්න. දේදුන්න කියන එක දෙයක්ද? කුඩා දරුවෙක් නම් ඒක ලස්සනට තියෙන කොට, වර්ණ තියෙන කොට, හිතාවි අන්න දේදුන්නක් තියෙනවා. අනේ අම්මේ තාත්තේ ඒක මට ලබලා දෙන්න පුලුවන්ද?” කියල. එහෙම හිතන්න පුළුවන් කෙනෙක්. මේක ලබාගන්න පුලුවන් දෙයක්ද? කොහොමද මේ දේදුන්න ඇති වෙන්නේ? මේ වගේ වහින්න එන වෙලාවක ඉතින් අහසේ අර එක තැනක වාෂ්ප ආශ්‍රයෙන් අහසේ බැඳගෙන යන ඉරෙන් ආලෝකයක් පතිත වෙලා. ඉර පැත්තක තියෙන්නේ. ඉරේ වර්ණ සංකලනයයි දේදුන්න කියල කියන්නේ. මේක ඉතින් කීයක් එකතු වෙලාද හැදිලා තියෙන්නේ? දේදුන්න පෑව්වා වගේම ඒක නැතිවෙලා යනවා. ඔන්න ඔය දේදුන්න වගේ තමයි මුළු මහත් ලෝකයම. නමුත් අපි මේවා තුළින් දේවල් හදා ගන්නවා. දේදුන්න ‘දෙයක්’ වගේම අතීත ඒවත් අපි ‘දෙයක්’ කර ගන්නවා. ඒකයි අපි දුටුව කියලා කියන්නේ. තවත් විදියකින් අපි හිතලා බලමු. දැන් මෙතන ඉඳලා බලනකොට සමහර විට - එහෙම නැත්නම් එක කන්දක් උඩ ඉඳන් අනිත් කන්ද දිහා බලන කොට - හරිම ලස්සන දර්ශනයක්. කැමරා ගත කරන්න නම් හොද දර්ශණයක්. නමුත් යම් කිසි කෙනෙක් හිතුවොත් මේ දර්ශණයම හොද හැටි දකින්න කියලා ඒ කන්දට ගියොත් එහෙම මොකද්ද පේන්නේ. අර තිබුණු දර්ශනය නෑ. ඊළඟට මේ පැත්තයි හොඳට පේන්නේ. මිරිඟුවක්. ඕක තමයි මිරිඟුව කියලා කියන්නේ. ඉතින් අන්න ඔය වගේ දෙයක්. මිරිඟුව පිළිබඳවත් ඔය වගේ තමයි. එතකොට දුටුවෙහි දුටුමතින් නතරවෙන්න කියලයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අර දේදුන්න හොයාගෙන අහස් යානයකින් යන එකවත්, වෙන විදියකින් ඒක අල්ලන්න හදන එකවත් නොවෙයි. ඒක එතනම තියලා දැකිය යුතු එක්තරා මිරිඟුවක් වගේ දෙයක්. මිරිඟුව පිළිබදවත් එහෙමයි. ඒකයි මේ කියන්නේ ‘දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති’ දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේය. ඊට එහා යන්න එපා. ඒ ගැන හිතන්න යන්න එපාය කියන එකයි දැන් මෙතන අදහස. දැන් ඒක අපි අර මිරිඟුවේ උපමාව තව ටිකක් ගැඹුරින් කල්පනා කළොත්, අපි සාමාන්‍යයෙන් මිරිඟුව කියලා කියන්නේ, පින්වතුන් අහල තිබෙනවා නියං කාලයේ මුවන් පොළොවෙන් ඉහළට නගින ඒ පොපියන ස්වභාවය දැකලා දුවනවා කියලා. දැන් අපි හිතමු ටිකකට. සාමාන්‍යයෙන් මුවා දුවන්න දුවන්න මිරිඟුව ඇත් වෙනවා - අපි හිතමු මුවා ටික දුරක් දුවලා ඉවර වෙලා ආපහු හැරිලා බැලුවයි කියලා. එතකොට කොහොමද? එතකොට අන්න ඒ මිරිඟුව ආපු තැනමයි තියෙන්නේ. ඒක නිසා මුවාට ආපහු දුවන්න සිද්ද වෙනවා - ආපහු හැරිලා බැලුවොත් - අර ආපු තැනටම. එතෙන්ටත් දුවලා ඉවර වෙලා ආයෙත් හැරිලා බලන කොට අන්න ආයෙත් යන්න වෙනවා. ඕක ගැන ටිකක් මේ පින්වතුන්ට හිතලා බලනකොට සමහරවිට හාස්‍යජනක දෙයක් කියලා හිතන්න පුළුවන්. නමුත් ඔහොම දේවල් තමයි අපි හැමෝම කරන්නේ. මොකද මුවාට සත්‍යය මුවාවෙලා. මිරිඟුව ඔස්සේ දිව්වා. දුවලා යම් අවස්ථාවක ආපසු හැරිලා බැලුවොත් මෙන්න මිරිඟුව මේ පැත්තේ. එතකොට මේ ආපු දුරම ආපසු එනවා. ආයිත් යනවා. එතෙන්ට. ඔය කියපු උපමාව අපට උපකාරී වේවි මේ දේශනාවේ එක්තරා තැනකට එතකොට. හොදයි ඕක මතක තියාගෙන ඊළඟට අපි බලමු. දුටුවෙහි දුටුබව පමණක්ම වන්නේය. ඒ වගේම සුතේ සුතමත්තං භවිස්සති කියලා කියන්නේ - මේ බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ දෙන ශික්ෂා මාර්ගයයි. මෙසේ හික්මිය යුතුයි කියලයි මේ ටික කියන්නේ. ගැඹුරු ශික්ෂණයක් මෙතන තියෙන්නේ. - ඇසුනෙහි ඇසුන මාත්‍රයම වන්නේය. ඇසුනු බව පමණක්ම - බාහිය නුඹට ඇසුන දෙය පිළිබඳව ඇසුනු බව පමණක්ම වන්නේය. එකත් අර වගේම තමයි - ඇසුනු දෙයත්. දැන් ඇසීම කියන එකත්, අපි හිතලා බැලුවොත්, දැන් මේ කථා කරන දේත් ඇහෙනවා තමයි. එපමණක් නෙවෙයි. ඔය සිංදු ආදිය, ගීතිකා හැම එකක්ම මේ පින්වතුන්ට ඇහෙනවා. ඒ හැම එකක්ම ඇහෙන්නෙ තාල රාශියක් එකතුකරලා සංගීතයක් හදා ගන්නවා. සංගීතඥයා නෙවෙයි සංගීතය හැදුවේ. තම තමන්. තම තමන්ම ගොතා ගන්නේ. එච්චර ඕනෙ නෑ. වතුර බිංදු වැක්කෙරෙන කොට ඔය ශබ්ද නැගෙන භාජනයක් තියන්න බලන්න. එතකොට මොකක්ද? ‘ටක්-ටක්-ටක්’ ගාලා ඒක තුළිනුත් තමන්ට සිංදුවක් ඇහේවි. හිත යනවා නම් සිංදුවට, ගීතයට නම් කැමැත්ත, ඒ අවස්ථාවේ ගීතයක් ඇහේවි. රැයක නම් සමහරවිට බයක් ඇතිවේවි. ඔය තුළින් එතකොට සිංදු ගොතාගන්නේ කවුද? අපි කවුරුත් සංගීතඥයෝ. අපි ගොතාගන්නවා සිංදු. සිංදු ගොතාගන්නවා. තාල ගොතාගන්නවා. මේවා සිද්ධ වෙන්නේ කොතනද? මේ කන්බෙරයේ. කන්බෙරයට වදින ශබ්දවලින් අපි සමහරවිට සතුටට පත් වෙනවා - අපේ ප්‍රශංසාව එහෙම, ගුණ එහෙම, කියනවා නම්. අපිට බනිනවයි කියලා හිතාගත්තු දෙයක් ආවා නම් අපි කැලඹෙනවා. ඔන්න ඔය විදියට මේ ඔක්කොම බෙරේට ගහන ශබ්ද. ඔන්න එතකොට ඒ ආශ්‍රයෙන් හිතාගන්න පුළුවන් මේ බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ දෙන අදහසේ ගැඹුරු විදර්ශනාමය අර්ථය. ඇසුනෙහි ඇසුනු බව පමණක්ම වන්නේය. ඊළඟට ඒ වගේම තමයි දැනුනෙහි දැනුනු බව පමණක්ම වන්නේය. දැනුනා කියලා කිව්වේ, අපි කිව්වා අර දිවට දැනෙන දෙය, නැහැයට, කයට දැනෙන දෙය මේවා ඉතාම සියුම් දැනීම. මේ පින්වතුන් දන්නවා දිව කියන එක කොයි තරම් භයානක දෙයක්ද, යන්තම් දිවට දැනෙන කොට අපට ඒක තුළින් එහෙම පිටින්ම එක්කෝ මුලු සිරුරම පිනා යනවා එහෙම නැත්නම් මුහුණ ඇඹුල් වෙනවා, තිත්ත වෙනවා. ඒ විදියෙ දෙයක් වෙනවා මේ දිව තුළ, දිවේ තිබෙන ඒ සංවේදීය ශක්තිය නිසා. නමුත් මෙතනත් කෙරෙන්නේ අපේ හිතෙන් ඉතාමත් සියුම් අන්දමින් ඒවා එකතු කර ගන්නවා. දැන් ටිකක් කල්පනා කරලා බලන්න. සීනි පැණි රහයි කියනවා. පැණි මොන රසද? සීනි රසයි. ඒකත් අර කියාපු මිරිඟුව ඔස්සේ මුවාගේ දිවිල්ල වගේ තමයි. සීනි පැණි රසයි කියනවා පැණි එක්ක සන්සන්දනය කරලා. පැණි අනුභව කරලා තියෙන නිසා පැණි රසයි කියනවා. ඊළඟට පැණිගත්තාම සීනි රසයි කියන්න වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් මේ දිවෙන් කෙරෙන හරඹයත්. ඉතින් ඒ වගේම තමයි අනිත් ඒවත්. ස්පර්ශය ගැන ටිකක් හිතලා බලමු. අපේ කයේ යමක් ස්පර්ශ වෙනවා. දැන් රැයක බොහොම මුදු මොළොක් දෙයක් ඉදගෙන ඉන්න වෙලාවට අපේ ශරීරයේ තැවරෙනවා. අපි ඉතින් මේක බොහෝම මෘදු මොළොක් දෙයක් කියලා අල්ලනවා. ඇල්ලුව හැටියේ නයා. නයා ගැහුවා. අන්න අර ස්පර්ශය. එතකොට ඒ විදියට අපිට ඒක තුළින් ඉස්සෙල්ලා ආව හැඟීම. සංවේදනය නොවෙයි ඊළඟට එන්නේ, ඒක දැක්ක හැටියේ, මේ භයානක දෙයක් කියලා දැක්කහම. ඔය විදියට අපේ මේ ඉන්ද්‍රියයන් තුළින් වෙන පුදුම විදියේ රැවටිල්ලයි බුදු පියාණන් වහන්සේ මේක තුළින් ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ප්‍රඥාව ඕන නම්, සංසාරෙන් මිදෙන්න ඕන නම්, සිතිවිලි බන්ධනය කැඩෙන්න ඕන නම්, මිරිඟුවෙන් මිදෙන්න ඕන නම්, මේ ටික කරන්න. ලෝකේ ජීවත් වෙන්න ඕන නම්, සංසාරේ වඩන්න ඕන නම්, සංසාරේ තව දුරටත් යන්න ඕන නම්, මේ මොකවත් ඕනෙ නෑ. වෙනද වගේම අර සිතිවිල්ලටම යටවෙලා ඉන්න. ඔව්වරයි තියෙන්නේ, ධර්මය කියන එකේ. එතකොට මෙතන අර දැනුනෙහි කියන එකත් ඒ විදියට හිතා ගන්න පුළුවන්. විඤ්ඤාත කියලා කියන්නේ දැනගත් දෙයෙහි. සාමාන්‍යයෙන් අපි ලෝකේ මේ දැනුම් සම්භාරය ගැන ටිකක් හිතලා බලමු. ඔය පුස්තකාලවල තියෙන පොත්. ලෝකයේ දැන් යන මහ පුදුම විද්‍යාවය කියලා කියන ඒ බලවේග. ඒ හැම එකක්ම තුළින් අපි යම්කිසි මාන්නයකුත් ඇතිව යම් යම් දේවල් ගැන ‘මම දන්නවා’ කියලා හිතා ගන්නවා. දැනුම හැටියට. දැන ගැනීම. එකක් තව එකකින් වෙන්කරලා අඳුනගන්න එක තමයි විඤ්ඤාණයේ මූලික කෘත්‍යය. දැන් වෙන එකක් තබා තිත්ත රසයයි පැණි රසයයි කියන දෙක වෙන් කරලා දැන ගන්න එකටත් විඤ්ඤාණය කියලා කියනවා. සැප දුක් මධ්‍යස්ථ කියන වේදනා වෙන් කරලා දැනගැනීමත් විඤ්ඤාණය කියලා කියනවා. විඤ්ඤාණය කියන එකෙන් අපි වෙන් කරලා දැනගන්නවා. එකක් තව එකකින් වෙන් කරනවා. මේක තිත්තද පැණි රසද කියලා ටිකක් තලුමරලා බලලා අන්න වෙන් කර ගන්නවා. ආ මේක තිත්ත දෙයක්, මේක පැණි රස දෙයක්. ඒ වගේම තමයි මේක සැපද දුකද කියන එක. සැප හැටියට දැනෙන එක ටික වෙලාවක් ඉන්න කොට දුක හැටියට තේරෙනවා. ඒ දෙකම නැති අවස්ථාව මධ්‍යස්ථ්‍ය කියලා බෙදාගන්නවා. ඔය විදියට මේ අපේ විඤ්ඤාණයේ තියෙනවා මහ සියුම් බෙදන ගතියක්. බෙදලා දක්වලා තමයි අපි තේරුම් ගන්නේ. මේක මෙහෙමයි. මේක එකක් - අනිත් එක - ඊට එහා තියෙන එක - වෙන එකක්, කියලා ඔය දෙකම වෙන් කරලා ගන්න ස්වභාවයක් විඤ්ඤාණයේ තියෙනවා. ඉතින් කොයි එක හෝ වේවා, මෙතන බුදු පියාණන් වහන්සේ කියන්නේ යම් කිසි ඒ විදියට දැනගත් දෙයක් තියෙනවා නම් ඒක දැනගත්තු බවක්ම පමණක් සළකනවා. ඊට එහාට යන්න එපා. ඒක උඩ තව ගොඩ නගන්න එපා කියන එකයි, බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදියට ‘විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති’. ඔන්න ඊළඟට අපි එමු, ඊළඟට තියෙන ගැඹුරු හරියට. එතකොට බාහියට පළමුවෙන්ම ශික්ෂා මාර්ගය දුන්නා. මේ විදියට හික්මෙන්න. දැන් මේ පින්වතුන්ට නම් අපි කිව්වේ ඔයිට වඩා සරල දෙයක්. කය වචනය හික්මවා ගැනීම පිළිබදව ආජීව අෂ්ටමක ශීලය විතරක් දීලයි පටන් ගත්තේ. මෙන්න බාහිය දාරුචීරියට බුදු පියාණන් වහන්සේ ඉස්සෙල්ලාම දෙන්නේ ඔන්න ඔය ගැඹුරු ඉන්ද්‍රිය සංවර ශීලයයි. ඔතන තියෙන්නේ ඉන්ද්‍රිය සංවර ශීලය. සාමාන්‍ය ශීලය නොවෙයි. ඔතන ගැඹුරුම - රහත් වීමට ඕනෑම කෙනෙකුට උපකාරීවන, ඉන්ද්‍රියයන් හසුරුවා ගැනීම පිළිබද ගැඹුරු ශීලයක් ඔතන තියෙන්නේ. ඉතින් මේ විදියට දුටු, ඇසු, දැනුනු, සිතුනු හැම දෙයක් පිළිබදවම ඒ මාත්‍රයේ පමණක් නැවතිලා රීට එහාට නොයන විදියට සංයමයක්, සංවරයක්, ශික්ෂණයක් ඇතිකර ගත්තා නම් බාහිය - ඒ විදියටයි ඊළඟට කියන්නේ- එතකොට, ඔන්න ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එවිට බාහිය නුඹ ‘එයින්’ නොවන්නේය. ඒක ගැඹුරු අදහසක්. එයින් කියලා කියන්නේ මොකක්ද? අර කලින් කිව්වා වගේම අරක ‘දෙයක්’. අපි අර දේදුන්නට යමු ආයෙත් දැන් අරක දේදුන්නක් කර ගත්කු කෙනා, අර දරුවා, සමහරවිට අම්මාගෙන් අඬලා ඉල්ලාවි “අනේ මට අර දේදුන්න දෙනකම් මම නිදාගන්නේ නෑ. මට කොහොම හරි ඒ දේදුන්න දෙන්න”. ඉතින් ඒ දරුවා දේදුන්නක් කරගෙනයි අරක ගැන හිතන්නේ. අරක සාමාන්‍ය දුටුදෙයක් හැටියට නොවෙයි. ඒක තියෙන දෙයක්. ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ විදියටම ඊළඟට දේදුන්නෙහි ඒ දරුවා ජීවත් වෙන්නේ, දේදුන්න ඇතුළේ. හීනෙනුත් දකීවි දේදුන්න. ඔන්න ඔය විදියේ තත්ත්වයක්. මේ පොඩි උපමාවක් අවස්ථානුකූලව ගත්තේ. මේක ආශ්‍රයෙන් හිතාගන්න පුළුවන් ‘න තෙන’ - එතකොට බාහිය ඔබ යම් අවස්ථාවක එයින් නොවන්තේද - එයින් කියලා කියන්තේ අර ‘දුටුවෙන්’, ‘ඇසුනෙන්’, ‘දැනුනෙන්’, ‘සිතුවෙන්’ එහෙම නැත්නම් සිතාගත් දෙයින්. ඒ විදියටම හිතන්න යන්නේ නැත්තම්, එවිට බාහිය ඔබ එහි නොවන්නේය. ඔබ දිට්ඨයෙහි නොවන්නේය. ඒකටත් ඕන නම් නිදර්ශනයක් දෙමු, හොද බංගලාවක් හදාගත්තාම ඒක පිළිබදව ලොකු ආඩම්බරයක් ඇති පුද්ගලයා කරන්නේ මොකක්ද? ඒක ඉස්සරහ තමා පෙනී සිටලා කැමාරාකාරයෙක් ලවා පින්තූරයක් ගන්නවා. මේ මොකද, ඒක තුළින් පෙන්නුම් කරන්නේ බංගලාව අයිතිකාර මහත්තයයි. එතකොට එතන තියෙන්නේ ඒ පින්තූරය බලන කොට, පින්තූරය ඇතුළෙයි මේ පුද්ගලයා ඉන්නේ. අන්න ඒ වගේම මේ උපමාව ආශ්‍රයෙන් හිතාගන්න, යම් අවස්ථාවක අරක පිළිබදව මාන්නයක් ඇති කර ගත්තේ නැත්තම්, ආශාවක්, තණ්හා මාන දිට්ඨී ආදි වශයෙන් ගැනීමක් නැත්තම් - තණ්හා මාන දිට්ඨී, කියන එක ආශ්‍රයෙන් ඔය වචන තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ - ඒ විදියට කෙලෙස් ඇති කර ගන්තේ නැත්තම්, එවිට ඔබ එහි නොවන්නේය. අර දිට්ඨිය ඇතුළේ නොවෙයි ඔබ එතකොට. අර සංගීතය ඇතුළේ නොවෙයි ඔබ. ඒ මුළාව නෑ. ඒ විදියට අර දැනුනු දේ ඇතුළේ නොවෙයි ඔබ. ඒවා ඒ ඒ හැටියෙමයි. ඒ ඒ තැන්වලමයි. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යථා භූත ඥාණ දර්ශනය. ඇත්ත ඇති හැටියට දැක්වීමයි බුදු පියාණන් වහන්සේ කරන්නේ. නැත්ත ඇති හැටියට දැක්වීම නෙවෙයි. නැත්ත නැති හැටියටත්, ඇත්ත ඇති හැටියටත් දැක්වීමටයි බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහල වෙන්නේ. ඒකමයි මෙතන කියවිලා තියෙන්නේ. දුටුවෙහි දුටු බව පමණක්ම වන්නේය, ඒක උඩ වවන්න යන්න එපා තවත්. ඒකේ අතු ඉති ගොඩනැගෙන්න ඉඩ අරින්න එපා. ඉඩ ඇරියොත් එතන යන්නේ කෙලෙස් නිසා එක්කෝ රාගයට, එක්කෝ ද්වේෂයට, එක්කෝ මෝහයට තව නොයෙකුත් කෙලෙස්වලට, ඇදගෙන යනවා. අන්න ඒක නිසා මෙතන බුදු පියාණන් වහන්සේ දෙන්නේ දැඩි ශික්ෂණයක්. දුටුවෙහි දුටුමාත්‍රයම පමණක්ම වන්තේය. ඒ විදියට වුනාම මොකද වෙන්නේ? එවිට ඔය ‘එයින්’ නොවන්නේය. එයින් නොවන විට ඔබ ‘එහිද’ නොවන්නේය. ‘එහි’ නොවනවා නම් - ඔන්න එතන එනවා ගැඹුරුම කොටස, - යතො ත්වං බාහිය න තත්ථ තතො ත්වං බාහිය නෙව ඉධ නහුරං න උභයමන්තරේ - එසෙවන්තො දුක්ඛස්ස. එසේ නම් බාහිය ඔබ මෙහිත් නොවෙයි. එහිත් නොවෙයි. මේ දෙක අතරත් නොවෙයි. මෙන්න මෙතනයි දුකෙහි කෙළවර. නිවන. දැන් එතකොට අපි හිතලා බලමු - අර මුවා ගැන කියාපු කථාවත් ඒතෙන්ට ගන්ට වෙනවා. අපිට අර විදියට හික්මෙන අවස්ථාවට පත්වුනාම හිතට වැටහෙන්තේ කොහොමද? ‘ඔබ මෙහිත් නොවෙයි.’ තමා මෙතන ඉන්තවා කියන හැඟීමත් නැති වෙනවා. මොකද තමා සහ අනුත් - තමා සහ ලෝකය පිළිබදව මෙතෙක් සංසාරයේ අරගෙන ආපු ඒ ප්‍රස්තුතය, ඒ අදහස පවා විදර්ශනා ප්‍රඥාවෙන් මැකිලා යනවා. එවිට ඔබ මෙහිත් නොවේ එහිත් නොවේ. මේ දෙක අතරත් නොවේ. දැන් අර මුවා ගැන අපි කිව්වේ ඒ මිරිඟුව දැකලා සැහෙන දුරක් දුවලා ගිහිල්ලා ආපසු හැරිලා බැලුවා කියලා. බැලුවාම මෙතනයි මිරිඟුව තියෙන්තේ. ආපස්සට දිව්වා. ආයෙත් මෙතනදී හැරිලා බලනකොට අතනයි. ඉතින් ඔය විදියටයි මුවා ක්ලාන්ත වෙලා වැටෙන්තේ අර මිරිඟුව ඔස්සේ දිවීමෙන්. අපිට දෙවිදියකට කියන්ට පුලුවන්. පස්ස නොබලාම ගියොත් දිගටම ගිහිල්ලා කවදා හරි මැරිලා වැටෙනවා. මේ විදියට ගියොත් එතනත් මෙතනත් අතරේ එහාට මෙහාට දුවලා හති හෙම්බත්වෙලා මැරිලා වැටෙනවා. දැන් පින්වතුනි හිතලා බලන්න. මේ සංසාරයේ මොකක්ද කෙරෙන්නේ. මේ පින්වතුන් බොහෝ විට පින් දහම් කරන්නේ මෙලොවට විතරක් නොවෙයි, එලොවට. මෙලොව එලොව කියලා දෙකක් තියෙනවා. එලොවට යමක් කරගන්න කියලා පින් දහම් කරනවා. නරක නෑ ඒක, හොඳයි. පින් වලින්, කුසල් වලින්, සිත පිරිසිදු වෙනවා. නමුත් අපි හිතමු අපි අවුරුද්දේ ඒක කැවුම් ගෙඩියක් බෙදනවා, පිණ්ඩපාතෙට. මේ කැවුම් ගෙඩිය වගේ අපිට දහසක් කැවුම් ලැබේවා කියලා. හොදයි කොහොම හරි විපාක හැටියට කැවුම් දස දහසක් ලැබුනය කියලා හිතමු. ඒක ඉවර වුනාට පස්සේ - එහෙම නැත්තම් - එකෙ පිනෙන් දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා හිතමු. ඒ පින ඉවර වුනාට පස්සේ ආයෙත් මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කැවුම් උයලා කැවුම් දෙන්න ඕන. අන්න එතනත් අර මුවාගේ වැඩේ වගේ. තෘප්තියක් නෑ නේ. සෑහීමක් නෑ නේ. එතන තෘප්තිය කියලා කියන්නේ, සෑහීමකට පත් වීම කියන්නේ, මුවාගේ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය දේ. මොකක්ද, වතුර. වතුර වගෙයි පෙනෙන්නේ අර ඈත පෙනෙන පොපියන ස්වභාවය. ඒක නිසා වතුර සොයාගෙන යනවා. වතුර ලැබෙන්නේ නැහැ. ආපසු එන්න වෙනවා. මෙතන වතුර පේන නිසා. ඒ වගේ මේ සංසාර සත්ත්වයා මෙලොව පුලුවන් තරම් පංච කාම සම්පත්තිය විඳිනවා. අතීත පින නිසා ලැබිච්ච ඒ ධන සම්පත්වලින් කාලා බීලා නටලා හැම එකක්ම කරනවා. ඒත් සෑහීමකට පත්වන්නේ නැහැ. ඒක නිසා මොකක්ද කරන්නේ, කොහොම හරි කැවුම් ගෙඩියක් හරි බෙදලා ඒකට සෑහෙන්න - ඊටත් වඩා නොසෑහෙන තරමට දස - කෝටි ගණන් එකේ ආනිසංස පතනවා. නමුත් ඒක ලැබුනා හෝ නොලැබුනා හෝ ආයෙත් මෙතෙන්ටම එනවා. මිරිඟුව ඔස්සේයි දුවන්නේ. ඉතින් මේක කෙනෙක් හිතන්න තරකයි. පින් දහම් කරනවට විරුද්ධව කියන කියමනක් කියලා. නමුත්ඔන්න ඔය විදියේ මහ පුදුම දෙයක් තියෙනවා, මේ මධ්‍යම ප්‍රතිපදාව කියන බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ. ඒක තමයි මේ ධර්මයට කියන්නේ විදුරු මිණක් කියලා. විදුරු මිණ කියන එක මේ පින්වතුන් දන්නවා. වජ්‍ර මාණික්‍යය අනෙක් මැණික් කපන්න පුලුවන් මැණිකක්. ඒ වගේයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය. මේක කපාගෙන යනවා. පින් දහම් කියලා ඔය අපි අල්ලගෙන තියෙන දේවල් පවා අන්තිමට එක අවස්ථාවක් එනවා ඒවාත් අත හරින්න වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ ගැඹුරින් ප්‍රකාශ කරන්නේ එකක්වත් අල්ල ගන්න එපා කියලා. නමුත් ඒක එකපාරට කරන්න පුලුවන් දෙයක් නොවේ. ඉස්සෙල්ල පින් දහම් - දැන් ශීලාදී ගුණධර්ම වලින් එක මට්ටමකින් සන්සිඳීමක් ඇති කර ගන්නවා. ඊළඟට සමාධි භාවනා වඩලා හිත තැන්පත්කර ගන්නවා. ඒ එකකවත් රැඳී හිටින්නේ නෑ. ඉන් සෑහීමකට පත්වෙන්නේ නෑහැ. දැන් මම හොඳ ශීලවන්ත පුද්ගලයෙක් කියලා එතන සෑහීමකට පත්වෙන්නේ නැහැ. දැන් මං ලොකු සමාධි ධ්‍යාන තත්ත්ව ලබා ගත්තය, අහසින් යන්න පුලුවන් වුනාය, කියලා ඒකෙන් සෑහීමකට පත්වන්නේ නැහැ. අවසාන දේ මොකක්ද? ප්‍රඥාවෙනුයි සංසාර විමුක්තිය තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාව කියන එක සමාන කරලා තියෙනවා ඔය වජ්‍ර මාණික්‍යයට. ඒ හැම මැණිකක්ම කපන මැණිකක්. ඒක මහ පුදුමයි. ඒ කියන්නේ විනිවිද යනවා.   දැන් මෙතනත් කලේ විනිවිද යාමක්. දිට්ඨේ දිට්ඨ මාත්‍රයෙන් - දුටුවෙහි දුටුබවින් නවතින්න කියලා කියන්නේ මොකද? සාමාන්‍යයෙන් වෙන්නේ මොකක්ද? දුටුබවෙහි ගිහිල්ලා පටලැවෙනවා. කොතෙකුත් දැකලා තියෙනවා දැන් ඔය බල්ලෙක් එහෙම ඒ දණ්ඩක් උඩදී - එහෙම නැත්නම් කථාවක් අහලා ඇති මේ පින්වතුන් අර හිවලෙක් මස් කැල්ලක් අරගෙන ඒ දණ්ඩක් උඩින් යනකොට වතුරේ ඡායාව දැකලා වෙන හිවලෙක් මස් කැල්ලක් අරගෙන යනවා කියලා අරක අත ඇරලා ගිහිල්ලා පැන්නා. උදුරාගන්න. අන්න ඒ වගේ මේ දිට්ඨයට දුටු දෙයට රැවටිලා කොයි තරම් සංසාරයේ සත්ත්වයා දුකට පත්වෙනවද? ඒක තුළින් ඇති කරගන්න වැරදි අවබෝධය, වැරදි සිතිවිලි මාර්ගය නිසා රෑ දවල් නැතුව, දුටු දර්ශනයක් ආශ්‍රයෙන් කෙනෙක් මුළු ජීවිතයම කැප කරලා පරිත්‍යාග කරලා මුළාවට පත්වෙනවා. නමුත් ඒ තත්ත්වය නියම තත්ත්වය තේරුම් ගන්නේ නෑ. අමුතුවෙන් මේක ප්‍රහේලිකාවක් හැටියට නොකිව්වොත්, අපි හිතමු යම්කිසි කෙනෙකුට, ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ තමන් ප්‍රිය කරන පුද්ගලයකුගේ දර්ශනයක් දකින්න ලැබෙනවා. මේක තුළින් ඇති කර ගන්නා සිතිවිල්ල තුළ ඒ තැනැත්තා මරාගෙන ඊළඟට අනිත් අයවත් මරාගෙන ඒ තැනැත්තා හෝ තැනැත්තිය ලබා ගන්න උත්සාහ කරලා අන්තිමට අපායගාමී වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකද? අර දුටුවෙහි දුටුමතින් නතර වුනේ නැහැ. ඒක පුද්ගලයෙක් කියලා හිතාගත්තා. සදාකාලිකව හැමදාම මා සමග ඉන්න පුලුවන් කෙනෙක් කියලා හිතාගත්තා. ඉතින් අර බාහිය දාරුචීරිය ආදී අතීතයේ රහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාග කළේ වෙන දෙයකට. නමුත් මේ කාලෙ ඉනිමං පෙරළන්නේ, ඔක්කොම කරන්නේ, මේ සංසාරය සඳහා. අන්න ඒක නිසා මේ වගේ කාරණා ආශ්‍රයෙන් හිතාගන්න ඕන අර දුටුවෙහි දුටු මතින් නතර වෙනවා කියලා කිව්වේ. අන්න අර මිරිඟුවට නොරැවටෙන ස්වභාවයක් හිතේ ඇතිකර ගන්නවා. ලෝක සම්මුතිය වශයෙන් අපි මේ දකින දේවල් පිළිබඳව එදිනෙදා කටයුතු සඳහා ව්‍යවහාර කරන්නෙ වෙනවා ‘දේවල්’ කියලා. නමුත් ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕන. දැන් යමක් විනිවිද දකිනවා කියන එක මේ පින්වතුන් දන්නවා. කෙනෙක් ඒ විනිවිද දකින ශක්තිය ඇති දෙයකින් යමක් බලලා ඒක අහක් කළාට පස්සේ ඒක ඒ විදියටම පෙනෙනවා. ඒ විදියට අර මෙතන කියන්නේ ප්‍රඥා ශක්තිය තුළිනුයි කෙනෙකුට චිත්ත විමුක්තිය ලැබෙන්නේ. ඒක නිසා විදර්ශනා ප්‍රඥාව ලබා ගත්තු පුද්ගලයාට ඒ යථා ස්වභාවය දකින්න පුලුවන්. නමුත් එපමණකින් ඒ තැනැත්තා ජීවිතය කෙළවර කරගන්නවා නෙවෙයි. අනෙකුත් කටයුතු කරනවා. ඒ ප්‍රඥාවෙන් ලබා ගත්ත අත්දැකීම ඒ තැනැත්තා තුළ ගැබ් වෙලා තියෙනවා. හිත ඇතුළේ ගැබ්වෙලා තියෙනවා. කොයි තරම් ද කියතොත් අවසානයේදී පිරිනිවන්පාන අවස්ථාවේ අර බාහිය දාරුචීරිය රහතන් වහන්සේ වගේ නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. සංසාරයෙන් මිදිලා. අර කිව්ව සංසාර සිතිවිලි බන්ධනයෙන් මිදිලා. සිතිවිලි බන්ධනය කඩා ගත්තා, අර බාහිය දාරුචීරිය රහතන් වහන්සේ. ඒකයි පිරිනිවන් පානවා කියලා කිව්වේ. රහතන් වහන්සේලා මැරෙන්නේ නෑ. මැරෙනවා කියන වචනය ලෝකේ යොදන්න පුලුවන්. මැරෙනවා කියන වචනයත් එක්කම යන අනිත් එක උපදිනවා. මේක යුගල වශයෙන් යන්නේ, ජෝඩු වශයෙන් යන්නේ. අර අපි කිව්වේ - එහිත් මෙහිත්, කියලා කිව්වේ. එතනයි මෙතනයි කියන දෙකක්. අපි වැට කඩොලු හදාගෙන තිබෙනවා. එහෙම හදාගත්තම තමයි මැදකුත් තිබෙන්නේ. ඒකයි අර ඔබ මැදත් නෙවෙයි කියලා කිව්වේ. කෙනෙක් අහන්න පුලුවන් මෙතන නෙවෙයි නම්, මෙතන නැත්නම්, එතන ඉන්න ඕන. එතනත් නැත්නම් මැද ඉන්න ඕන කියලා. ඕකයි තර්කය ලෝකේ. දැන් මේ පින්වතුන් දන්නවනේ පක්ෂ කියන එකක් ලෝකේ තියෙනවා. ඒවා ගැන හිතුවත් එහෙම තමයි. එක්කෝ මෙතන ඉන්න ඕන. එක්කෝ එතන ඉන්න ඕන. එහෙම නැත්නම් මැද ඉන්න ඕන. දැන් මෙතන තියෙන්නේ මහ පුදුම දෙයක්. බාහිය ඔබ මෙහිත් නැත එහිත් නැත. ඒ දෙක මැදත් නැත. මොකද, මෙතන ඇත නැත කියන ඒ ව්‍යවහාරය පවා අන්තිමට ඉවර වෙනවා. අන්තිමට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ පැවැත්ම කියන එක, මුළු මහත් ලෝකයේ හැම ශාස්තෘවරයෙක්ම ලොකුවට ගන්න පැවැත්ම, මේක නියම පැවැත්මක් නෙවෙයි, පැවැත්මක් පිළිබඳ මාන්නයක් පමණයි කියලා. හිතෙන් ඇති කර ගත්තු භ්‍රාන්තියක්, මුළාවක්, රැවටිල්ලක් පමණයි. මේ මුළාව උඩයි ලෝකේ දුවන්නේ. එතනත් මෙතනත් අතර, එලොවත් මෙලොවත් අතර, මනුෂ්‍ය ලෝකයත් දිව්‍ය ලෝකයත් අතර. ඔය විදියට මේ දුවන ගමනේ කෙළවරක් නෑ. ඒ ප්‍රාර්ථනා වල කෙළවරක් නෑ. ඕකයි බුදු කෙනෙක් ලෝකයාට හඳුන්වා දෙන්නේ. ඕකටයි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බුදු පියාණන් වහන්සේලා පාරමී පුරන්නේ. වෙන සමාජ ධර්මයක් දේශපාලන ධර්මයක් උගන්වන්න නෙවෙයි. ඒවා අතරතුරින් කිව්වා නමුත් බුද්ධ දේශනාවේ හරය ඕකයි.   මේ මුළු මහත් සංසාරයෙන් මිදීමේ රහස, ඒ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව අවබෝධ ශක්තිය අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉඟියක් හැටියට. ඒ ඉඟිය යම් කෙනෙක් ඒ අවස්ථාවේ තේරුම් ගත්තා නම් එක මොහොතක එක ගාථා පදයකින්, ඒ තැනැත්තා නිවන් දුටුවා. අන්න එතකොට ඒ විදියට මේ පින්වතුන්ට හිතාගන්න පුලුවන් මේ දේශනාව තුළ ඉතාම ලොකු ගැඹුරක් තියෙනවා. මේක ගැඹුරු හැටියට පේන්නේ ඇත්ත වශයෙන්ම අර භාවනාමය වශයෙන් හිත දියුණු නොකර ගත්තු පුද්ගලයාටයි. අර බාහිය දාරුචීරිය උපාධි ඇති කෙනෙක් නොවෙන්න පුලුවන්. අර මුහුදේ තමන්ගේ නැව බිඳුනට පස්සේ දුකසේ ජීවිතය ගෙනගිය පුද්ගලයෙක්. නමුත් අතීතයේ ලබාගත්තු ඒ පාරමී ශක්තිය පිහිට කරගෙනයි අර තරම් කෙටි දේශනාවක් තුළින් අර්හත්වය පවා ඉතා ක්ෂණිකව ලබා ගත්තේ. අන්න ඒක නිසා අපි හිතාගන්න ඕන දැනුම කියන එක, ලෝකයේ ගොඩ ගැහෙන දෙයක්. ඒකට යටවෙලා බොහෝ දෙනා මිරිකිලා - දැනුමෙන් මිරිකිලා - ජීවිතය ගෙවනවා. දැනුම නිසාම සමහර විට නොයෙකුත් විදියේ කපටිකම් කරලා අන්තිමේ අපායගාමී වෙනවා. දැනුම නෙවෙයි ඇත්ත වශයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව කියන එක වැටහීම් ශක්තියක්, විනිවිද යන දෙයක්. අර වජ්‍ර මාණික්‍ය වැනි දෙයක්. ඒක ඒ විදියට පොත් පත් වලින්වත්, සල්ලිවලින්වත්, උපාධි වලින්වත් ලබාගන්ට බෑ. ඒකට යන මාර්ගය තමයි ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් මේ වටිනා පෝය දවසේ ශීලයක් සමාදන් වුනා, මා හිතනවා වැඩි දෙනෙක්ම. අනිත් ඇත්තොත් උත්සාහවත් වෙන්න ඕන. භාවනාව කියලා කියන්නේ හිත වඩා ගැනීමයි. ඒක සංඝයා වහන්සේලාට විතරක් අයිති දෙයක් නෙවෙයි. දැන් මේ බාහිය දාරුචීරියට - අර වල්කළා අඳගෙන හිටියේ - සිවුරක්වත් නෑ. රහත් වුනා. ඒ වගේම මේ පින්වතුන් කල්පනා කරන්නට ඕන, අපි ගිහි ජීවිතයේ හිටියත් අපි බෞද්ධයෝ නම් අපි කරන්න ඕනේ මේ ශික්ෂා මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට ඒ විදියට ශීලය පදනම් කරගෙන කය, වචනය හික්මවා ගෙන, ඊළඟට හිත තැන්පත් කරගන්න ඕන. ප්‍රධාන වශයෙන් පළමුවෙන්ම සමාධියක්, යම් කිසි කර්මස්ථානයක් කමටහනක්. ඒකට සමහර විට ලොකු වචන ඕනෙ නෑ. එක වචනයක් ‘සුවපත් වේවා’ ‘අරහං’ කියන ඒ විදියේ පදයක් ආශ්‍රයෙන් තමන්ගේ හිත කුසල් අරමුණක තැන්පත් කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ. ඒ විදියට තැන්පත් කර ගත්තානම් එපමණකින් බොහෝ දුරට හිත දිවිල්ල නතර වෙනවා. නමුත් ඉවර වුනේ නෑ. ඊට වඩා ගැඹුරට යන එක තමයි විදර්ශනා ප්‍රඥාව. එතකොට ඒකේ සාරයයි අපි මේ කළ දේශනාව තුළ තිබෙන්නේ. ඇත්ත වශයෙන් කියනවා නම් ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවම බාහියගේ වැටහීම් ශක්තියට ගැලපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ මේ දේශනාව තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. අපිත් අපේ මට්ටමින් මෙක තුළින් නෙළා ගන්න ඕන, අපේ ජීවිතයට උපකාර වන ආකාරයෙන්. අර විදියට මේක සිහිනයක්, මුළු මහත් සංසාරයම එක්තරා සිහිනයක් කියලා හිතා ගන්න ඕන. ඒකට සමහර විට කෙනෙකුට බය හිතෙන්න පුලුවන්. නමුත් තම තමන්ගේ සිහින ගැන හිතලා බලන්න. දැන් සිහිනය කියන එකේ සිහිනය දකින වේලාවට ඇත්ත දෙයක්. අන්තිමට නැගිටලා බලනකොට සිහිනයේ ඇති දෙයක් හැටියට පෙනුනු දේවල් එහෙම පිටින්ම වෙනස්. සමහර විට හොඳ ආහාරයක් කියලා කාලා තියෙන්නේ කොට්ටේ. අනිත් දේවලුත් එහෙමයි. ඒ රෑ දකින හීන. ඇත්ත වශයෙන් කියනවා නම් මුළු මහත් අතීතය ගැන හිතලා බලන්න. මේ පින්වතුන් කුඩා අවදියේ ඉඳලා, මුළු මහත් අතීතය ගැන හිතලා බලන කොට ළමා අවදිය, තරුණ අවදිය, ඒ හපන්කම් ඒවා ගැන හිතලා බලන කොට මේ වයස්ගත මහත්වරු එහෙම හිතලා බලනකොට ඒවා හීනයක් නේද? ඊයේ රෑ දැක්ක හීනය වගේ අතීතය කියන එක. ඊළඟට අනාගතය කියලා මේ ලොකු ප්‍රාර්ථනා ඇති කරගෙන තියෙන අනාගතය ගැනත් අපි හිතලා බලමු. යම් කිසි අවස්ථාවක්, ඒක අද අර දකින හීනය කියලා හිතාගන්න. අද රෑට පේන හීනයයි කියලා. එතකොට මෙතෙක් මේ අද දවසේ කරන ටික. ඒක ගැන මොකක්ද කියන්න තියෙන්නේ. ඒකට කියන්න තියෙන වචනය සමහර විට හාස්‍යජනක දෙයක් වෙන්න පුලුවන්. දවල් හීනයක් වගේ. අන්න ඒ විදියේ දෙයක් මේ පැවැත්ම කියන එක. ඒකයි බුදු පියාණන් වහන්සේ මුළු මහත් සංසාර පැවැත්මම මුළාවක්, මායාවක්, හැටියට ප්‍රකාශ කළේ. විඤ්ඤාණය කියන එකත් මායාවකට, විජ්ජාකාරයෙක් ‘නැති දෙයක් ඇති හැටියකට’ පෙන්වන මායාවකට බුදු පියාණන් වහන්සේ උපමා කරලා තියෙනවා. එතකොට මේ බාහිය සූත්‍රයෙන් කියන හැටියට දුටුවෙහි දුටුමතින් නතරවෙන්නේ මොකද? ‘දුටු දෙයක් කියලා’ ගන්න දෙයක් නෑ. ‘ඇසූ දෙයක්’ කියලා ගන්න දෙයක් නෑ. අපි අර දේදුන්න ගැන සංගීතය ගැන මිරිඟුව ගැන කිව්වා වගේ. නමුත් අපි හිතාගන්නවා. හිතාගැනීම් ගොඩක් ලෝකේ තියෙන්නේ. අපේ සම්මුතිය අනුව එහෙම නැතුව කියන්නත් බෑ. අනිත් අය එක්ක කතාකරන්න බැහැ නේ, ඒ භාෂාවෙන්, අපේ විදර්ශනා භාෂාවෙන්. ඒක නිසා සම්මුති වශයෙන් අපිට කියන්න සිද්ධ වෙනවා දේදුන්නක් පායනවා කියලා. වැස්සක් වහිනවා. වැස්ස වෙනමද වැහීම වෙනමද කියන එක හිතලා බලන්න ඕන. දැන් වැස්සක් වහිනවා. එතකොට වැස්ස කියන එක වහින දේය. ක්‍රියාව වැහීම. වහින එක. මේ දෙක වෙන් කරන්න පුලුවන්ද? බැහැ නේද? අන්න ඒ වගේම තමයි මේ ක්‍රියා මාත්‍ර ගොඩක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ සංස්කාර ගොඩක්. අපි මේකෙන් හදාගන්නවා ලෝකයක්. හදාගෙන, මවාගෙන, මේක අපි බෙදාගෙන, වැට කඩොලු ගහගෙන, එතනයි මෙතනයි කියලා, ඒ සංසාර ගමනයි මේ අපි එලොවයි මෙලොවයි කියල කරන්නේ. මේක එලොවටත් නැති මෙලොවටත් නැති දෙයක් - මේ මුළු මහත් සංසාර පැවැත්ම. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ පැවැත්ම වෙනුවට නැවැත්ම දේශනා කොට වදාළේ. නිවන කියලා කියන්නේ නැවැත්මයි. නිවීමයි. මේක සාමාන්‍ය ලෝකයාට ප්‍රියමනාප දෙයක් නෙවෙයි. ලෝකයා කැමති දැවීමටයි, දිවීමටයි. දැවීමටත් දිවීමටත් කැමති ලෝකයාට නිවීමටත් නැවතීමටත් කරන ආරාධනාව සමහර විට අප්‍රිය වෙන්න පුලුවන්. නමුත් බුදුවරු කියන්නේ එච්චරයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ ඒකයි. එතකොට අන්න නවතින්න, නිවෙන්න - ඒකටයි බුදු පියාණන් වහන්සේ මේ විදියේ දේශනා කළේ. ඒවායින් ඒ නිවුනු නැවතුනු පුද්ගලයින් තමයි මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ. අන්න එහෙම කල්පනා කර ගෙන අද මේ වටිනා පෝය දවසේ මේ පින්වතුන් සාමාන්‍ය ලෝකයා ගැඹුරුයි කියලා අයින් කරන, දැන් කාලේ තේරුම් ගන්න බැරියයි කියලා හිතන දේශනාවකටයි සවන් දුන්නේ. නමුත් මේ පින්වතුන්, ගැමි පින්වතුන් වුනත් අපි සිතනවා. භාවනාවට සිත යොමුකරලා තිබෙනවා නම් මෙබඳු මේ දේශනා පවා තේරුම් ගන්න පුලුවන් ශක්තියක්, තරමක හෝ ශක්තියක්, ඇතෙයි කියලා. ඉදිරියටත් ඒ ශක්තිය දියුණු කරගැනීමට, ඒවාට උපදෙස් ගන්න පුලුවන් අය ළහට ගිහිල්ලා සමථ විදර්ශනා වශයෙන් ඒ සියලුම ශක්තීන් තමන්ගේ චිත්තශක්තීන් දියුණු කරගෙන හැකිතාක් ඉක්මණින් - මේ දේශනාව අවස්ථාවේ ඇති කරගත්තු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ආදි ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන් තව දුරටත් දියුණු කරගෙන මේ ජීවිතය තුළදීම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල ප්‍රතිවේධයෙන් මේ අති භයානක සංසාරයෙන් අත්මිදිලා, අර සිතිවිලි බන්ධනයෙන් මිදිලා, අමා මහ නිවනින් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම අද දින මේ ධර්ම දේශනාමය වශයෙන් අපි රැස් කරගත්තු කුශලයත්, ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුශලයත් විශේෂයෙන්ම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු අවීචියේ පටන් අකනිට්ඨා දක්වා අපගේ ඥාතීන් ඇතුළු යම්තාක් අය සිටිනවා නම් පින් අනුමෝදන් වෙන්න, ඒ හැම දෙනෙක්ම මේ කුශලය අනුමෝදන් වේවා, අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහා නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතිකරගෙන මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි…………..’ 19 වන දේශනය නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනො සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා’ සැදැහැවත් පින්වතුනි, කර්මයත් පුනර්භවයත් අතර පවතින්නේ එක්තරා විදියක චක්‍රාකාර සම්බන්ධයක්. යම්කිසි විපාකවාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්ත්වයා නැවතත් කර්ම රැස්කිරීමේ දී අර කර්ම වේගයටම නතු වෙලා, අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිගින් දිගටම ඇදගෙන යනවා. කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ ධර්ම ශක්තිය පිහිට කර ගෙනයි. කර්මචක්‍රය කොයි තරම් බලගතු උනත් අවසානයේ දී ධර්ම චක්‍රය ජය ගන්නා බව තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා. අන්න ඒ කාරණයට අදාළ යම් යම් සාධක අද අපි මේ මාතෘකා කරගත්තු ගාථාවෙනුත් නිදාන කථාවෙනුත් මේ පින්වතුන්ට අහන්න ලැබෙනවා ඇති. ජේතවනාරාමයේ වැඩ වාසය කළ ‘තිස්ස’ කියන රහතන් වහන්සේ නමක් අවුරුදු දොළහක් තිස්සෙම එක්තරා මැණික් කරුවෙකුගෙ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මව්පිය ස්ථානයෙහි ඉඳගෙන සියලු ඇප උපස්ථාන කරමින් දානය එහෙම පූජා කළා. එක දවසක්දා මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙම මේ ස්වාමීන්වහන්සේ බලාගෙන ඉන්න අතරේ කොසොල් රජ්ජුරුවන්ගෙන් දූතයෙක් ආවා මැණිකකුත් අරගෙන “මේ මැණික ශුද්ධ කරලා විදලා එවන්න කියල රජ්ජුරුවෝ කිව්වා” කියල. මේ මැණික්කාරයා මස් කපමින් හිටිය ගමනේ ලේ තැවරුන අතින්ම අර මැණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හෝදගන්න ගියා. මේ ගෙදර හිටියා හුරතලයට ඇතිකරන කොස්වා ලිහිණියෙක්. මේ පක්ෂියා ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා, මේ තෙරුන් වහන්සේ බලාගෙන ඉන්දෙද්දී. මැණික්කාරයා ගේ අතුලේ ඉඳලා ඇවිත් බලනකොට මැණික නැහැ. ඊළඟට ඇහුවා තමන්ගේ භාර්යාවගෙන් දරුවන්ගෙන් එහෙම මැණික ගත්තාද කියලා. ඔවුන් ගත්තේ නෑ කිව්වට පස්සේ ගේ අතුලට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරනවා “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි ගන්න ඇත්තේ” කියල. භාර්යාව කියනවා “අපොයි එහෙම කියන්න එපා. මෙච්චර කාලයක්, අවුරුදු දොළහක් තිස්සේ, මේ ස්වාමීන් වහන්සේගේ කිසි වරදක් අපිට පෙනුනේ නෑ.” නමුත් මේක අහුවෙ නෑ මැණික්කාරයා. ඇවිල්ල ඊළඟට රහතන්වහන්සේගෙන් අහනවා “දැන් මෙතන තිබුණ මැණික කවුද ගත්තේ? ස්වාමීන් වහන්සේද ගත්තේ?” කියලා. “නෑ මම ගත්තේ නෑ” කියල උන්වහන්සේ කිව්වා. “වෙන කෙනෙක් මෙතන හිටියේ නෑ. ස්වාමීන් වහන්සේ තමයි ගන්න ඇත්තේ. මට ඒ මැණික දෙන්න” කියල කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේට කරකියා ගන්න දෙයක් නෑ. ඊළඟට ආයිත් මේ මැණික් කාරයා ගේ අතුලට ගිහිල්ලා භාර්යාව එක්ක සාකච්ඡා කරනවා. “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි ගන්න ඇත්තේ. මම වද දීලා හරි මෙක අහන්න ඕන” කියල. “අපොයි ඒක නම් කරන්න එපා. අපි විනාශයි ඒක කළොත්. ඊට වැඩිය හොඳයි රජ්ජුරුවන්ට දාසයෙක් වෙන එක මුළු පවුලම” කියලා ඈය කිව්වා. එතකොට මේ මැණික්කරු කියනවා “අපි ඔක්කොම දාසයෝ උනත් මේ මැණිකේ වටිනාකම ගෙවෙන්නේ නෑ” කියල දැඩිව ගත්තු අදහස පිට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ හිස වෙළුවා රෑනකින්. වෙළලා හරියට තිරිංගයක් වගේ ලී කැබැල්ලකින් තද කළා. ක්‍රම ක්‍රමයෙන් වද දෙමින් ඊළඟට අහනවා මැණික ගත්තද කියලා. ඉතින් මේ තද කරන්න තද කරන්න මේ ස්වාමීන් වහන්සේගේ නාසයෙන් කණෙන් ලේ ගලන්න පටන් ගත්තා - කටින් එහෙමත්. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ ඉවසගන්න බැරිව ඇදගෙන වැටුනා බිම. කොස්වා ලිහිණියා ඒ ලේ ගඳට ඇවිල්ලා ලේ බොන්න සූදානම් වෙනකොට මැණික්කාරයා අර ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබුණ තරහින්ම “තෝ මොකක්ද මෙතන කරන්නේ” කියල බැනලා අර කොස්වා ලිහිණියාට පයින් ගැහුවා. ඒ සතා එහෙමම මැරිලා උඩු බැල්ලෙන් අතට වැටුනා. ස්වාමීන් වහන්සේ දැක්කා මේක. දැකලා කියනවා “උපාසකය, මේ බැම්ම ටිකක් බුරුල් කරන්න. බුරුල් කරලා බලන්න අර කුරුල්ලා මැරිලද කියල.” “ඌ වගේම නුඹත් මැරියන්” කියලා මැණික්කරු කිව්වා. ඔන්න එතකොට මේ ස්වාමීන්වහන්සේ තේරුම් ගත්තා මේ සතා මැරුණ තමයි කියල. ඔන්න ඊළඟට කියනවා “උපාසකය, මැණික ගිල්ලෙ මේ කුරුල්ලයි. මම ඒක කිව්වේ නැත්තේ මේ සතාගේ මරණය වෙන නිසා. මා මැරුණත් ඒක කියන්නේ නෑ. දැන් ඉතින් මේ සතා මැරුණ නිසයි මම කියන්නේ” කියල කිව්වා. ඔන්න එතකොට මැණික් කාරයා මේ සතාගේ බඩ පළලා බලනකොට මැණික තියෙනවා. ඊළඟට ලොකු සංවේගයක් ඇති උනා. ඇවිල්ල ස්වාමීන් වහන්සේගේ පාමුල වැඳවැටිලා “අනේ මම නොදැනුවත්කමින් කරපු එකට මට සමාව දෙන්න” කියල ඉල්ලා හිටියා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා. “උපාසකය, මෙක ඔබගේ වැරැද්දකුත් නොවෙයි. මගේ වැරැද්දකුත් නොවෙයි. මේක සංසාර දෝසයක්. මේක සංසාර දෝසයක්, සංසාරයේ වැරැද්දක්. ඒක නිසා මම ඔබට සමාව දෙනවා.” එතකොට මේ උපාසකයා කියනවා “ස්වාමීනි, මට සමාව දෙනවා නම්, වෙනදා වගේම මේ ගෙදරට ඇවිල්ලා පිණ්ඩපාතය වළඳන්න.” එතකොට කියනවා, “නෑ උපාසකය. මට දැන් තේරෙනවා මෙකේ ආදීනව - මේ ගෙවල් ඇතුළට යාමේ - ගේක වහලය යටට යාම නිසයි මෙක වෙන්නේ. මේ විදියේ දෙයක්. ඒක නිසා මගේ පාවල ශක්තිය ඇතිතාක් මම පිණ්ඩපාතයේ වඩිනවා.” කියලා ඒ වේලාවෙම ධුතාංගයක් සමාදන් උනා. එක්තරා ගාථාවකුත් ඒ ධුතාංගයට අදාළ විදියට ප්‍රකාශ කරලා. ‘පච‍්චති මුනිනො භත‍්තං - ථොකං ථොකං කුලෙ කුලෙ <>/br> පිණ‍්ඩිකාය චරිස‍්සාමි, අත්‍ථි ජඞ‍්ඝබලං මම’ ‘පිණ්ඩපාතේ වඩින භික්ෂුව සඳහා ඒ ඒ ගෙවල්වල බත් ටික ටික පැසෙනවා. මම තාම මගේ පාවල ශක්තිය තිබෙන නිසා පිණ්ඩපාතේ වඩිනවා’ කියල ඒ විදියට ප්‍රකාශ කළා. එහෙම කිව්වට මොකද ඒ ස්වාමීන් වහන්සේ අර ඇතිඋන ආබාධයෙන් වැඩිකල් නොගෙවස් පිරිනිවන් පෑවා. ඊළඟට ඒ වගේම මෙතන කියනවා අවසානයේදී - කාලයක් ගියාට පස්සේ - අර මැණික්කාරයත් මරණයට පත් උනා මැණික්කාරයාගේ භාර්යාවත්. ඔය විදියට ඒ අය මරණයට පත් උනාට පස්සේ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මේ සිද්ධියට අදාළ අය කොයි කොයි තැන්වල ද උපන්නේ කියල. අන්න ඒ අවස්ථාවේ දී තමයි මේ අපි මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ. මෙතන කියවෙනවා අර කොස්වාලිහිණියා - සමහරවිට ගෙදර ඇසුරු කළ නිසා වෙන්න ඇති - කොස්වාලිහිණියා අර මැණික්කාරයාගේ භාර්යාවගේ කුසේ උපන්නා කියලා. ඊළඟට ඒ මැණික්කාරයගේ භාර්යාව - යම්කිසි අවස්ථාවක ඔක්කොම දෙනා මිය ගියාට පස්සෙයි මේ ප්‍රශ්නෙ පැන නැගිලා තියෙන්නේ - ඒ භාර්යාව මිය ගිහිල්ලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවා. මැණික්කාරයා නිරයේ - අර රහතන්වහන්සේ කෙනෙක් මැරෙන විදියට මාරාන්තික විදියට පීඩාවක් කළ නිසා නිරයේ උපන්නා. ඒ ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා. මෙන්න මේ කාරණය හෙළිවෙන ගාථාව තමයි අපි අර මාතෘකාව වශයෙන් තැබුවේ. ’ගබ්භමෙකෙ උප්පජ්ජන්ති - නිරයං පාපකම්මිනො සග්ගං සුගතිනො යන්ති - පරිනිබ්බන්ති අනාසවා’ ‘ඇතැම් කෙනෙක් මව් කුස උපදිනවා. පව් කරන අය නිරයෙ උපදිනවා. සුගති කියල කියන හොඳ පැවැත්ම ඇති, හොඳ මාර්ගයේ යන අය ස්වර්ගයෙහි උපදිනවා. දිව්‍ය ලෝකයෙහි උපදිනවා. අනාසව - ආශ්‍රවයන්ගෙන් මිදුනු ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා, රහතන්වහන්සේලා, පිරිනිවන් පානවා.’ කියන ටික පමණයි මේ ගාථාවෙන් කියවෙන්නේ. එතකොට මෙන්න මේකයි පුවෘත්තිය. මේ ගාථාවෙන් පෙන්නුම් කරන්නේ, ඇත්ත වශයෙන්ම, අර කර්මානුරූපව ඒ ඒ අය උත්පත්තිය ලබන හැටි. දැන් අපි වෙනදා වගේම මෙතනුත් මේ කථාවෙනුත් ගාථාවෙනුත් අපට ගතහැකි උපදේශ, ධර්මෝපදේශ, ධර්මකාරණා මතුකරගන්න බලමු.   මේ කථාන්තරය ඇත්ත වශයෙන්ම සංවේගජනක කථාවක්. එක පැත්තකින් බලනකොට මේ කථාන්තරය නියම මැණික හඳුනාගන්න බැරිවුන මැණික්කාරයෙක් පිළිබඳ කථාන්තරයක්. අනික් පැත්තෙන් බලනකොට තමන් අතීතයේදී කරන ලද බරපතල කර්මයකට කර්ම විපාකය ලබාගන්න අවුරුදු දොළහක් තිස්සේ එකම ගෙදරකට වැඩම කළ රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව කථාවක්. ඉතින් අවුරුදු දොළහක් තිස්සේ කුලුපග වෙන විදියට (කුලුපග කියන වචනය යෙදිලා තියෙනවා මෙතන “මැණික්කාර කුලුපග තිස්ස” කියල කියන්නේ) මැණික්කාරයාගේ ගෙදරට ආපු - කුලුපග - හාමුදුරුවෝ පිළිබඳවයි මේ පුවෘත්තිය තියෙන්නෙත්. ඒ තරම් කුලුපග ස්වාමීන් වහන්සේ. නමුත් අර සුළු වේලාවක ඇතිවුන සැකය නිසා මැණික්කාරයා අර විදියට බරපතල වධ හිංසා දීලා රහතන්වහන්සේ මරණයට පත්වෙන ආකාරයට ක්‍රියා කළා. මේක තුළිනුත් අපට යමක් හිතාගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ වඩින වේලාව වෙන කොට ඒ මැණික්කාරයා හිටියේ මස් කපමින්. ලේ පෙරෙන එක වැඩක ඉඳලා තවත් ලේ පෙරන වැඩකට මාරුවීම බොහොම පහසු බවත්, අපිට ඒ අනුව හිතාගන්න පුලුවන්. අර තරම් දරුණු වධහිංසා දෙන්න පෙළඹුනේ ඒක ඒතරම් බරපතල එකක් හැටියට පෙනුනේ නෑ. මැණික ඊට වැඩිය ලොකු උනා. මේ සංසාරයේ වටිනාකම තේරුම් ගත්තෙ නෑ. අවුරුදු දොළහක් තිස්සේ ඒ වැඩිය ගුණවන්ත ස්වාමීන් වහන්සේ - රහතන් වහන්සේ - අඳුන ගන්න බැරිවුනා. ඊට වැඩිය ලොකු උනා අර රජ්ජුරුවො එවාපු මැණික. ඉතින් අන්න ඒකෙන් එක පැත්තක් හිතා ගන්න පුළුවන්. ඊළඟට ඒ එක්කම අපිට තේරෙනවා මෙතන යම්කිසි බරපතල කර්මයක් මේ ස්වාමීන් වහන්සේට පලදෙන්න තිබුනා. මෙතන නාට්‍යාකාර සිද්ධි සමූහයක් තියෙන්නෙ බැලුවහම. බොහෝවිට කර්ම විපාක විඳින්න සිද්ධ වෙනකොට - මේ කාලේ පවා අපිට පේනවා - අමුතු විදියකට සිදුවීම් රාශියක් පෙළගැහිලා එනවා. දැන් මෙතන ස්වාමීන් වහන්සේ එදා වඩිනකොට මැණික්කාරයා මස් කපමින් ඉන්නේ. ඊළඟට රජ්ජුරුවන්ගෙන් මේ පණිවිඩය මැණික පිළිබඳ කථාන්තරය ආවා. ඊළඟට අර කොස්වා ලිහිණියත් එතන. ඔය ඔක්කොම ගැලපිලා අන්තිමට සිද්ධ උනේ රහතන්වහන්සේට අර මාරාන්තික තුවාලය - එහෙම නැත්නම් පිරිනිවන් පාන්න - සිද්ධ උනා, ඒ රහතන්වහන්සේගේ කර්මය නිසා. අන්න ඒක නිසාම තමයි, ඒක තේරුම් අරගෙනයි, ඒ රහතන්වහන්සේ අර මැණික්කාරයා සමාව ඉල්ලන කොට ඉතාමත්ම ගුණවත් අන්දමින් සමාව දෙන අතරේම කිව්වා “මෙක ඔබේ වරදකුත් නොවෙයි. මගේ වරදකුත් නොවෙයි. සංසාර දෝෂයයි” කියල. සංසාර දෝෂය කියල කියන්නේ කරපු කර්මවලට විඳින්න වෙනවා. කර්ම විපාක ගෙවන්න වෙනවා. ඔන්න ඔය කාරණයයි අපිට එතනින් ගන්න තියෙන්නේ. ඒ එක්කම අපට මේ ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණ සම්භාරය පැහැදිලි වෙනවා. දුබලකමක් හැටියට තිබුනේ අර කිව්වා වගේ කුලුපග වීමයි. කුලුපගවීම කියන වචනය තුළ තියෙන අර්ථය - දැන් කුලුපගවීම කියන එක ගිහි ලෝකේ නම් හොඳ වචනයක් හැටියට සලකනවා. සංඝයා වහන්සේලාට නම් කුලුපගවීම දෝෂයක්. ඉතින් ඒක නිසාම තමයි මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ වරද තේරුම් අරගෙන - අර කුලුපග වීමේ ආදීනව තේරුම් අරගෙන - පිණ්ඩපාතේ යාමට, ගෙන්ගෙට පිණ්ඩපාතේ යාමට, අධිෂ්ඨාන කරගත්තෙ. කොහොම නමුත් මේ ස්වාමීන් වහන්සේගෙ උතුම් ගුණ සම්භාරය අපට පේනවා. අර තරම් මාරාන්තික වේදනාවක් ඇවිල්ලත් සාක්කි දුන්නේ නෑ අර කොස්වා ලිහිණියාට විරුද්ධව. කාටවත් බයේ නොවෙයි. තමන්ගේ ඒ ශික්ෂාපදය බිඳෙන නිසා. දැන දැන සතෙකුට මරණය සිද්ධවෙන අන්දමට ඒ විදියට සාක්කියක් දුන්නේ නෑ. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ වේලාවේ ඒ සතා කෙරෙහි ඇති කරුණාව නිසා සත්‍යය නොකියා හිටියා. එතන වටිනා ගුණයක් තියෙනවා. ඒ වගේම අර තමන්ට පීඩා කළ මැණික්කාරයා පිළිබඳව ද්වේෂයක් ඇති කර ගත්තෙ නෑ. ඔන්න ඔය විදියේ වටිනා ගුණ සම්භාරයක් ඒ සංඝයා වහන්සේගේ ජීවිතය තුළින් පැහැදිලි වෙනවා. ඊළඟට අපි මේක ගැන තව කල්පනාකාරීව බලනවා නම් මේක තුළින් අපිට පේන්නේ කර්මයත් විපාකයන්. මේ ගාථාවෙන් කියවෙන්නෙත් ඒකයි. ඇතැම් කෙනෙක් මව් කුස උපදිනවා. ඇතැම් කෙනෙක් අර විදියට නිරයේ. දැන් මෙතන අර මැණික් කාරයාට නිරය හිමි උනා. ඊළඟට භාර්යාව - ඒ දෙදෙනා අතරත් වෙනස පේනවා - ඒ දෙදෙනාගෙන් භාර්යාවට දැඩි ශ්‍රද්ධාව තිබුන නිසා ඒක අනුමත කළේ නෑ. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන්න යන එක ස්වාමීන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිසා අනුමත කළේ නෑ. ඒ ගුණ සම්භාරය නිසාත් ඒ කරන ලද උපස්ථානය නිසාත් ඒ තැනැත්තී දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබුවා කියන එකයි එතන කියවෙන්නෙ. ඊළඟට රහතන්වහන්සේ කොයි ආකාරයෙන් නමුත් අපි කවුරුත් දන්නවා පිරිනිවන් පෑමයි එතනින් කෙරෙන්නෙ. ඉන් පස්සේ උත්පත්තියක් නෑ. නමුත් මෙන්න මේ කථාන්තරය තුළින් අපට පේනවා මේ කර්මයන් විපාකයන් අතර - නැත්නම් කර්මයන් පුනර්භවයන් අතර - තියෙන සම්බන්ධතාව. මේ කර්ම ධර්මතාව - කර්මය කියලා කියන මේ නියාමතාව - බුදු රහතුන් වහන්සේලාටවත් ඉක්මවන්ට බැරි තරම් පුදුම විදියේ බලගතු ධර්මතාවක්, මේ ලෝකයේ තියෙන නියාමතාවක්. ඉතින් ඒක සංසාරික සත්ත්වයා ඇත්ත වශයෙන්ම පිළිගෙන ජීවත්වෙන්ට උත්සාහ කරන්ට ඕන. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේත් කර්මයක් ගැන විශ්වාස කර නැති, කර්ම විපාක ගැන විශ්වාස කර නැති, නොයෙකුත් ශාස්තෘවරු හිටියා. මේ කාලයේත් සමහර විට ඒ විදියේ මතිමතාන්තර ඇති අය ඉන්න පුලුවන්. ඒක නිසා විශේෂයෙන්ම මේ කාලයේත් අපට මේ ධම් දේශනාවලදී නැවත මතක් කර දිය යුතු කාරණයක් තමයි මේක. එලොවක් මෙලොවක් ගැන නොසිතන විදියේ නොයෙකුත් දෘෂ්ටිවාද ලෝකයේ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව - අප කල්පනා කරලා බලනවා නම් අපේ ක්‍රියාවලිය අනුව අපි කරන කර්මවල හොඳ නරක ස්වභාවය අනුව - අපට නැවත භවයක් උත්පත්තියක් ලැබෙනවා. ඒ උත්පත්තියේ ලැබෙන සැප හෝ දුක අර ඒ කර්මයේ ඇති කුශල අකුශල භාවය අනුවයි තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණයත්, ඒ වගේම අපට කර්ම කිරීමේදී පාප කර්මයක් කරන්න සිත පෙළඹෙන්නේ කොයි විදියේ අවස්ථාවකදීද කියන එකත් කල්පනා කරලා බලන්ට ඕන. දැන් අපි කවුරුත් දන්නවා ශීල සමාධි ප්‍රඥා කියලා මේ ශාසනයේ ශික්ෂා තුනක් තියෙනවා. මේවායේ පරමාර්ථය මොකක්ද කියලා අපි හිතලා බලමු. දැන් යම්කිසි වේලාවක ක්‍රියාවක්, කර්මයක්, කරන්න සිද්ධ වෙනකොට ඒ අවස්ථාවේ අපේ ඒ වර්තමාන මොහොත තමයි ඉතාමත්ම වටින්නේ. මොකද, අපි කලින්ම ආරම්භයේදී කිව්වා වගේ අපට සංසාරික වශයෙන් යම් යම් පුරුදු එනවා. එකම කර්මයක් කිරීම නිසා, පාපකර්ම කරපු කෙනාට ඒකට අවනතව ඒ විදියටම කර්ම කරන්න සිද්ධවෙන වේලාවල් තියෙනවා. නමුත් මෙවා මැඩ පවත්වා ගන්න පුළුවන් වෙන්නේ වර්තමාන මොහොත ගැන සැලකිලිමත්ව සිටීමෙනුයි. කොටින්ම කියතොත් අර බුදු පියාණන් වහන්සේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” කියලා වදාළේ මොකද මේ චේතනාව කියන ඒ සුළු මොහොතේදී තමයි මේ කර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපට යමක් කරන්න පුළුවන් වන්නේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් - මේ චේතනා මොහොත. අතීතයේ කළ දේ කළා. ඒකේ විපාකය එනවා. ඒ විපාකය ආවත්, ඒ විපාකය එන අවස්ථාවේදී, අපේ ස්ථාවරය, අපේ අධිෂ්ඨානය, යම්කිසි හොඳ පැත්තකට නමල තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේ අපට බේරුමක් තේරුමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. වගකීමක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ සංසාරික ගමන හොඳ පැත්තට යොමුවෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. දැන් අර එකම සිද්ධිය දැක අර මැණික්කාරයා එක ආකාරයකට ක්‍රියා කළා. මැණික්කාරයාගේ භාර්යාව තව ආකාරයකට ක්‍රියා කළා. සංඝයා වහන්සේ අර රහතන් වහන්සේ, තවත් ආකාරයකට - රහතන් වහන්සේ, ඉතාමත්ම උතුම් උත්කෘෂ්ට අන්දමින්. අමාරු අවස්ථාව තමයි. නමුත් ඒව ජයගන්න පුලුවන් වන්නෙ යම්කිසි ස්ථාවරයක පිහිටියා නම් තමයි. යම්කිසි ආකල්පයක් කලින් ඇතිකර ගත්තා නම් තමයි. අන්න ඒක සඳහායි පින්වතුනි, මේ ශීලය කියල දෙයක් තිබෙන්නෙ. දැන් ඇතැම් කෙනෙක් මේ ශීලය භාවනාව ආදී දේ අනවශ්‍යය කියල කියනවා. මෙතන ගැඹුරින් කල්පනා කරලා බලනකොට මෙතන මේ කෙරෙන්නේ මොකද්ද? අපිට මේ එදිනෙදා ජීවිතයේ පැන නගින නොයෙකුත් අවස්ථාවන් - ඇතැම් විට කර්මානුරූපව අපට එළඹෙන අවස්ථාවල් - ඒ වේලාවේදී ගතයුතු තීරණය ගන්න පුළුවන් වෙන්නේ අර විදියේ යම්කිසි අධිෂ්ඨානයක්, යම්කිසි ශීල අධිෂ්ඨානයක් වැනි හොඳ ස්ථාවරයක් තියෙනවා නම් පමණයි. විසිරුණු සිත පහසුවෙන්ම අනිත් අයගේ කර්මවලට ඇදිල යනවා. අන්න ඒක අපි මතක තබා ගන්න ඕන. විසිරුණු හිතක් ඇති පුද්ගලයා, කිසිම ස්ථාවරයක් නැති, හොඳ ආකල්පයක් නැති පුද්ගලයා, පහසුවෙන්ම අනිත් අයගේ කර්මවලට ඇදිලා ගිහිල්ලා නිරය ආදී තැන්වලට යනවා. මොකද, මේ සමාජය, ලෝකය, කියල කියන්නේ එක එක්කෙනා තම තමන් අරගෙන ආපු කර්ම වේග අනුව ක්‍රියාත්මක වෙන තැනක්. මේක හරියට බැලුවහම එක පැත්තකින් රූකඩ නැටුමක් වගේ දෙයක්. බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, අභිඥාලාභීන්ට මේක පෙනෙන්නෙ හරියට රූකඩ නැටුමක් වගේ. අතීත කර්මානුරූපව ඒ විපාක අනුව යම් යම් දේවල් සිද්ධ වෙනවා. නමුත් ඒවා හමුවේ අර චේතනාව කියන අර සුළු මොහොත, චේතනා මොහොත, අපි හසුරුවාගත්ත නම් අන්න අපි දිනුවා. ඒකට උපකාර වෙන දේය තමයි ශීලය. දැන් මේ අවස්ථාවේදී මේ පින්වතුන් යම් ශික්ෂාපද සමූහයක් සමාදන් උනා. එයින් කෙරෙන්නේ මොකක්ද? හිතට, ප්‍රඥාවට, නුවණට, යම්කිසි අණ කිරීමක් කළා. අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා ‘මම මෙන්න මේ ශික්ෂාපදය - මේ ප්‍රතිපත්තිය රකිනවා.’ අන්න ප්‍රතිපත්තියක් ඇතිව එතකොට ක්‍රියා කරන්න පුළුවන්, ඒ ප්‍රතිපත්තිය සිහියට අරන්. මේ පින්වතුන් අහල තියෙනවා ‘සම්ප්‍රාප්ත විරති’ කියල කියන ශීලයේ එක ආනිශංසයක්. වැරැද්දක් කරන්න වේලාව ආවහම ඒ වේලාවේ එයින් වැළකිලා ඉන්න ශක්තිය ලැබෙනවා ශීල අධිෂ්ඨානය තුළින්, “මම මෙහෙම ශික්ෂාපදයක් සමාදන්වෙලා ඉන්නවා නේද, ඒක මම රකින්න නම් මේ විදියට කරන එක හරි නෑ” කියල. එතකොට ශීලය එක පැත්තකින් උපකාර වෙනවා අර විදියේ අවස්ථාවක අනිත් අයගේ කර්මවලට පටලැවෙන්නේ නැතිව තමන්ගේ ඒ උතුම් ප්‍රතිපත්තිය පෙරදැරි කරගෙන ආරක්ෂා වෙන්න. ඊටත් වඩා ඉහළ මට්ටකින් උපකාරී වෙනවා සමාධිය කියන එකට. සමාධිය කියල කියන්නේ සිත තැන්පත්කර ගැනීමයි. සිත සමාධිමත් කරගැනීම කියල කියන්නේ යම්කිසි තැන්පත් බවක් ලබාගන්නවා. නීවරණ ධම් කියල කියන සිතේ විසිරුණු ස්වභාවය ඉවත්කරලා එකඟකර ගන්නවා. එකඟවුන සිතකට තීරණයක් ගැනීම පහසුයි. යහපත් තීරණයක් ගන්න පුලුවන්. ඒ වගේම සමාධියේ උපේක්ෂාව වගේ තැනකට පත්වුනු කෙනෙකුට ඊටත් වැඩිය ඉහළින් තමාගේ ජීවන රටාවට ගැලපෙන ආකාරයට පැන නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පුළුවන් ධර්මානුකුලව. ඊළඟට ඊටත් වඩා ඉහළ මට්ටම නමයි ප්‍රඥාව. ශීල - සමාධි - ප්‍රඥා. ප්‍රඥාව - එතන අර රහතන් වහන්සේගේ ජීවිතයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔප් නැංවෙන්නේ, ඒ ප්‍රඥාවයි. ඒ විදර්ශනාමය ප්‍රඥාව - එහෙම නැත්නම් මාර්ග ඥානවලින් ලබා ගත්තු ප්‍රඥාව - අන්න ඒ තුළින් මේ කියාපු කර්ම සිදුවෙන අවස්ථාවලදී ආරක්ෂා වෙන්න විශේෂ ශක්තියක් ලැබෙනවා. ඉතාමත්ම ඉහළ උපේක්ෂාවක් එතන තියෙනවා. රහතන් වහන්සේලාගේ ඵල සිත තුළ තිබෙන උපේක්ෂාව පෙරදැරි කරගෙන මෙබඳු අවස්ථාවල්වල ඒවා ජයගන්න පුළුවන් වෙනවා. ඔන්න මෙයයි එතකොට ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ. ප්‍රායෝගික වශයෙන් ඒවා අපිට එදිනෙදා ජීවිතයේ උපකාරී වෙන බව අර විදියේ මිථ්‍යා මත ඉදිරිපත් කරන අයට මතක් කරලා දෙන්න වටිනවා.   දැන් මේක අපි එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් තවත් තේරුම් ගන්න පුළුවන් හැටියට කිව්වොත් දැන් මේ පින්වතුන් - අපි හිතමු - අලුත් කාර්එකක් ගත්තා. වාහනයක් ගත්තා. කොහොම කොහොම හරි එළවන්නත් යම්තම් හරි පුරුදු උනා. එහෙම පුරුදු උනා උනත් මේක පාරට දාලා අනිත් අය එළවන වාහන ගැන නොතකා, පාරේ නීති ගැන නොතකා, එළවන්න ගියොත් කොහෙන්ද කෙළවර වෙන්නේ? ජීවිතය යම්තම් රැකුණත් සමහර විට උසාවිවලට ගිහිල්ලා අනිත් අයගේ වාහනවලට හානි කිරීම නිසා වන්දි ගෙවන්න වෙනව. ඔය විදියේ කරදර රාශියකට මුහුණ පාන්න වෙනවා. එතකොට පාරේ නීතිය රකින්ට ඕන. ඊළඟට මෙක එළවන්න ඕනේ මන්පැත් බිල නොවෙයි හොඳ සිහි නුවණින්, හොඳට සිහි කල්පනාව ඇතිව, යම්කිසි ‘සමාධියකින්’ යුක්තව මේ වාහනය එළවන්නත් ඕන. ඊළඟට හදිසි අවස්ථාවල්වල, අනිකුත් අය තමන්ගේ වාහනයේ හැප්පෙන්න එන වේලාවල්වල එහෙම, ශීඝ්‍රව ක්ෂණිකව හිතලා ඒක ක්‍රියා කරවන්න පුළුවන් ප්‍රඥාවක්, නුවණක්, ඇතිකර ගන්නත් ඕන. ඉතින් එදිනෙදා ජීවිතයේ වාහනයක් එළවීම වැනි දේකට පවා ඔය විදියේ යම්කිසි ශීල - සමාධි - ප්‍රඥා මට්ටමක් ඕන. මේව වරදවා තේරුම් ගන්න එපා. මේ ගැඹුරු ධර්මය පමණට වැඩිය ලිහිල් කරලා කියනවා නොවෙයි. මේ සාමාන්‍ය නිදර්ශනයක් හැටියට කිව්වේ. එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් යම්කිසි ශීලයක පිහිටලා පාරට බහින්නෙ. පාරේ තමන්ට අයිති පැත්ත දැනගන්න ඕන. අර දුගතිය - සුගතිය ගැන කිව්ව වගේ තමයි. වැරදි පැත්තට දාලා ගියා නම් වාහනය, එතනම ඉවරයි. පල්ලමට ගිහිල්ලා අන්තිමට විනාශ වෙලා යනවා. ඒවගේම සමහරවිට අනිත් වාහනත් එක්ක හැප්පිලා නොයෙකුත් විදියේ ගැටුම් ඇතිකර ගන්නවා. ඔන්න ඔය විදියේ තත්වයක් මේ ලෝකෙ තියෙන්නෙ. එක එක්කෙනා අරගෙන එන කර්ම වේගවලින් සංකීර්ණවුනු සමාජයක් මේ තියෙන්නෙ. අපිට පිටට පේන සමාජය නොවෙයි. එක් එක් පුද්ගලයා ඒ ඒ වේලාවට අපි හිතන්නේ නැති ආකාරයටයි හැසිරෙන්නෙ. අර කියාපු රූකඩ නැටුම් වගේ. දැන් අර අච්චර අවුරුදු දොළහක් තිස්සේ මව්පිය ස්ථානයෙහි ඉඳගෙන අර සංඝයා වහන්සේට උපස්ථාන කළ මැණික්කරු සුළු වේලාවක කළ බරපතල කර්මය නිසා අන්තිමට ඒ සියලුම කුසල් වහන විදියෙ ආනන්තරික පාප කර්මයක බැඳිලයි නිරයට ගියෙ. ඔයින් අපිට හිතාගන්න පුළුවන් අපිත් කොයිතරම් හොඳ මිනිස්සු උනත්, හොඳ අය උනත්, සමහර විට අන්න අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධම් අප තුළ නැත්නම් මැණික් කාරයාට උනා වගේ එක සුළු වේලාවක කරන අකුශලයකින් භයානක විපාක නෙළාගන්න සිද්ධ වෙනවා. ඔන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ හරය. ශීල සමාධි ප්‍රඥා කියන්නේ කය වචනය හික්මවා ගැනීමේ ආරම්භක පියවර, ඊළඟට හිත තැන්පත් කරගැනීම, ඊළඟට ප්‍රඥාව කියල කියන්නේ ලෝකයත් ජීවිතයත් පිළිබඳව යථා අවබෝධය අනිත්‍ය, දුක්ඛ අනාත්ම කියල කියන ත්‍රිලක්ෂණය හරිහැටි වටහා ගැනීමෙන් යම් යම් මට්ටම්වලින් මේ සියලු කර්ම වේග සංසිඳවලා අවසානයේ ධර්මචක්‍රය තුළින් කර්ම චක්‍රයත් බිඳලා කර්ම චක්‍රය ජය අරගෙන මේ සංසාර ගමන කෙළවර කරන එක තමයි රහත් වෙනවා කියල කියන්නේ, ප්‍රඥාවෙන් - ඒ මාර්ග ඵල පැත්තෙන් බලනවා නම්. දැන් ඊළඟට අපි තවදුරටත් මේ ගැන හිතනවා නම් බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරලා තිබෙනවා මේ කර්ම පිළිබඳව එක්තරා විග්‍රහයක්. ඒක මේ කථාවටත් ගැලපෙන නිසා අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරමු. කර්මය පිළිබඳ නා නා විධ විග්‍රහ බුදු පියාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවල ඉදිරිපත් කළා. එක තැනක උන්වහන්සේ දක්වනවා “මහණෙනි කර්ම වර්ග හතරක් තියෙනවා.” ඒක අපි සිංහල වචනයෙන්ම කිව්වොත් පහසුවෙන් තේරුම් ගන්න- 1. කළු විපාක ඇති කළු කර්ම තිබෙනවා 2. සුදු විපාක ඇති සුදු කර්ම තිබෙනවා 3. කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම තිබෙනවා 4. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම තිබෙනවා ඔය විදියට කර්ම වර්ග හතරක් දක්වනවා. මේ එක එකක් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියටයි තේරුම් කරන්නේ. කළු විපාක ඇති කළු කර්ම කියල කියන්නේ විශේෂයෙන්ම පඤ්චානන්තරිය කර්ම, මේ පින්වතුන් අහල ඇති ඔය මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙකුගේ මරණය සිදුකිරීම, ද්වේෂ සිතකින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, ඊළඟට සංඝභේදකර්මය කියන ඔය පඤ්චානන්තරිය කර්මය කළොත් ඒකාන්තයෙන්ම නිරයේ උපදිනවා. එතකොට මෙතන ඒ විදියට කියන්නේ කළු කර්ම කියල කියන්නේ යම්කිසි කෙනෙක් පීඩාකාරී ස්වභාව ඇති කායකර්ම වාග්කර්ම මනෝකර්ම කරලා පීඩාකාරී ස්වභාවය ඇති තැනක උත්පත්තිය ලබනවා. මෙතන විශේෂයෙන්ම කියන්නේ නිරය. ඒක තනිකරම දුක් සහිත එකක්. ඒකයි ඒක කළු. කර්මයන් කළුයි. කර්ම විපාකයන් කළුයි. එහෙම තැනක උපන්නාම - මෙතැන කියැවෙනවා - අර පීඩාකාරී ස්පර්ශ ඒ තැනැත්තාව ස්පර්ශ කරනවා. මෙතන බලනකොට මහ පුදුම යෙදුමක් යෙදිලා තියෙන්නේ. කර්ම යන්ත්‍රයෙන් කෙරෙන්නෙ මේ ඔක්කොම. ඊළඟට ඒ පීඩාකාරී ස්පර්ශ නිසා ඒ තැනැත්තා ඒකාන්ත දුක් වේදනා රාශියකට මැදිවෙනවා. ඔන්න ඔය විදියටයි, එයිනුත් බුදුපියාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ, “කම්මදායාදා සත්තා” කියන වචනය. හැම කෙනාටම, හැම සත්ත්වයින්ටම, කර්මය දායාදයයි කියන එක පෙන්නුම් කරනවා, ඒ කියමනෙන්. ඒ කියන්නේ යම් කෙනෙක් අර විදියට කළු කර්මයක් කළා නම් කළු විපාක ගෙනදෙන, ඒකට අනුරූපවන නිරය ආදී තැන්වල උත්පත්තිය ලබනවා. උත්පත්තිය ලැබුනාම කොයි කොයි ආකාරයෙන් නමුත් ඒකට ගැලපෙන ස්පර්ශ - දුක් වේදනා ගෙන දෙන පීඩාකාරී ස්පර්ශ - විඳින්න සිද්ධ වෙනවා. ඒ කළු කර්ම. ඊළඟට සුදු විපාක ගෙන දෙන සුදු කර්ම. ඒ මොනවාද? ඒක තේරුම් කරන්නේ - එතන පෙන්නුම් කරනවා දශ කුශල කර්ම. දස අකුසල් වලින් වෙන්වෙලා ප්‍රාණඝාත, අදින්නාදාන, කාම මිථ්‍යාචාර. දැන් මේ අවස්ථාවේ සමාදන්වූ ශීලයට අදාළ වචනය පිළිබඳ දේවල් - බොරුකීම්, කේලාම්කීම්, පරුෂ වචන කීම්, නිෂ්ඵල වචන දෙඩීම්. ඊළඟට අභිජ්ඣා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියල කියන - විෂම ලෝභය, ද්වේෂය, මිථ්‍යාදෘෂ්ටිය කියල කියන ඒ අකුසල තත්ත්ව වලින් ඉවත් වෙලා කුසල් සිත් ඇතිකර ගැනීම තමයි මෙතන - සුදු කර්ම කියල කියන්නෙ. අන්න ඒ විදියටම ඒ සුදුකර්ම කළ කෙනා ගිහිල්ලා උපදිනවා ඒකාන්ත සැප ඇති සුභකිණ්හ කියන ඒ බ්‍රහ්ම ලෝකයේ. එතන ඉහළම මට්ටමින් ඒ කියන්නේ. එතකොට සුදු කර්ම කරලා සුදු විපාක ගෙනදෙන තැනක උත්පත්තිය ලබනවා. ඊළඟට කළු සුදු කර්ම කියල ප්‍රකාශ කරන්නේ අරව මිශ්‍ර විදියට - ඒ කියන්නේ අර විදියේ නරක කර්මත් කරනවා. ඒ එක්කම ඉඳ හිටලා කුසල් කර්මත් කරනවා. ඒ මිශ්‍ර විදියට කර්ම කරපු අය උපදින තැන් හැටියට සඳහන් කරනවා. මනුෂ්‍ය ලෝකය, ඇතැම් දිව්‍ය ලෝක, ඒ වගේම ඇතැම් අපායවල් තියෙනවා. තනිකරම දුක් නොවෙයි ඉඳහිටලා සැපත් තියෙනවා. සැප කියල කියන්න පුළුවන් සැප වේදනාත් තියෙනවා. අන්න ඒ විදියට බුදු පියාණන් වහන්සේ එතන දක්වනවා අර තුන්වෙනි කොටස. ඒක මිශ්‍රයි. කළු සුදු කර්ම. කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම. හතරවෙනුව දක්වනවා - ඒක තමයි ගැඹුරුම එක - නොකළු නොසුදු විපාක දෙන නොකළු නොසුදු කර්ම. ඒක විශේෂයි. ඒව හඳුන්වන්නේ සියළුම කර්ම ක්ෂය කිරීමට උපකාර වෙන ඒවයි කියල. ඒ කර්මය - නොකළු නොසුදු කර්මය කියන එක - සියලුම කර්ම ජයගන්න උපකාර වෙනවා. ඒක තේරුම් කරන්නේ මෙහෙමයි. යම්කිසි කෙනෙක් චේතනාවක් ඇතිකර ගන්නවා නම් ධර්මනුකුලව අර කලින් කියාපු කළු විපාක දෙන කළු කර්ම නැති කිරීමටත්, සුදු විපාක දෙන සුදු කර්ම නැති කිරීමටත් කළු සුදු විපාක දෙන කළු සුදු කර්ම නැති කිරීමටත්, කෙටින්ම කියතොත් සියලුම කර්ම නැති කිරීම සඳහා ඇති කර ගන්නා චේතනාවයි එතන හඳුන්වන්නේ නොකළු නොසුදු කර්ම හැටියට. ඒ කියන්නේ, කෙටින්ම හඳුන්වනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය - මැදුම් පිළිවෙත. නිවනට උපකාරීවෙන මධ්‍යම ප්‍රතිපදාවයි එතන බුදුපියාණන් වහන්සේ දක්වන්නේ. තවත් තැනක ඒක තේරුම් කරලා තියෙනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන අදහසම, බෝජ්ඣංග හත හැටියටත් - සත්ත බෝජ්ඣංග. සත්ත බෝජ්ඣංග කියල කියන ඒ බෝජ්ඣංග ධර්ම වැඩුවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මට්ටමින් වැඩුවත් අන්තිමට සිද්ධ වෙන්නේ මොකක්ද, පින් පව්, කුසල් අකුසල් කියල කියන අර මුළු කර්ම චක්‍රයෙන්ම ගැලවෙන්න පුළුවන් වෙනවා අවස්ථා හතරකදී, සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන - මේ පින්වතුන් අහල තියෙනවා. කර්ම චක්‍රයේ බලය බිඳින්න - කොටින්ම කියතොත් - කර්මයට හේතුව නැති කිරීමෙන්. සංස්කාර කියල කියන්නේ, පටිච්ච සමුප්පාද ධර්මයේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ කියල කියන්නේ, අවිද්‍යාව නිසයි මේ සංස්කාර ඇතිවෙන්නේ. අපි මේ කර්ම කියල කියන වචනයම තමයි මේ සංස්කාර කියලා සියුම් ආකාරයකින් මෙතන ප්‍රකාශ වෙන්නේ. අවිද්‍යාව කියල ගත්තෙත් ‘මමය’ ‘මාගේය’ කියන හැඟීම මුල් කරගෙන තමයි සියලුම කුසල් හෝ අකුසල් හෝ පින් හෝ පව් හෝ සිදු වෙන්නේ. එතකොට ඒව නැතිකර ගන්න නම් අර අවිද්‍යාව නැතිකරන්න ඕන. ඒකට උපකාර වෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව - ආර්ය අෂ්ටාංගික මාර්ගය. තවත් පැත්තකින් කියනවා නම් අර බෝජ්ඣංග හත වැඩීම. සති, ධම්ම විචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි උපෙක්ඛා කියල කියන බෝජ්ඣංග වැඩීම. ඒකයි බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයාට දෙන විශේෂ පණිවිඩය. බුදු කෙනෙක් උපන්නත් නැතත් කර්මය පිළිබඳ මතිමතාන්තර ලෝකයේ නොයෙකුත් ශාස්තෘවරුන් අතර තිබෙනවා. බුදු කෙනෙක් පමණයි මේ කර්ම වාක්‍යය බිඳින්න පුළුවන් මාර්ගය දක්වා වදාරන්නේ. අන්න ඒකයි මෙතන මේ හතරවෙනුව කියාපු කොටස ඉතාමත්ම වැදගත් වෙන්නේ. නොකළු නොසුදු විපාක ඇති නොකළු නොසුදු කර්ම. කුසල් අකුසල් දෙකම ජයගන්නවා.   දැන් මේක කිව්වහම ඇතැම් කෙනෙක් මේක වරදවා තේරුම් ගන්න පුළුවන්. එහෙම නම් පින් දහම් ඕන නෑ. කුසල් අකුසල් ගැන හිතන්න ඕන නෑ. එහෙම කියලා බේරෙන්න බෑ මෙතන. මෙතන ඉතාමත්ම සියුම් තැනක්. මෙතනත් බොහෝ දෙනා පටලවා ගන්නවා. ඕකයි අර ධර්මය ගැන ප්‍රකාශ කරනකොට බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ නයාගේ වල්ගෙන් අල්ලුවා වගේ ඇතැම් කෙනෙක් මේ වැරදි දෘෂ්ටි අල්ල ගන්නවා කියල. මෙතන තියෙන්නෙ මැදුම් පිළිවෙතක්. මේ මැදුම් පිළිවෙත වඩාත් ලස්සනට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරපු තැනක් තියෙනවා එක්තරා සූත්‍ර දේශනාවක. එක් අවස්ථාවකදී එක්තරා දේවතාවෙක් ඇවිල්ල බුදු පියාණන් වහන්සේගෙන් අහනවා “නිදුකාණෙනි, ඔබ කොහොමද මේ සැඩ වතුරෙන් එතර උනේ?” කියල. මේ සැඩ වතුර කියල එතන ඒ දේවතාවා යොදන්නෙ - මේ පින්වතුනුත් සමහරවිට අහල ඇති - ධර්ම විග්‍රහවල කියැවෙනවා ‘ඕඝ’ කියල වචනයක්. ‘ඕඝ’ හතරක් තියෙනවා මේ සංසාරික සත්ත්වයා ගසාගෙන යන, කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියල. කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියල. ඒ කියන්නේ කාම සිතුවිලි - ඒවා මහා සැඩ වතුරක් වගේ ගලාගෙන ඇවිල්ලා සත්ත්වයා ඒවායින් ගසාගෙන යනවා. ඊළඟට භවයේ පැවැත්ම සඳහා තිබෙන ආශාව, භව තණ්හාව. ඊළඟට නොයෙකුත් දෘෂ්ටි - දෘෂ්ටිවලට අහුවෙලා ගසාගෙන යනවා. අවසාන වශයෙන් අවිද්‍යාව - නොදැන්ම. මේව ඔක්කොම සැඩවතුරු හැටියට දක්වනවා. සංසාරික සත්ත්වයා ගසාගෙන යන සැඩවතුරු හතර. මේ සැඩවතුරු හතරට ගසාගෙන යන අතරේ මෙයින් එතරඋනේ කොහොමද කියන එකයි මේ දේවතාවා බුදුපියාණන් වහන්සේගෙන් විමසන්නෙ. බුදු පියාණන් වහන්සේ ඒකට ඉතාම කෙටි පිළිතුරක් දෙනවා. “ඇවැත්නි, මම මේ සැඩවතුරින් එතර උනේ නොනවතිමින් නොදඟලමින්. ‘නොනවතිමින්, නොදඟලමින් සැඩ වතුරින් එතෙර උනිමි’ කියල පිළිතුරු දෙනවා. ඒ කොහොමද කියලා තව විස්තර ඇහුවාම කියනවා”ආවුස්නි, මම යම් අවස්ථාවක නැවතුනා නම් - සැඩ වතුරට අහුලන වේලාවේ මම නැවතුනා නම් - ඒ වේලාවේ ගිලා බහිනවා. දැඟලුවා නම් ගසාගෙන යනවා. ඒක නිසා නොනවතිමින් නොදැඟලමින් තමයි මම සැඩ වතුරින් එතර උනේ. ඒ කියන්නේ පින්වතුනි, අර මධ්‍යම ප්‍රතිපදාවයි. මැදුම් පිළිවෙතයි. දැන් හිතලා බලන්න ඔය සොරොව්වකට ගසාගෙන යන්න වගේ එන අවස්ථාවක්, එහෙම නැත්නම් දියවැලකට අසුවුනු අවස්ථාවක්. ඒකටම ඉඩදීලා හිටියොත් අර කියාපු එකක් සිද්ධ වෙනවා. ඊළඟට නිසියාකාරයෙන් එයින් මිදෙන්න උත්සාහ කරන්නේ නැතිව දැඟලන්න ගත්තොත් ඒත් ගහගෙන යනවා. එක්කෝ යටට යනවා. එහෙම නැත්නම් ගසාගෙන යනවා. මෙන්න මේ විදියේ තත්ත්වයක් මේ කර්මය පිළිබඳව තිබෙන්නෙ. ඒ කියන්නේ මේ කර්මය පිළිබඳ ප්‍රශ්නවලදී මේක දිහා බලන්න ඕන, අන්න අර අකුසල් - පාපකර්ම - සංසාරික සත්ත්වයාට ඒවා විපාක දෙනවා. ඒව නැතෙයි කියල කියන්න බෑ. ඒක නිසා ඒව ජයගන්න ඕන කුසල්වලින්. මේකයි මැදුම් පිළිවෙත. අකුසලය වෙනුවෙන් කුසලය වැඩිය යුතුයි. පව් වෙනුවට පින් කළ යුතුයි. එහෙම කරලා යම්කිසි ස්ථාවරයකට එන්න ඕන. යම්කිසි සමාධියක්, කොටින්ම සමාධිමත් සිතක්, ලබාගන්න පුළුවන් වෙන්නේ අර ශීලාදී ගුණධර්ම රැක්කොත්. ශීලාදි ගුණධර්මවල තිබෙන්නෙ අන්න අර කුසල් අකුසල් වෙන් කරලා තේරුම් අරගෙන, පින්පව් තේරුම් අරගෙන, අර කුසල මාර්ගයේ ගමන් කිරීමයි. එතකොට මේව අහක්දාල බෑ. එතර වෙන්න කලින් පහුර කඩල බිඳල විනාශ කරගත්තොත් ඒ තැනැත්තාට එතෙර වීමක් නෑ. ඒක නිසා මෙන්න මෙතන මේ මැදුම් පිළිවෙත කියල කියන්නේ මෙතන නැවතීමකුත් නෑ. එක අන්තයකට යන්නෙත් නෑ. එහෙම උනොත් සමහරවිට ඔය කාමසුඛල්ලිකානුයෝගය කියල අපට ඕන හැටියකට ජීවත්වෙන්න පුළුවන්, විනෝදවෙන්න පුලුවන්, කියල ඒ අන්තයට යනවා. එහෙම නැතිව අනිත් පැත්තට ගියොත්, ඔන්න දඟලන්න පටන් ගන්නවා. අත්තකිලමථානුයෝගය වගේ. අර නිගණ්ඨයෝ කළා වගේ ඔක්කොම ගැට අහක්කරන්න ඕන කියල ඇඳුමෙ ගැටයත් අහක් කරල නිර්වස්ත්‍ර යන්න තරම් අන්තයකට යන කට්ටියක් ඉන්නවා. ඔන්න ඔය දෙක තමයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අන්ත හැටියට. නැවතී සිටීම, කාම සුඛල්ලිකානුයෝගය. මේ කුසල් අකුසල්, ගුණධම් ආදියක් ගැන නොතකා තමන්ට ඕන හැටියට පඤ්චකාම සම්පත්තියෙන් විනෝද වීම. අනික් අන්තය තමයි අර දැඩිව, මේ පින්වතුනුත් අහල තියෙනවා අතීතයේ හිටිය ඔය නිගණ්ඨයෝ වගේම තවත් නිගණ්ඨ පිළිවෙතටම ළංව බල්ලන් හැටියට ජීවත්වුන අය, ගවයින් හැටියට ජීවත්වුන අය. නොයෙකුත් වත දැඩිව අරගෙන ඒවායින් විමුක්තිය ලැබෙනවා කියල. ඔය නොයෙකුත් විදියේ මිථ්‍යා මත අරගෙන, ශීල ව්‍රත අරගෙන, ජීවත් වන අය තමයි අන්න අනිත් අන්තය. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ ශීලය උපකාර කරගෙන සමාධිය වඩා ගන්නවා. එතනුත් ලගින්නේ නැතිව, සමාධිය උපකාර කරගෙන ඊළඟට අන්න අර කියාපු අනිත්‍ය, දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නුවණින් දැකලා ප්‍රඥාව මතුකර ගන්නවා. ප්‍රඥාව මතුකර ගන්නවා කියල කියන්නෙ පින්වතුනි, අර කියාපු අවිද්‍යාව නැතිකර ගැනීමයි. අවිද්‍යාව නිසා නම් අර කුසල් අකුසල් වශයෙන් සැලකෙන සියලුම සංස්කාරයන් මේ චිත්ත සන්තානයේ ඇතිවෙන්නෙ, ඒ සංස්කාර සංසිඳවීමේ මාර්ගයයි එතකොට ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දීපු විශේෂ පණිවිඩය. මේ සංස්කාර සංසිඳවීමේ මාර්ගයයි. ඒකයි මේ ලෝකෝත්තර මාර්ගය කියල කියන්නෙ. දැන්, ‘සම්මා දිට්ඨිය’ කියල කියන එකෙත් පැති දෙකක් තිබෙනවා. බොහෝ දෙනා ඒක ගැන හරියට අවබෝධයකුත් නැතිවයි කථා කරන්නෙ. මේ සම්‍යක් දෘෂ්ටිය කියන එකේ එක පැත්තක් තමයි ‘කම්මස්සකතා සම්මා දිට්ඨිය’ කියන එක. කර්මය තමාගේය කියල කියන ඒ ස්ථාවරයේ ඉඳගෙන ඒකට මුහුණදෙන්න පුළුවන් ආකාරයට ක්‍රියා කිරීම. එතකොට පින්පව් පිළිබඳව, කුසල් අකුසල් පිළිබඳව හරි අවබෝධයක් ඇතිව, ඇස් ඇතිව ජීවත්වෙන්ට ඕන - කෙනෙක්. මොකද, එහෙම නැත්නම් අර භයානක දුගති තත්ත්ව වලට ගිහිල්ලා සංසාරය දිග්ගැස්සෙනවා. තවත් ඔලුව උස්සන්න බැරි තත්ත්වවලට යනවා. ඒකට ‘කම්මස්සකතා’ කියල කියන්නෙ, කර්මය මගේය කියන හැඟීම. මොකද කර්මය මගේය කියල කියන්නෙ? ‘මමය’ කියල කෙනෙක් නෑ කියල බේරෙන්න බෑ. මොකද, ‘මමය’ කියන හැඟීමක් ඇතිවයි අර කියන කර්ම කරන්නෙ. එහි විපාකය එනවාමයි. එහි විපාකවාරය එන්නෙත් ‘මම’ කියන එක උඩමයි. ඒක නිකම් හරියට ‘වගකීමක්’ වගේ දෙයක්. වගකීම කියන එක තමන් ගත්තු දෙයක්. ‘මමය’ කියල වගකීම අරගෙනයි යම්කිසි කෙනෙක් අර පාප කර්ම ආදියෙහි යෙදෙන්නේ. ඒකට අනුරූපවම ඒ තැනැත්තා කරා කර්මය ගලාගෙන එනවා. ඒක නිසා තමයි අර කර්මය ‘තමාගේය’ කියල කියන්නේ ‘මගේ නෑයා මගේ බන්ධුවරයා’ කියල කියන්නෙ. එතෙන්ට අනාත්මය කිට්ටුකරල වරදවලා තේරුම් ගන්න නරකයි. ඒක එක මට්ටමක්. ඒක කොටින්ම කියතොත් සංසාරික සත්ත්වයාගේ සමුදය පක්ෂයයි. දැන් මේ ඇතිවීම් - නැතිවීම් කියල දෙකක් තිබෙනවා. එයින් සංසාර සත්ත්වයා ඉන්නේම සමුදය පක්ෂයේයි කියල කියනවා. ‘සමුදය’ කියල කියන්නේ ඇතිවීම. හැම තිස්සෙම බලන්නෙ ඇතිකරන්නයි. ඇතිකරගන්නයි. අලුත් කරන්නයි. මුළු මහත් සංසාරික පැවැත්මම අර අනිත්‍යතාව වෙනුවට - අනිත්‍යතාව අමතක කරල - ලෝකය නිත්‍ය කියන හැඟීම ඇතිකර ගන්න දරණ උත්සාහයක්. නිත්‍ය සංඥාව. ලෝකය නිත්‍යය කියන හැඟීම ඇතිකරගන්න නම් කරන්න ඕනේ මොකක්ද? අර දිරාපත්වෙන දේවල්, නැතිවෙලා යන දේවල් බව අමතක කරලා ඒ වෙනුවට ඒවා අලුත් කරමින් ‘මේ හැම එකක්ම සදාකාලිකය’ කියන හැඟීම මතුකර ගන්න ඕන. මමත්මය කියන හැඟීමත් ඒක උඩයි යන්නෙ. එතකොට ඒ අනුව ඇතිකර ගන්න කර්මවලට විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් අනිත් පැත්ත තමයි ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර පැත්තේ මොකක්ද? ලෝකෝත්තර පැත්තෙ නිරෝධය දිහාව බලාගෙන ඉන්නෙ. ආර්ය ශ්‍රාවකයා නිරෝධය පැත්තටයි මූණදාලා ඉන්නේ. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා සමුදය පක්ෂයටයි මූණදාලා ඉන්නේ. තව විදියකින් කියනවා නම්, ‘අද මේ කොයිතරම් දුක් වින්දත් හෙට උදෑසන හොඳයි’ කියල හිතාගෙන වගේයි ඉන්නේ හැමෝම. මේ ජීවිතය ගෙවුනත් ඊළඟට තව ජීවිතයක් පතනවා. මේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරිවුනා. නමුත් ඉළහ ජීවිතයේ පුළුවන්. ඔන්න ඔය විදියට අවිද්‍යාවත් තණ්හාවත් උඩ යන ගමනක් තමයි මේ සංසාරය කියල කියන්නේ. ඒක අර සමුදය පක්ෂයේ ජීවත්වීමක්. අන්න එබඳු පුද්ගලයාට අර කියාපු කර්ම ධර්මතාව බලපානවා. ඒක නිසා ඒක පිළිගෙන ඒක අනුව ජීවත්වෙන්න බලන්න ඕන. එහෙම නැත්නම් ඒ තමන් ඉන්න තත්ත්වයටත් වඩා භයානක විදියේ තත්ත්වයකින් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට මෙයින් ගැලවෙන්න ඕන කරන්නෙ, ගැලවෙන්න උපකාර වෙන්නෙ, අර නිගණ්ඨයො කරා වගේ ශරීරයට නොයෙකුත් දුක් දීලා, ‘අතීත කර්ම මේ දුක් දීමෙන් මම ගෙවලා දානවා තවත් කර්ම මම කරන්නේ නෑ’ කියලා මුකවාඩම් බැඳගෙන එහෙම නැත්නම් ඇඳුම් එහෙමත් ඉවත් කරලා ඒ විදියට කරන අන්තගාමී උත්සාහයක් නෙවෙයි. මේ කර්මවල කර්ම වේග සංසිඳවන්න පුළුවන් වෙන්නෙ - බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නෙ - ප්‍රඥාවෙන්මයි. අවිද්‍යාව නැති කිරීමෙන්මයි. වෙන ක්‍රමවලින් බෑ. මේ සියළුම කර්ම ගෙවාදාලා ඉවර කරන්නත් බෑ. මේ කර්මක්ෂය කිරීම - දැන් මෙතන කියවෙන අර හතරවෙනි නොකළු නොසුදු කර්මයෙන් කර්මක්ෂය කරනවා කියල කියනව. කර්මක්ෂය කරනව කියල කියන්නෙ, දැන් මේ පින්වතුන් අහල තියෙනවා සෝවාන් පුද්ගලයා හත්සැරයක් උපදිනවා කියල. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අර ඒ සෝවාන් මාර්ග ඥානයෙන් ලබන ශක්තිය උඩ, එයින් කැපී යන කෙලෙස්වල බලය නිසා, ඒ ශක්තිය උඩ සෝවාන් උන ආර්ය පුද්ගලයාට අපායට යන්න පුළුවන් කර්ම කරන්න බැරිවෙනවා. අපායට යන්න පුළුවන් වෙන්නේ අර දැඩි සක්කාය දිට්ඨියක් ඇතිව කරපු කර්මවලිනුයි. එතකොට සක්කාය දිට්ඨිය කියල කියන්නෙ ‘මමය මගේය’ කියන එකේ ඉතාමත්ම ඕලාරික, ගොරහැඩි පක්ෂයයි. අන්න ඒ අවිද්‍යා තට්ටුව කැඩෙනවා මාර්ග ඥානයෙන්, ඒක නිසා තමයි ඒ තැනැත්තාට අපායට යන්න බැරි. අපායෙන් මිදුනා, කොටින්ම කියතොත්. ඊළඟට අර මමත්වය අඩුවීමේම ප්‍රතිඵලයක් හැටියට තමයි තවත් උත්පත්ති හතකට පමණක් සීමා වෙන්නෙ. අන්න ඒ විදියටයි බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳන්නෙ. මෙකයි මැදුම් පිළිවෙත. ‘නොනවතිමින් නොදැඟලමින්’ කියල කීවේ ඒකයි. ප්‍රඥාවෙනුයි මේ ප්‍රශ්න විසඳන්නෙ. වෙන කෘත්‍රිම ක්‍රමවලින් නොවෙයි. මොකද ඒ තරම්ම භයානකයි මේ සංසාරයේ කර්ම චක්‍රය. රහතන් වහන්සේලාටත්, බුදුවරුන්ටත්, මේ කර්ම විපාක දෙනවා. නමුත් ඒ අර අරගෙන ආපු ශරීරය - මේ අපි රහත් කෙනෙක්, බුදු කෙනෙක්, කියල කියන ඒ උත්තමයින් පවා මේ ලෝකයේ පහළ උනේ යම්කිසි කර්ම ශක්තියකින්, අන්න ඒකට අනුරූපව ඒ විපාක විඳින්න වෙනවා. නමුත් එතනින් ඉවරයි, ඒක. ඊට පස්සේ නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. අන්න ඒ ප්‍රශ්නය විසඳීමටයි බුදු පියාණන් වහන්සේ මේ මාර්ග ඵල වශයෙන් දක්වලා තිබෙන්නෙ. ඒ සෝවාන් තත්ත්වයේදී හත්වරක්, ඊළඟට සකදාගාමී නම් නැවත එක් වරක් පමණක් මෙලොවට එන, ඊළඟට අනාගාමීව බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා යම්කිසි කාලයක් ඉඳලා රහත් වෙලා පිරිනිවන්පානවා. මෙලොවම පරිනිර්වාණය ලබාගත්තු ඒ රහතන්වහන්සේලා, බුදුවරු පසේබුදුවරු නැවත උත්පත්තියක් ලබන්නේ නෑ. නැවත උත්පත්තියක් ලබන්නේ නෑ කියන්නේ අර එකතුවුන කර්ම රාශිය ක්ෂය කරා කියන එකයි. ඔන්න ඕකයි එතකොට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන විසඳුම. අපි මෙන්න මේ කාරණා නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් මෙන්න මේ කියාපු වැරදි දෘෂ්ටි - ඒ කියන්නේ පින්පව් දෙකෙන්ම සංසාරය වැඩෙනවා. පින්පව් කියන ඒ දෙකෙන්ම, එහෙම නැත්නම් කුසල අකුසල හැම එකකින්ම - සංසාරය දිග් ගැස්සෙනවා. ඒක නිසා අපි පින් ගැන උනන්දුවෙන්න ඕනෙත් නෑ. පව් ගැන නම් - කොහොමත් ඒ ගැන කථාවක් නෑ. ඒක කොහොමත් කෙරෙන එක නේ. නමුත් අමාරු දේ තමයි පින් කිරිල්ල - කුසල් කිරිල්ල - ‘ඒවා ගැන මහන්සි වෙන්න ඕන නෑ. ඒක කළොත් සංසාරය දික්වෙනවා.’ අන්න වැරදියට ගත්තා ඒක. අර නයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ. ඒක කළයුතු ආකාරය බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. අර කලින් කියාපු විදියට ශීලය තුළින් ප්‍රායෝගික මට්ටමකින් කය වචනය හික්මවා ගන්නවා. එයින් ලබන ප්‍රතිඵලය මොකක්ද, ඒ නිරවද්‍ය සුඛය කියල කියන පසුතැවිලි නැති බව - ඒක උපකාර කරගෙන ඊළඟට සමාධියක් ඇතිකර ගන්නවා. ඒ සමාධියෙත් ලැගල ඉන්නෙ නෑ. ඒකත් භවය දිග් ගැස්සෙන දෙයක්. ඒකත් අල්ලගන්නෙ නෑ බුදු පියාණන් වහන්සේ. ඒ වෙනුවට සමාධිය උපකාර කරගෙන ඒ තැන්පත්වුනු සිතෙන්, එකඟවුනු සිතෙන්, ත්‍රිලක්ෂණය විනිවිද දකිනවා. බුදු කෙනෙක් ලෝකයාට ඉදිරිපත් කරන විශේෂ දර්ශනය තමයි විදර්ශනාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒකත් විදර්ශනාත්මක වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් හොඳ සමාධියක් තියෙනවා නම්. ඒ විදර්ශනා මට්ටමින් තමයි, විදර්ශනාව සැලකිය යුතු අන්දමින් දියුණු උනාට පසුව තමයි. අර කියාපු මාර්ග ඵල ප්‍රතිවේධය තුළින්, ඒ විනිවිද දැකීම තුළින් අවබෝධ කරගන්නේ මේ පඤ්චස්කන්ධයේම ‘මමය’ කියල කෙනෙක් නෑ. මෙතන මමත්වයක් ගන්න දෙයක් නෑ කියල. ඒ අවබෝධය ඇති උනාට පස්සේ, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය හරියටම අවබෝධ කරගත්තට පස්සෙ, අන්න ඒ තැනැත්තාගෙන් අර කියාපු සක්කාය දිට්ඨියෙන් සිද්ධවෙන විදියේ අකුසල් කුසල් ආදිය කෙරෙන්නේ නෑ. ඔය විසඳුමයි බුදු පියාණන් වහන්සේ දක්වන්නෙ. අපි මේ භවය පිළිබඳව කෙටියෙන් කියැවෙන ගාථාවක් මෙතන මේ මාතෘකාව හැටියට තැබුවෙ. නමුත් අපි හිතාගන්ට ඕන මේ සංසාරික සත්ත්වයා විවිධ තත්ත්ව ලබන්නෙ අර කියාපු කුසල් අකුසල් හේදය උඩයි. පින්පව් දෙක උඩයි. ඒක සනාතන ධර්මතාවක්, එතකොට පහසුවෙන් පෙළඹෙන්නෙත් අර පාපකර්මවලටයි. ඒ පහසුවෙන් පෙළඹෙන නිසාම අපි යම්කිසි ස්ථාවරයක් ඇතිකරගන්න ඕන. අධිෂ්ඨානයක් ඇතිකර ගන්න ඕන. එහෙම නැත්නම් අරවට ඉබේටම ඇදිල යනවා. අනිත් අයගේ කර්මවලට ඇදිල යනවා. එහෙම ඇදිල ගිහිල්ලා තමන්ට භයානක අපාය ආදී තැන්වල දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒක නිසා යම්කිසි ශීල මට්ටමක් අවශ්‍ය වෙනවා. ශීලය කියන එකෙනුත් දීර්ඝකාලයක් වැඩූ ශීලය වඩා ශක්තිමත්. සුළු කාලයක් වැඩූ ශීලයේ ශක්තිය අඩුයි. ඒක නිසා තමයි දැන් මේ පින්වතුන් සිල් සමාදන් වෙනවා කියල කියන්නෙ. එහෙම නැත්නම් තමන්ට අයිති පංචශීලය රකිනවා කියල කියන්නෙ. ඒවා සමාදන් වෙලා ඒක අධිෂ්ඨාන කරගන්නවා. අධිෂ්ඨාන කරගෙන ආවර්ජනය කරනව. ආවර්ජනය කරල ඒ වගේම යම් යම් අවස්ථාවල්වල ඊට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න වේලාව ආවහම අර කියාපු විදියට සම්ප්‍රාප්ත විරති වශයෙන් පැමිණි අවස්ථාවෙන් වැළකීමට විරති චෛතසිකය ඉදිරිපත් කරගන්නවා. වෙන්වීමේ සිත. ඒ වෙන්වීමේ සිත ඉතාමත්ම උපකාර වෙනවා අර විදියේ භයානක අවස්ථාවලින් බේරෙන්ට. ඊළඟට, ඒ විදියට ඒ ශීලයෙන් ඇතිකරගත්තු ශක්තිය තුළින් තමයි සමාධියක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදියට කල්පනා කරලා බලන කොට බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් පිළිවෙතේ නියම අර්ථය මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වේවි. ඊළඟට මේ හැම එකක් තුළින්ම අපි කල්පනා කරන්න ඕන මේ සංස්කාර ස්වභාවය. මේ සංස්කාර කියල කියන සිතෙන්ම මවන මේ පැවැත්ම - මේකට අනුරූපවමයි ඒ ලෝක තියෙන්නෙ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ඒ ඒ කර්මානුරූපවම සමහර විට වෙනම ලෝක පහළවෙනවා. දැන් කල්පයක් අවසාන වෙනකොට ඇතැම් කෙනෙකුට වෙනම බ්‍රහ්ම විමාන පහළ වෙනවා කියල කියනවා. එයින් පේනවා මේ සිත කොයිතරම් බලගතු දෙයක් ද කියලා. මේ අපේ සිතෙන් කෙරෙන කර්ම රැස් කිරීම කියන එක. ඉතින් මේකට යටින් තියෙන්නේ අන්න අර කියාපු අවිද්‍යාවයි. හරියට අන්ධකාරයක් වගේ ඒ අවිද්‍යාව කියන එක - ඒ අවිද්‍යා අන්ධකාරය නිසා මමය මාගේය කියන මුළාව ඇතිකරගෙන ලෝක සත්ත්වයා මේ විදියේ ක්‍රියාකාරීත්වයකට පෙළඹෙනවා. එයින් මිදෙන්න නම් ක්‍රම ක්‍රමයෙන් අර කියාපු විදියට ශීල, සමාධි, ප්‍රඥා අහක දාන්නෙන් නැතිව බදාගන්නෙන් නැතිව මධ්‍යස්ථ තත්ත්වයකින් මේවායින් ප්‍රයෝජන අරගන්න ඕන. ඒක ඇතැම් අවස්ථාවල දක්වලා තිබෙනවා රථ හතකින් ගමන් කිරීමකට. ඒ කාලේ දැන් මේ කාලේ වගේ නෙවෙයි හදිසි ගමනක් උනොත් අශ්ව රථ කීපයක් ඒ ඒ තැන්වල නතර කරලා තියෙනවා. එක රථයකින් ගිහිල්ලා අනිත් එකට ගොඩවෙනවා. ඒ අශ්වයින්ට වෙහෙස වෙනකොට, ඒකෙන් තවත් එකකට ගොඩවෙනවා. ඔන්න ඔහොම ඔහොම අශ්ව රථ හතකට මාරුවෙමින් පසේනදී කොසොල් රජ්ජුරුවෝ හදිසි අවස්ථාවක සැවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගිය උපමාව දක්වලා තිබෙනවා. අන්න ඒ විදියට තමයි මෙතනත් බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ එක් එක් විශුද්ධිය. ශීල විශුද්ධිය උපකාර කරගෙන චිත්ත විශුද්ධිය ඇතිකර ගන්නවා. චිත්ත විශුද්ධිය උපකාර කරගෙන දිට්ඨි විශුද්ධිය ඇතිකර ගන්නවා. ඔය විදියට විශුද්ධි පරම්පරාවල් හතක් ගෙවලා තමයි අවසානයේදී මාර්ග ඵල තත්ත්වයන් ලබාගන්න පුළුවන් වෙන්නෙ.   ඔයින් අපට හිතා ගන්න පුළුවන් එතකොට මේ බුදු පියාණන් වහන්සේ දක්වපු මැදුම් මග කොයිතරම් පුදුම සහගත ද කියල. සාමාන්‍ය ලෝකයාට මේ සංසාරයෙන් මිදෙන ක්‍රමයක් සොයා ගන්න බැහැ. මොකද, එක්කෝ ගිලෙනවා, එකතැන ඉඳලා. එහෙම නැත්නම් දැඟලලා ගහගෙන යනවා, මේ සැඩවතුර කියන එකත් - දැන් මේ අපි කරන හැම කර්මයක් තුළින්ම මේ චිත්ත සන්තානයට කිඳාබහින කොටසක් තිබෙනවා. චිත්ත සන්තානයට කිඳාබසින කොටස මේ ධර්මයේ හඳුන්වන්නෙ ‘අනුසය’ කියල. යම්කිසි බර දෙයක් යටට ගිලා බහින්න වගේ අපේ චිත්ත සන්තානයට මේ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරන අතරේ අනුසය වශයෙන් ඇවිල්ලා තැන්පත්වෙන කොටසක් තිබෙනවා. ඒ වගේම ‘ආසව’ කියල දෙයක් තිබෙනවා. ආසව කියල කියන්නේ ගලාගෙන එනවා - ගලාගෙන ඒමක් කියන අදහස තිබෙනවා - ආශ්‍රව. ඊළඟට තව කොටසක් තියෙනවා ගසාගෙන යන - ඒකට තමයි ඔය ඕඝ කියල කියන්නේ. අපි දැන් මෙතෙක් අර සැඩ පහරවල් කියල කිව්වෙ. ඒ කියන්නෙ. මොකක්ද? සංසාරික පුරුදු. මේ අපි කරන හැම කර්මයක් තුළින්ම පුරුද්දක් ලැබෙනවා. ඒක නිසා තමයි අපි අර කලින් කිව්වෙ චක්‍රයක් කියල. මේ කර්ම චක්‍රය කියල කියන්නෙ. කොටින්ම ධර්මයේ සමහර විට දක්වනවා කම්ම වට්ට, විපාක වට්ට, කිලෙස වට්ට කියල. මේ වට්ට කියන වචනය බොහෝවිට යෙදෙනවා. වට්ට කියල කියන්නෙ වට රවුමෙ යාමක්. එහෙම නැත්නම් චක්‍රයක්. මේ හැම එකක්ම චක්‍රයක් බවට හැරෙන්නෙ කොහොමද? මේවා පුරුදු බවට පත්වෙනවා. ඒ සංසාරික පුරුදු කඩන එක ලේසි නෑ. ඒක කඩන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ පුරුදු එකතු වෙනවා. එක කර්මයක් කළා කියනකොට - අපි දැන් කිව්වේ අර මැණික්කරු මස් කපා කපා හිටිය නිසා එයාට බොහොම පහසු වුනා තවත් ලේ පෙරෙන කර්මයකට මාරුවෙන්ට, අන්න ඒ වගේ අපි කරන එක කර්මයක් තවත් එකකට උපකාරී වෙනවා පුරුදු හැටියට, ආසේවන වශයෙන්. හොඳ හෝ වේවා නරක හෝ වේවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඒ එක්කම චිත්ත සන්තානයට කිඳා බහින කොටස තමයි අනුසය කියල කියන්නෙ. ඒවා ලෙහෙසියෙන් ඉවත් කරන්න බෑ. ඒ වගේම ආශ්‍රව කියල කියන්නෙ ගලාගෙන එන කොටස. එතකොට රහතන් වහන්සේලා පින්වතුනි, ඔන්න ඔය කියාපු අනුසය, ආශ්‍රව, ඕඝ කියල කියන අර කිඳාබසින කොටසත් ඉවත් කරනවා. අර ගලාගෙන එන කාම, භව, දිට්ඨි ආදී වශයෙන් කියන ආශ්‍රව ශක්තීනුත් ක්ෂය කරනවා, ඊළඟට ඕඝ කියල කියන අර සැඩ වතුරිනුත් මිදෙන්න පුළුවන් ශක්තියක් ඇතිකර ගන්නා හිතක් තමයි, රහත් හිතක්, බුදු කෙනෙකුගේ හිතක් කියල කියන්නෙ. අන්න ඒ තත්ත්වය සඳහායි බෞද්ධයා ඔක්කොම පිළිවෙත් පුරන්නේ. ඒ මිසක් අර සාමාන්‍ය ලෝකයා හිතන විදියේ සුළු දේකටනෙවෙයි. සමාජ ධර්ම ටික රැක ගන්න නෙවෙයි. සමාජය හොඳින් පවත්වා ගන්න කියන ඒ ඉලක්කට විතරක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. තම තමන්ගේ සංසාරික විමුක්තිය තමන්ට අයිතියි. තමන්ගේ කර්මයට - ‘කම්ම දායාදා’ කියල කිව්වේ - තමන් අරගෙන ආපු කර්ම සම්භාරයට වග කියන්ට ඕන. තමන් කරන කර්ම සම්භාරයට වග කියන්නත් ඕන තමන් මේ සංසාරයෙ. එයින් මිදෙන මාර්ගය බුදු පියාණන් වහන්සේ අවසානයට දක්වා වදාළේ අන්න අර කියාපු නොකළු නොසුදු කර්ම හැටියට. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මට්ටමෙන් වැඩීමයි. සමුදය පක්ෂය දිහා බලාගෙන හොඳ නරක පිළිබඳ සාමාන්‍ය වැටහීමක් ඇතිව කරන ටිකට කියනවා “සාසවා පුඤ්ඤභාගියා උපධිවේපක්කා” කියලා. ආශ්‍රව සහිතයි. ඒක පිළිගන්නවා. ආශ්‍රව සහිතව, පින් පැත්තට උපධින් එකතු වන - උපධි කියන්නෙ සංසාරික වශයෙන් නොයෙකුත් භව හෝග සම්පත් ආදිය දෙන. ඒ විදියේ සම්‍යක් දෘෂ්ටියකුත් තිබෙනවා. ඒ වගේම ගැඹුරු සම්‍යක් දෘෂ්ටිය මොකක්ද, චතුරාර්ය සත්‍ය පිළිබඳ සම්‍යක් දෘෂ්ටියයි. මේ මුළු මහත් පැවැත්මම දුකක්ය. ඒකට හේතුව තණ්හාවය. මේ තණ්හාව සංසිඳවීමම නිවනය. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයය කියන ඒ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියල කියන්නෙ. එතකොට ලෞකික වශයෙන්, එහෙම නැත්නම් සංසාරික වශයෙන්, සත්ත්වයාගේ හොඳ - නරක තේරුම් ගැනීම අර පහළ මට්ටමේ සම්‍යක් දෘෂ්ටියයි. ඒකට තමයි අර ‘කම්මස්සකතා සම්මාදිට්ඨි’ කියල කියන්නේ. පින් පව්, හෝ - නරක පිළිබඳව අවබෝධය. ඒකෙන්ම සියල්ල සිද්ධවෙන්නේ නෑ. ඒක උඩ ඉඳලා අර විදියේ අවශ්‍යතාවත් සම්පූර්ණ කරගෙන අවසාන වශයෙන් - අවසාන ඉලක්කය විය යුත්තේ - මේ චතුරාර්ය සත්‍යය ගැඹුරින් අවබෝධ කරගැනීමයි. මුළු මහත් පැවැත්ම දුකක් කියල කියන්නෙ මෙතන ‘ආත්මයක්’ ‘මමෙක්’ කියල දෙයක් නෑ කියන එකයි. ඒ අවබෝධය කරා යන ක්‍රමය තමයි බුදු රජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගැඹුරු පැත්තෙන් දක්වලා තියෙන්නෙ. ලෝකෝත්තර සිතක මේ අංග අටම පහළ වෙනවා. දැන් සාමාන්‍ය ලෝකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියල එක එකක් වෙන වෙනම අරගෙන ‘සිල්ලර ගණනට’ වඩාගෙන දියුණු කරගෙන යනවා. නමුත් අර ලෝකෝත්තර සිතකයි භාවනාමය වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙන්නෙ. එකම සිතක අංග අටම එක සැරේට පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ අර අංග අටම කෙළින් උනා. දැන් අපි හිතමු, ඇදවෙලයි ඒ අංග අට තිබෙන්නෙ. අංග අට එක එක විදියට ඇද වෙලයි තිබෙන්නෙ. මේක යම් අවස්ථාවක සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සමාධිය දක්වා අංග අටම කෙළින් උන අවස්ථාවෙම තමයි අන්න අර මාර්ග ඵල අවබෝධය එන්නේ - ගැඹුරු අර්ථයෙන් බලනකොට. ඒක නිසා සාමාන්‍ය ලෝකයා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියල වඩන එකට වඩා ගැඹුරක් තියෙනවා ලෝකෝත්තර තත්ත්වයේ. අන්න එතකොට මේ තුළින් මේ පින්වතුන් කල්පනා කරගන්ට ඕන අපි මේ කර්මයත් පුනර්භවයත් පිළිබඳව යම්කිසි ගැඹුරින් ගැඹුරට යන කාරණා රාශියක් මතුකර ගත්තා මේ කථාන්තරයත් ගාථාවත් ආශයෙන්. අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස රැස්කර ගත්තු ධර්මඥානය තම තමන්ගෙ ජීවිතයට ළංකරගෙන, මේ කියාපු ශීලාදි ගුණධම් නොතකා හරින්නේ නැතිව, ඒ තුළින්, ඇතිකරගත්ත සංයමය තුළින්, ඊළඟට සමාධියක් ඇතිකර ගෙන, ඒ සමාධියෙන් අර කියාපු විදර්ශනාමය ප්‍රඥාව ලබාගෙන මේ අතිභයානක සංසාරයෙන් අත්මිදෙන්න අධිෂ්ඨාන කරගන්න ඕන. අද දින මේ ධර්මදේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් අප රැස්කර ගත්තු පුණ්‍ය සම්භාරයෙන්, ඒ වගේම මේ පින්වතුන් මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය තුළින් ඇතිකර ගත්තු ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන චිත්ත ශක්තීන් හැම එකක්ම අර කියාපු සංසාරයෙන් එතෙරවීම සඳහා - නොනවතිමින් නොදඟලමින් මේ සැඩ වතුරින් එතෙරවීම සඳහා - ඒකාන්තයෙන්ම උපනිශ්‍රය වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ පින්වත් පිරිසට දැන් අද අපේ මේ පොඩි ශාලාව ටිකක් ලොකු වුනු අවස්ථාවක්. මේ සඳහාත් මේ සැදැහැවත් උපාසක උපාසිකාවන් යම් යම් තරමින් උපකාර වෙන්න ඇති. ආධාර කරන්න ඇති. ඒ වගේම ආසනයකුත් පූජා කරල තියෙනව ධර්මාසනයක් වශයෙන්. අපි වැඩිය බලාපොරොත්තු නැතත් ධර්ම ගරුත්වයෙන් ධර්මාසනයක් පූජා කරල තියෙනවා. මේ කොයිවටත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර වුනු මේ පින්වතුන් ඒ කුශලයත් සිහිපත් කරගෙන දැන් මේ විශේෂ ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස්කර ගත්තු කුශල සම්භාරයත් උපකාර කරගෙන මේ සියලුම කුශල් ශක්තිය තුළින් මෙලොව තමන්ගේ නිවන් ගමනට බාධක වන යම් ධර්ම තිබෙනවා නම් ඒවා ඉවත්වේවා! උපකාර ධර්ම ලඟාවේවා ධම්මය සැනසුමකින් යුක්තව අර කියාපු කර්ම වේග සංසිඳවාගෙන අවසාන වශයෙන් ධර්ම ශක්තිය තුළින් ධර්ම චක්‍රයෙන් මුළු මහත් කර්ම චක්‍රයම ජයගන්න මේ කුසල ශක්තියත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාත් තම තමන්ගේ නමින් නැසී මිය පරලොව ගියාවූ ඥාතීනුත් ඇතුලුව අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා වූ සියලුම සත්ත්වයෝත් මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී හැකිතාක් ඉක්මණින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමාමහ නිවනින් සැනසෙන්වා කියන ඒ ප්‍රාර්ථනාව ඇතිකර ගෙන මේ ගාථා කියල පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්මෙහි…….’ 20 වන දේශනය නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ඵේණූපමං කායමිමං විදිත්වා මරීචිධම්මං අභිසම්බුධානෝ ඡේත්වාන මාරස්ස පප්පුඵකානි අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ සැදැහැවත් පින්වතුනි, අමෘත මහා නිර්වාණය - අමාමහ නිවන, - හැම බෞද්ධයකුගේම උතුම්ම ප්‍රාර්ථනාවයි. පරමාර්ථයයි. මේ ‘අමෘත’ කියන වචනය හැම කෙනෙකුගේම කණට ප්‍රියයි. හැම කෙනෙක්ම මේ අමෘත කියන වචනයට මේ තරම් ප්‍රිය බවක් දක්වන්නේ මක් නිසාද? මේ ලෝකයේ උපදින හැම සත්ත්වයෙකුටම මුහුණ දෙන්ට සිදුවන මරණය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයට විසඳුමක් මේ අමෘත කියන වචනය තුළ පෙනෙන නිසයි. හැඟෙන නිසයි. මනුෂ්‍යයින්ට පමණක් නොවෙයි, දෙවියන්ට බ්‍රහ්මයින්ට පවා ප්‍රිය වචනයක් අමෘත කියන එක. ඒ කියන්නෙ, කල්ප ගණන් හිටියත් කවදාහරි එයින් චුතවෙන්න වෙනවා. මැරෙන්න වෙනවා. අන්න ඒක නිසා මේ අමෘත කියන වචනය බොහොම ප්‍රියමනාප වචනයක්. එතකොට අපේ මේ ලොවුතුරා බුදු පියාණන් වහන්සේට අපි මේ ගරු කරන්නේ මක්නිසාද? මේ තරම් මේ ලෝකයා - දෙව් මිනිසුන් සහිත ලෝකයා - බලාගෙන සිටිය මේ මරණය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම බුදුපියාණන් වහන්සේ ඉදිරිපත් කළ නිසයි. ඒකට තමයි අමාමහ නිවන කියල කියන්නෙ. බුදු පියාණන් වහන්සේ මාර පරාජය කළ බව අපි දන්නවා. මේ මාර පරාජය කළා කියන එකේ තේරුම මොකද? බුදු පියාණන් වහන්සේ සොයාගත්ත මාරයාට නොපෙනෙන තැනක්. මාරයාට හසු නොවෙන තැනක්. ඒකට තමයි මේ නිර්වාණ ධාතුව කියල කියන්නෙ. අමාමහ නිවන කියල කියන්නෙ. අසංඛත ධාතු ආදි වචනවලින් හඳුන්වන්නේ. මාරයාට නොපෙනෙන, මාරයාට දකින්න බැරි විදියේ යම්කිසි ලෝකෝත්තර තත්ත්වයකට හිත පමුණුවා ගැනීමෙන් තමයි මරණය ජය ගන්නෙ. බුදු පියාණන් වහන්සේ ඒ අමෘත තත්ත්වය, අමෘත මහා නිර්වාණය, ප්‍රත්‍යක්ෂ කර ගත්තා පමණක් නොවෙයි, ලෝකයාට ඒ තත්ත්වයට පැමිණීමට, තම තමන්ගේ චිත්ත සන්තානය තුළ මාර පරාජය කරලා ඒ අමෘත තත්ත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අදාළ, උපකාරවන, උපදෙස් මේ ධර්මයෙන් ඉදිරිපත් කරලා තිබෙනව. දැන් අපි මේ අද මාතෘකා කළ ගාථාවේ දැක්වෙන්නෙත් ඉතාම කෙටියෙන්, මේ අමෘත තත්ත්වයට හිත පමුණුවා ගැනීමට උපකාර වෙන විදර්ශනා උපදෙසක්. මේ ගාථාධර්මය දේශනා කරන්ට යෙදුනේ බුදුපියාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන ඈත කැලෑවකට විදර්ශනා වඩන්ට ගිය එක්තරා සංඝයාවහන්සෙ කෙනෙකුටයි. ඒ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන එහෙම කැලෑවකට ගිහිල්ලා බොහොම මහන්සිවෙලා භාවනා කළ නමුත් රහත් වෙන්ට බැරි උනා. පස්සෙ හිතාගත්ත මම නැවතත් බුදුපියාණන් වහන්සේ හමුවෙලා කර්මස්ථානය ශුද්ධකර ගන්ට ඕන. විශේෂ උපදෙස් ගන්ට ඕන කියල හිතාගෙන දුරු මග ගෙවාගෙන එන අතරේ දුටුවා මිරිඟුවක්. ග්‍රීෂ්මකාලේ - දැන් මේ වගේ මේ පායන කාලවල - කෙනෙකුට දකින්ට පුලුවන් දෙයක් තමයි මිරිඟුව කියන එක. අර පොළොවෙන් උඩට වාෂ්ප වගේ, වතුරක් ගලන්න වගේ, පෙනෙන ඒ දර්ශනය. මේක දැක මේ ස්වාමීන්වහන්සේ කල්පනා කළා මේ මගේ ආත්ම භාවයත් - මේ කයත් - මිරිඟුවක් වගේ කියල. මේක, මිරිඟුව කියන එක, ඇත තියෙනවා වගේ - ඇත්ත දෙයක් අල්ලගන්න පුලුවන් දෙයක් - හැටියට පෙනෙනවා. නමුත් මේ මිරිඟුවේ ස්වභාවය - ළඟට ගියහම ඒක නෑ. අන්න ඒ වගේ දැන් මෙතන මේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම මේ ස්වාමීන් වහන්සේට පෙනුනේ මේක මිරිඟුවක් කියල. මේ ශරීරයේ පෙනෙන ආකාරය නොවෙයි ඇත්ත වශයෙන් තිබෙන්නෙ. මේ ඇතිවීමේ නැතිවීමේ ස්වභාවයයි. ඇතිවෙන තැනට ගිහිල්ලා බලනකොට එතනින් නැතිවෙනවා. ඊළඟට, ඒ විදියට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අචිරවතී නමැති ගඟ ළහට පැමිණිලා කයේ වෙහෙස, ගිමන්, නිවා ගන්න පැන් පහසුවෙලා ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන තැනක ගහක් යට සංසුන්ව ඉඳගෙන බලාගෙන හිටියා මේ ගඟේ සැඩ වතුර පාරට පෙණ පිඩු හැඳී හැදී නැතිවෙල යන ආකාරය. මේකත් ඒ ස්වාමීන් වහන්සේට කමටහනක් උනා. කල්පනා කළා. මේ මගේ රූපය, මේ ශරීරය, මේ කය, ආත්මභාවය, මේකත් පෙණ පිඩක් වගෙයි කියලා. ඒ ගැන කල්පනා කරන අවස්ථාවේදී ඔන්න බුදුපියාණන් වහන්සේ - සාමාන්‍යයෙන් බුදුපියාණන් වහන්සේ බුද්ධඥානයෙන් බලාගෙන සිටිනවා තමන් වහන්සේ ඒ කමටහන් දුන්න සංඝයා වහන්සේලාගේ චිත්තාචාරය, හිත වැඩකරන ආකාරය - බුදු පියාණන් වහන්සේට පෙනුනා දැන් මේ ස්වාමීන්වහන්සේගේ, මේ නමගේ, සිත මොරලයි තියෙන්නෙ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පෙනී සිටලා - ඒ තමන්ගේ ගන්ධකුටියේදිම බුදු පියාණන් වහන්සේ මේ සංඝයාවහන්සේට ඇතිවුන සිතිවිල්ල දැකලා ඉදිරිපිට පෙනී සිටලා - අර අපි කලින් ප්‍රකාශ කළ ගාථා ධර්මය වදාළා. ඵේණූපමං කායමිමං විදිත්වා - මරීචිධම්මං අභිසම්බුධානෝ ඡේත්වාන මාරස්ස පප්පුඵකානි - අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ ඒ සංඝයාවහන්සේට ඇතිවුන, ඒ ස්වාමීන් වහන්සේට ඇතිවුන, විදර්ශනා පිළිබඳ අදහස සහතික කරමින්, ඒක ඇත්තෙයි කියන හැඟීම දෙමින් තවත් ධෛර්යවත් කරමින්, බුදු පියාණන්වහන්සේ වදාළා - ‘ඵේණූපමං කායමිමං විදිත්වා’ මේ කය පෙණ පිඩකට උපමා කළ හැකි බව දැනගෙන, ‘මරීචිධම්මං අභිසම්බුධානෝ’ මේ ශරීරයේ ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහාගෙන, හරියාකාර තේරුම් අරගෙන, ‘ඡේත්වාන මාරස්ස පප්පුඵකානි’ කෙලෙස් මාරයා විදින මල්සර, එහෙම නැත්නම් මලින් සැරසූ මල් තුඩක් සහිත ඊතල පහර කපාහරිමින්, ‘අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ’ මාරයාගේ දර්ශන පථයට හසුනොවෙන තැනකට යන්න - කියල ඒ විදියට බුදු පියාණන් වහන්සේ උපදේශයක් දුන්නා. ඒ උපදේශය අහලා අර ස්වාමීන් වහන්සේගේ විදර්ශනා ඥාන මෝරලා ගිහිල්ලා සිවු පිළිසිඹියාපත් රහතන්වහන්සෙ කෙනෙක් බවට පත්වුනු බව සඳහන් වෙනවා. එතකොට මේ ආශයෙන් අපි - මේ ගාථාව ආශ්‍රයෙන් - මෙකෙ ඇති ධර්ම කාරණා තේරුම් කරන්න උත්සාහ කරමු. මේ කය පෙණ පිඬකට උපමා කිරීම - බුදු පියාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කරලා තියෙනවා. මේක කොයිතරම් සහේතුකද - හේතු සහිතද - කියන එක අපි ටිකක් කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ රූපය පෙණ පිඬකට උපමා කළේ ඒක ගැන හිතන්න හිතන්න, ගැඹුරට හිතන්න හිතන්න, කෙනෙක් නිර්වාණයට ළං වෙනවා කියල. දැන් පෙණ පිඩක් කියන එක අර වේගයෙන් ගලායන වතුර පාරක මොකක් හරි හිර උනහම ලී කොටයක් එහෙම, අර කුණු කන්දල් ආදිය එකතුවෙලා වතුරෙන් ඒවා ගසාගෙන යන අතරේ එයින් පෙණ නැගෙනවා. ඒ පෙණ පිඬ ඇතට පෙනෙන්නෙ ඝන සංඥාව අනුව යම්කිසි ඝන දෙයක්, - නිත්‍ය දෙයක් - හැටියට, සාරවත් දෙයක් හැටියට පෙනෙනවා. නමුත් කිට්ටුවෙලා බලනකොට මේක නිස්සාර දෙයක්. මේක හිස් දෙයක්. ඒ වගේම ඉතාම සුළු වේලාවක් ඇතිව පවතින ස්වභාවයක් මේ පෙණපිඬේ තියෙනව. පෙණපිඬ දිහා ඉතාම සූක්ෂ්ම අන්දමින් බැලුවොත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන බුබුලු ගොඩක් වගෙයි. මේ ශරීරයත් ඒ වගේ දෙයක්. නමුත් රූපය වශයෙන් බලනකොට අපට පෙනෙන්නෙ අපි අර මිරිඟුව ගැන කිව්ව වගේ දෙයක්. මේකේ මිරිඟු ස්වභාවය මොකක්ද, මේක ඇතට පෙනෙන්නෙ ඉතාම ප්‍රියමනාප නිත්‍ය දෙයක් හැටියට. නමුත් මේ ශරීරය ගොඩ ගැහිලා තිබෙන්නෙ අන්න අර පෙණ පිඬක් වගේ. අපි දන්නවා මේ ශරීරය තුළට නානාප්‍රකාර දේවල් - ආහාර පාන - වැටෙනවා. කිරි, කැඳ, බත් - ඕව පෙණ ගහ ගහ ඒ කුස්සියෙ පැහිල තමයි මේ ශරීරයට වැටෙන්නෙ. ශරීරයට වැටුනට පස්සෙ - තව තවත් පෙණ ගහගහ මේව පැහෙනව. මේව පැහිල, මේ පෙණ උතුරල ගිහිල්ල තමයි ලේ මස් ඇට නහර ආදිය සැදෙන්නෙ. ඒව හැදුනට පස්සෙ - මේ පෙණ උතුරලා ගිහිල්ල අර ඒ විදිහට - ශරීරයෙ අපි තබාගන්න කැමති ටිකට අපි බොහොම අලුම්කරල මමය මාගේය කියල බොහොම අඩම්බරයෙන් හැඩ වැඩ දමල සරසල කවල පොවල මේ ශරීරය සකස් කර ගන්නව. ඒ පෙණවල අර ඉතුරුවෙන හරිය, පිටට ගලන හරිය, මල මුත්‍ර දහඩිය ආදිය අපි හෝදලා අරිනව කුණු කන්දල් හැටියට. ඔය විදියේ තත්ත්වයක් මේ ශරීරය පිළිබඳ පෙණ පිඬේ තිබෙන්නෙ, කල්පනා කරලා බැලුවහම. බුදු පියාණන් වහන්සේ වදාළ හැටියට මේ දෙතිස් කුණප කොට්ඨාසයම එකතුවෙලා තිබෙන්නෙ ඔන්න ඔය විදියටයි. මේ ශරීරයෙ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ මූල ධාතු ආශයෙන් මේ ශරීරය තුළ තිබෙන අර පැසවන ස්වභාවය නිසා පෙණ ගැහී ගැහී මේ ශරීරය අවුරුදු ගණනාවක් තිස්සේ වැඩෙනව. මේක පෙණ පිඬක්. ඉතින් අන්න ඒ කයේ පෙණපිඬ පිළිබඳව හරියාකාරව තේරුම් අරගෙන - “ඵේණූපමං කායමිමං විදිත්වා” ඒ වගේම මෙකෙ මිරිඟු ස්වභාවය කියල කියන්නෙ මෙක ඇතට පෙනෙන්නෙ, නුවණැසින් බලන්නෙ නැත්නම් මේක පෙනෙන්නෙ, හොඳ ප්‍රිය මනාප දෙයක් හැටියට. දැන් ඡායා රූපයක් ගත්තත්, කණ්නාඩියක් දිහා බැලුවත් සාමාන්‍ය පියවි ඇසට - අපි පියවි ඇස කියල කියන්නෙ ප්‍රකෘති ඇස, අපේ සාමාන්‍ය ඇස - ඒ ඇස යොදල බලන කොට මේක බොහොම ප්‍රිය මනාප රූපයක් හැටියටයි අපට පෙනෙන්නෙ. තමන්ගෙ රූපයත් අනුන්ගෙ රූපත්. ඉතින් මේ පියවි ඇසට නොපෙනෙන දේවල් බලන උපකරණ ලෝකයේ තිබෙනවා, මාධ්‍යමය වශයෙන් බලනවා නම්, ඔය අණු දක්න ආදිය. ඒවායින් කෙරෙන්නෙ මොකද්ද? සියුම් දේ ලොකු කරලා බලන එක. සියුම් දේ ලොකු කරලා බලනවා, ඒක විකෘත කිරිල්ලක්. නමුත් ඒකෙන් අපි සෑහීමකට පත්වෙනවා “ඔන්න මම සියුම් දෙයක් දැක්ක” කියල. නමුත් ප්‍රඥාව කියන එක - විදර්ශනා ප්‍රඥාව කියන එක - ඒකෙන් බලන්නෙ එහෙම නෙවෙයි. සියුම් දේ සියුම් දේ හැටියටම දැක ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂයක්. සියුම් දේ සියුම් දේ හැටියට ප්‍රත්‍යක්ෂකර ගැනීමෙනුයි ඒක තහවුරු වෙන්නෙ. එහෙම නැති නම් අර උපකරණය තියෙනතාක් අපිට පෙනෙනවා ඒක. උපකරණය අහක් කරහම නෑ. ඔන්න ඔය විදියෙ වෙනසක් තිබෙනව ලෝකයේ මේ දැකීම පිළිබඳවත් - විදර්ශනාව කියල කියන්නෙ විශේෂ දර්ශනයක් - අන්න ඒ විදර්ශකයාගේ දැකීම පිළිබඳවත්. ඔය විදියට රූපය පෙණපිඬක් බව තේරුම් ගන්න මෙකේ කොටස් අර අණුදක්නය යටට දැමීමට වෙහෙසෙන්න ඕන නෑ. විය හියදම් කරගන්න ඕන නෑ. මේ රූපයේ යම්කිසි කොටසක් - කෙස් ලෝම් ආදියෙන් එක කෙස් ගසක් හෝ තමන්ට වඩාත් පිළිකුල් හැටියට වැටහෙන මේ දෙතිස් කුණප කොට්ඨාසයෙන් කෙස්, ලොම්, නිය, දත් ආදී යම්කිසි දෙයක්, කමටහනක් හැටියට සමථ වශයෙන් නිතර මෙනෙහි කිරීම තුළින්, එහි සිත රඳවාගැනීම තුළින් - ඒකාග්‍රතාව මගින්, එය ගැඹුරට දැකීමෙන්, ඔන්න එතකොට තේරෙනවා. අර විදර්ශනා වශයෙන් ඊළඟට මෙකෙ තිබෙන ධාතු ස්වභාව ආදිය දැකීමට අවස්ථාවක් සැළසෙනවා. අශුභ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේක පිළිබඳව තියෙන ඇල්ම ඉවත් කරලා මෙකේ යථා තත්ත්වය වටහාගන්න පුලුවන් වෙනවා, විදර්ශනා ඥාන මොරගෙන යනකොට. “නිබ්බේධිකා පඤ්ඤා” කියල වචනයක් තිබෙනවා. පින්වතුනි, “නිබ්බේධිකා පඤ්ඤා” කියල කියන්නෙ මේ විනිවිද යන ප්‍රඥාව. ප්‍රඥාව කියන එක විනිවිද යන දෙයක්. දැන් අපි මේ ශරීරය ගැන හිතුවහම අපි බොහෝ විට යෙදනවා ශරීර කූඩුව කියල. ඇත්ත වශයෙන්ම මෙක කූඩුවක්ම නමයි. මේ ශරීර කූඩුව ඇතුළේ හිත හිරවෙලයි තිබෙන්නෙ. කූඩුව මේ මාරයා හදාපු කූඩුවක්. මාරයා මවන කූඩුවක්. මාරයා මවාපු මේ ශරීර කූඩුව තුළ හිත හිරවෙලායි තිබෙන්නෙ. ඉතින් හිතේ විමුක්තිය ලබාගැනීමට තමයි, නිවන් දැකීමට තමයි කෙනෙක් වෙහෙසෙන්නෙ. ඥානවන්ත පුද්ගලයා වෙහෙසෙන්නෙ. මේ නිවන් දැකීම කියල කියන්නෙ මොකක්ද? මේ කූඩුව විනිවිද දැකීමයි. මේ කූඩුව විනිවිද දැකීම තුළිනුයි හිත විමුක්ත වෙන්නෙ. අන්න ඒ විනිවිද දැකීමයි ඔය විදර්ශනාවෙන් කෙරෙන්නෙ. මේ ප්‍රඥාව කොයිතරම් ද කියතොත් මේක උපමා කරලා තියෙනවා වෛරෝඩියකට . දැන් ඔය වජ්‍ර මාණික්‍යයක් කියන එක අනිකුත් මැණික් කපන්න පුළුවන් දෙයක්. අනික් මැණික් කපන්න පුළුවන් තරම් ශක්තියක්, තියුණු බවක් තියෙන එකක් තමයි වජ්‍ර මාණික්‍ය. මේ විදර්ශනා ඥානයත් වජ්‍ර මාණික්‍යක් වගේයි. විනිවිද යනවා. විනිවිද දකිනවා. විනිවිද දකින්නෙ මෙකෙ - දැන් අනිත්‍යතාව දකිනවා කියල කියන්නෙ අනිත්‍යතාවේ පැති දෙකක් තියෙනවා - පෙති දෙකක් තිබෙනවා. ඇතිවීමයි - නැතිවීමයි. පටන් ගන්නෙ මේකෙ ඇතිවීම් ස්වභාවයයි නැතිවීම් ස්වභාවයයි මෙනෙහි කිරීමෙන්. මෙකෙ ගැඹුරට යනකොට ඒක තුළින් විනිවිද දකිනවා මෙතන ඇති දෙයක් නෑ කියන එක. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, නිස්සාර බව ඒ තුළින් දකින්න පුළුවන් වෙනවා මේ ක ගැඹුරට ගැඹුරට යන්න යන්න. එතකොට ඔන්න ඕක තමයි - මේ ඇතිවීම් නැතිවීම් දැකීමයි - මේ ‘වජ්‍ර මාණික්‍යයේ’ ක්‍රියාකාරීත්වයේ මුල් අවස්ථාව. විදර්ශනා ප්‍රඥාව. ඔය විදියට දැකලයි එතකොට මේක පෙණ පිඬක් හැටියට වටහාගන්න පුළුවන් වෙන්නෙ. වෙන කෘත්‍රිම උපකරණවලින් නෙවෙයි. වෙන කෘත්‍රිම දේවල්වලින් නෙවෙයි. ඒකට හැබැයි ඉඟිය අපට මේ ස්වභාව ධර්මයෙන් ලැබෙනව. නිදර්ශන මාර්ගයෙන්. අතීතයේ බුද්ධ කාලයේ ඒ බුදු පියාණන් වහන්සේ දක්වූ උපමා ටික තමයි මේ සංඝයාවහන්සේලා භාවනා කරන්න යනකොට කැලේට අරගෙන ගියෙ. වෙන පොත්පත් නෙවෙයි. වෙන පොත් පත් කරගහගෙන ගියේ නෑ. ඒ උපමාම ප්‍රයෝජනවත් වුනා. මොකද, උපමාවක තියෙනවා මහා ග්‍රන්ථයක තියෙන කාරණා රාශියක්, නමුත් ඒක හසු වෙන්නෙ - ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ - ගැඹුරෙන් ගැඹුරට යන්න යන්න. මේ පෙණ පිඬක් කියන එක සාමාන්‍යයෙන් කිව්වහම මේක කොතනත් දකින්න පුලුවන් දෙයක් ගඟක් දිහා බැලුවහම. ඒක බලලා අහක් බලාගත්තොත් ඊට එහාට යන්නෙ නෑ. නමුත් ඒ උපමාව විතරක් නෙවෙයි උපමේය. ඒ උපමාව අනුව මේක මොකටද බුදු පියාණන් වහන්සේ උපමාකරලා තිබෙන්නෙ? මෙක මේ ශරීරයට. බැලූ බැල්මට මේක හැබැයි පිළිගන්න බැරි බවක් පෙනෙනවා. නමුත් හිත ගැඹුරට මේකට යොදල, මෙනෙහි කිරීම යොදලා, කල්පනා කරන්න ඕන. මේකට නිතර හිත යොදවන කොට ඔන්න කොයිතරම් සත්‍යද බුදු පියාණන්වහන්සේ වදාළේ කියන එක වැටහෙනවා. ඔන්න ඔය විදියට එතකොට විදර්ශනා ඥාන බලාපොරොත්තුව ඇතිව අර කියපු අමෘත තත්ත්වයට - අර මාරයාට නොපෙනෙන තැනට - යන්න බලාපොරොත්තුවෙන කෙනා කළ යුත්තේ අර විදර්ශනා ඥාන තියුණු කර ගැනීමයි. “ඵේණූපමං කායමිමං විදිත්වා.” ඉතින් ඒ වගේම මෙකෙ තිබෙන මිරිඟු ස්වභාවය ගැන කල්පනා කරලා බැලුවත්, දැන් මිරිඟුවෙහි තිබෙන අර ලක්ෂණය ගැන අපි කලින් කිව්වා. මුවා රැවටෙනවා ඒකට. මුවා තමයි බොහෝ දුරට අඥාන සත්ත්වයෙක් හැටියට ඒ ඈත පෙනෙන නිසා ග්‍රීෂ්ම කාලේ වතුර වගේ, එතෙන්ට දුවගෙන යන්නෙ. යනකොට එතන ඒක නැහැ. නමුත් ගත්තු දෘෂ්ටිය අනුව තවත් ඈතට පෙනෙනවා. ඉතින් ඒ විදියටම දිගටම දුවලා අන්තිමට හතිවැටෙනකම් දන්නෙ නෑ. අන්න ඒ විදියේ තත්ත්වයක්. දැන් මේ රූපය පිළිබඳවත් ඒකයි. ලෝකයා මේ රූපය පිළිබඳව ඇලුම් කිරීම - මේක මේ මාරයාගේ වැඩක්, කෙලෙස් මාරයාගෙ වැඩක්. මේක පෙන්නුම් කරන්නෙ හැම තිස්සෙම ශුභ දෙයක් හැටියට. ඒක තමයි බුදු පියාණන්වහන්සේ දක්වලා තියෙන්නෙ ලෝකය විපරිත අදහස් හතරක් තුළ හිරවී සිටිනවා කියල. “විපල්ලාස” කියල කියනවා. අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අසුභ දේ සුභ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම - තමාගේ නොවන දේ - තමාගේ හැටියට සලකනවා. ඔන්න ඔය විදිහේ විපරීත තත්ත්වයක්, විපල්ලාස තත්ත්වයක්, ලෝකයේ තිබෙනවා. ඒක අනුව අර පෙණ පිඩත්, නිත්‍ය දෙයක්, බොහොම අලංකාර දෙයක් ලබාගත යුතු දෙයක්, සාරවත් දෙයක් වගේ පෙනෙනවා. මිරිඟුව පිළිබඳවත් ඒ වගෙයි. වතුරෙයි කියලා හිතාගෙන පිපාසිත මුවාට ඒ වතුර බොන්න ඕනකම නිසා ඈතට යනවා. තෘෂ්ණාව කියල කියන පිපාසය නිසාම බොහෝ විට අර ඈත පෙනෙන දර්ශනය ඒ සතා දෘෂ්ටියක් හැටියට ගන්නවා මේ වතුරමයි වෙන දෙයක් නෙවෙයි කියල. ඒ දැඩිව ගත්තු දෘෂ්ටිය නිසාත් ඊළඟට ඒක අනුව ඇතිකර ගත්තු සිතුවිලි නිසාත් ඒ මුවා දුවනවා. ඉතින් ඔය විදියට විපල්ලාස කියන මේ විපරිත අදහස් තුන් මට්ටමකින් ක්‍රියා කරනවා කියල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියල. සඤ්ඤා විපල්ලාස කියල කියන්නෙ හැඳිනීම. මුවා හැඳින ගන්නවා අර ඈත පෙනෙන මිරිඟුව වතුර හැටියට. ඊළඟට ඒ හැඳිනීම අනුව සිතිවිලි රාශියක් ඇතිකර ගන්නවා. “අන්න එතෙන්ට ගියොත් තමයි මට වතුර ටිකක් බොන්න ලැබෙන්නෙ” කියල. ඒ සිතිවිලි, ඒ බලාපොරොත්තු, පැතුම් - ඒවා නිසා තමයි මුවා දුවන්නෙ. අර ඈත පෙනෙන එක අනුව දෘෂ්ටියක් ඇතිකර ගන්නවා. මේක වතුරමයි, මෙතන නැති උනත් අර ඈත - තවත් ඈතට ගියහම පෙනෙනවා. පෙනෙන නිසාම මේක ලබාගන්නම පුළුවන්. ඉතින් මෙන්න මේ විදියෙ මේ මිරිඟු ස්වභාවය මේ ශරීරය පිළිබඳවත් එහෙමයි. ශරීරයට උපකාර වෙන අනිකුත් සුඛෝපභෝගී දේවල් පිළිබඳවත් එහෙමයි. දැන් එදිනෙදා ජීවිතයේදී අපි දන්නවා මේ කියන කාරණා තුන ක්‍රියාත්මක වෙන ආකාරය. සමහරවිට තමන්ගේ අසල්වැසියා නවතම සුඛෝපභෝගී භාණ්ඩයක් එයාගේ නිවසට ගෙනෙනවා. මේක දැකලා හිතාගන්නවා මේක කොහොමහරි මමත් ලබාගන්ට ඕන කියලා. මේක තමයි ඉතින් මිරිඟුව. ‘මේක ලබාගත්තු දවසට මමත් මිනිහෙක්’ කියල හිතා ගන්නවා. හිතාගෙන ඉතින් ඒක වෙනුවෙන් ණය වෙනවා. ණයතුරුස් වෙලා හම්බුකරලා කොහොමහරි ඒ සුඛෝපභෝගී භාණ්ඩය, අර විසිතුරු කාමරයේ තිබුණු ඒ භාණ්ඩය, තමනුත් ලබා ගන්නවා. ඒ ලබා ගන්න කොට අසල්වැසියගේ ඒ භාණ්ඩය මුළුතැන්ගෙට ගිහිල්ලා, කුස්සියට ගිහිල්ලා, වෙන භාණ්ඩයක් ඇවිල්ලා, ඊළඟට ඉතින් ඒක ලබාගන්න බලනවා. ඔය විදියේ මිරිඟුවක් ඔස්සේයි ලෝකයා දුවන්නෙ. මේ ශරීරය පිළිබඳවම වගේම මේ ශරීරයට උපකාරවෙන සුඛෝපභෝගී භාණ්ඩ ආදිය පිළිබඳවත් ඔය විදියේ තෘෂ්ණාවකින්, බරපතල තෘෂ්ණාවකින් ලෝකයා මුළු ජීවිතයම ගෙවනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයක්. මෙක සිදුවෙන්නෙ මේ මාරයා නිසා. අන්න ඒ හරිය තමයි ඊළඟට ගාථාවේ සඳහන් වෙන්නෙ. “ඡේත්වාන මාරස්ස පප්පුඵකානි” මාරයාගේ අර මල්සැර, එහෙම නැත්නම් මල්තුඩ ඇති හී සැර, ඒවා කපා හරිනවා. මෙතන ගැඹුරු අදහසක් කියැවෙන්නෙ. මොනවද මේ ඊසැර කියන්නෙ? කෙලෙස් මාරයා මේ ඊතල විදින්නෙ අපේ ඉන්ද්‍රිය හයටයි. ඇස, කණ, නාසය, දිව, කය, සිත කියන මේවාට එන අරමුණු, එන කෙලෙස් අරමුණයි මෙතන මේ දක්වලා තියෙන්නෙ. ඒ කෙලෙස් අරමුණු හොඳ මුහුණුවරින් එන නිසා ඒවා අර මල්සැර හැටියට දක්වනවා. ඒ මල්සැර - ඒවා හරියට කපා හරින්න බැරි නම් - ඊතලය දිහා බලන්නෙ ඊතලයේ ඉස්සරහ මලක් තිබෙන නිසා. නමුත් මල දිහා බැලුවට මොකද ඇවිල්ලා අහේ ඇනෙන්නෙ. ඒ වගේ දෙයක් මෙතන තිබෙන්නෙ. ඉතින් ඔය කෙලෙස් ස්වභාවය කපා දැමීමට මොකක්ද උපකාර කරගන්නෙ? ඒත් අර අපි කලින් කියාපු වජ්‍ර මාණික්‍යමයි. විදර්ශනා ප්‍රඥාවමයි. ඒකට කියන්නෙ ‘විදර්ශනා මනසිකාරය’ කියල - මෙනෙහි කිරීම. විදර්ශනා මනසිකාරය තුළින් තමයි මෙන්න මේ කෙලෙස් අරමුණු කපාහරින්න පුළුවන් වෙන්නෙ. සාමාන්‍යයෙන් මෙනෙහි කිරීම කියන එකෙන්, මෙනෙහි කිරීම තුළින්, සාමාන්‍ය ලෝකයා වගේ - ඒ කියන්නෙ අඥානව - මෙනෙහි කළොත් වෙන්නෙ, කෙලෙස්වලට යටවෙලා මෙනෙහි කළොත් වෙන්නෙ, ඒ අරමුණ අනුව තවත් නොයෙකුත් නිමිති අරගන්නව. අරමුණක් එන්නෙ නිකන් නෙවෙයි, නිමිති අරගෙන. හිතට, කෙලෙස් නොයෙකුත් නිමිති දෙනවා. මේක සුභයි. මේක නිත්‍යයි. සැපයි. සැප ගෙන දෙන එකක්. ශුභ දෙයක්. මෙක මගෙයි කියල ඒ හැඟීම් දෙනවා. ඒ වගේම ඒකෙ ප්‍රිය මනාප ස්වරූපයක් තිබෙනවා. ඒ අනුව ආශාවන් වඩවන ස්වභාවයක් මේ ඉන්ද්‍රිය අරමුණුවල තිබෙනවා. මෙන්න මේ අරමුණෙහි ඇති මේ හිත අලවන ස්වභාවය, ඇලීම් ස්වභාවය, බැඳීම් ස්වභාවය, කපා හැරලා අරමුණු විනිවිද දකින්න පුලුවන් වන්නෙ විදර්ශනා ප්‍රඥාවෙන්. අන්න ඒ විදියටයි එතකොට මාරයා විඳින මේ කෙලෙස් ඊතල - මේ කෙලෙස් අරමුණු - කපා හරිනවා කියල කියන්නෙ. ඒ විදියට ඉතාම ශීඝ්‍රයෙන් මේ අරමුණ මෙනෙහි කරන්නෙ ඒ අර නිමිතිවලට යටවීමට නොවෙයි. බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමට මේ අරමුණු උපකාර කරගන්නව. ‘අන්න ඒක ආවා. මෙන්න පැවතුනා. ඔන්න ගියා.’ අරමුණ ආවා, පැවතුනා, ගියා. ඔය තුළින් තේරුම් ගන්නෙ මොකක්ද? කොයි තරම් ඇත්තද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය ස්වභාවය. ඊළඟට ඒක තුළින්ම දකිනවා මෙකට ඇල්මක් ඇතිකර ගත්තොත් ඒ එක්කම තියෙන්නෙ මේකෙන් වෙන්වීම නිසා ඇතිවන ශෝකයයි. භයයි. සන්තාපයයි. දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ඔය විදර්ශනා ඥාන තුළ තිබෙන්නෙ අපි මේ සංසාරයේ අනන්ත කාලයක් ලැබූ අත්දැකීම් සම්භාරයමයි. මේ අත්දැකීම් සම්භාරය ඉතාම සුළු ක්ෂණයකට යොදලා අර විදුරු මිණක් වගේ කපාගෙන යන තත්ත්වයකට පත්කරල තමයි මේ සංසාරයෙන් මිදෙන්න පුලුවන් වන්නෙ. භවයෙන් මිදෙන්න පුලුවන් වන්නෙ. බුදු පියාණන්වහන්සේ දෙන විසඳුම මෙකකද? සාමාන්‍ය ලෝකයා හිතන විසඳුම නොවෙයි. සාමාන්‍ය ලෝකයා හැම දෙයකම දකින්නෙ තණ්හාවක්, අල්ලාගැනීමක්, තණ්හා උපාදාන කියල කියනව. තෘෂ්ණාවෙන් අල්ලා ගන්නව. මේ අල්ලා ගැනීම තුළිනුයි සාමාන්‍ය ලෝකයා ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ. අපි දන්නවා දැන් කුඩා දරුවෙක් බයක් එනකොට මවුගෙ ඇඟේ එල්ලෙනව. මවු සමහර විට ඒ තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙ ඇඟේ එල්ලෙනව. හොරෙක් එහෙම එනව නම්, මරන්න කෙනෙක් එනව නම්, ඒ අය සමහර විට ඔය ආරක්ෂක භටයින්ගෙ ඇඟේ එල්ලෙනව. මේ එක එල්ලීමක්වත්, එල්බගැනීමක්වත්, ස්ථීර නැති බව මේ කාලේ මේ පින්වතුන් හොඳට දන්නවා. මේ අල්ලාගන්න එල්බගන්න ස්වභාවය තුළින් කවදාවත් මාරයා ජයගන්න බැහැ. මරණයෙන් බේරෙන්න බැහැ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මහ පුදුම විදියෙ, කෙනෙකුට හිතාගන්න බැරිවිදියෙ විසඳුමක් දෙන්නෙ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නෙ මාරයාගෙන් බේරෙන්න නම් මාරයා අදින කොට අත හරින්න කියල, මාරයා අදිනකොට අතහරින්ට ඕන. මොකද, මාරයා අදිනකොට අදින ඒ ගැම්ම තුළ තියෙනවා අර ශෝකය, භය, සන්තාපය, විලාපය ගෙන දෙන චිත්ත තත්ත්වයක්. යම්කිසි කෙනෙක් දැඩිව යම්කිසි දෙයක් ග්‍රහණය කර ගත්තොත්, අල්ලගත්තොත්, ඒ අල්ලගත්ත දෙය අදිනකොට ඒක තුළින් ඇතිවෙනවා භයක්, සන්තාපයක්, ශෝකයක්. අපි හිතමු කටු අත්තක එල්ලුනා කියල. ඒ කටුඅත්ත අදින කොට මේ තැනැත්තගේ අතත් තුවාල වෙනවා. ඒ වගේ මේ ලෝකයෙ උපාදාන ගැන බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කළා අල්ලගෙන බේරිය හැකි කිසිම දෙයක් මම මේ භවයේ දකින්නෙ නෑ කියලා. කෙනෙකුට හිතාගන්න අමාරුයි ඒක. එක එක මට්ටමෙන් කෙනෙක් තීරණය කරගන්නවා “මේ ටික විතරක් මම අල්ලගන්නවා” කියල. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අල්ලගන්න තාක් හැම දෙයක් තුළින්ම මාරයාට ගොදුරු වෙනවා කියල. කොයිතරම් ද කියතොත් පින්වතුනි, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා - අපි දැන් බෞද්ධයින් හැටියට නිතර අහල තියෙනවා - මමය මාගේය කියල කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියල තියෙන ගොඩවල් පහකටයි කියල. මෙන්න මේ එක එක ගොඩක්ම මාරයා හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනව. රූපයත් මාරයෙක්, වේදනාවත් මාරයෙක්, සඤ්ඤාවත් මාරයෙක්, සංස්කාරත් මාරයෙක්, විඤ්ඤාණයත් මාරයෙක්. මේ ඔක්කොම මාරයාට අයිති දේ හැටියට දක්වනවා. එතකොට මාරයාට අයිති නොවන දේ මොකක්ද? මෙන්න මෙයේ අතහැරීමමයි. එතන තිබෙන්නෙ, විමුක්ති සුවය. මෙක අල්ල ගැනීමෙන් ලබන දෙයක් නෙවෙයි. දැන් අපි මේකට සාමාන්‍ය උපමාවක් ගනිමු. කඹ ඇදිල්ලක් ගැන හිතල බලමු. කඹ ඇදිල්ලකදි මොකද්ද වෙන්නෙ? ආරම්භයේදී අපි දන්නවා ඒ දෙපැත්තේ ඉන්න දෙපිරිස මේ කඹය බඳාගන්නවා පුලුවන් වෙරදාල. තව ඕන නම් ඇඟෙත් දවටා ගන්නවා. මෙක ඩිංගක්වත් හෙල්ලෙන්න දෙන්නෙ නෑ කියල තද අධිෂ්ඨානයකින් කඹේ එල්ලෙනව. එතකොට අර එක පැත්තක්, අපි හිතමු, කොහොම හරි ජය ගන්න පුලුවන් කියල ඒ පැත්ත ඇද්ද කියල. අදිනකොට අර සමහරු බිම වැටිල, හීරිලා, තුවාලවලටත් භාජන වෙනවා අරකෙ එල්ලිලා හිටියොත්. ඒක අපිට හොඳට ප්‍රත්‍යක්ෂ කාරණයක්. නමුත් අර ජයග්‍රහණය පිළිබඳව එතනත් තියෙන්නෙ මිරිඟුව. මිරිඟුව පිළිබඳ හැඟීම නිසා මෙක දැඩිව අල්ල ගෙන ඉන්නව. ජය ගත්තා කියල හිතාගන්නවා. මහා හතියක් මධ්‍යයේ සතුට ප්‍රකාශ කරනවා. ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ විසඳුම හැටියට දක්වන්නෙ. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරන්නෙ ඔය විදියේ දෙයක් නෙවෙයි. මාරයා අදිනකොට අත හරින එකයි. අර විදියට මුළු ගැම්ම දාලා අදිනකොට අතහැරියොත් මොකද වෙන්නෙ? එතෙන්දී මාරයාටයි පීඩනය. මාරයාටයි එතෙන්දි පීඩනය. තමන් නිදහස්. තමන්ට භයක්, ශෝකයක්, සන්තාපයක් විලාපයක් මොකුත් නෑ. අතහැරීම. ඒක එදිනෙදා ජීවිතයේදී කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි මේ අල්ලගෙන ඉන්න දේ තුළ තිබෙනවා දුක දෙන දේ. අපි හිතමු අප අපේ දත් කූටටම ගැන බොහොම ආඩම්බරයි. ඉදිරිපිටම තියෙන දතක් කැක්කුම් දෙනවා. දත් කැක්කුමක් එනවා. දැන් කැක්කුම අපි කොහොම හරි දරාගන්නවා. මේ දත ගියොත් අපේ මූණේ ලොකු අඩුපාඩුවක්. නමුත් දන්ත වෛද්‍යවරයා කියනවා “මේක නරක්වෙච්ච දතක්, මේක කොහොමහරි ගියෙ නැත්නම් අනිත් ඒවටත් පාඩු වෙනවා” කියලා. ඔන්න එදා අර දතට තිබුනු ආසාව අහක් කරලා ඒක උගුල්ලන්න ඉඩ දෙනවා. ඒක ඉගිල්ලුවාට පස්සේ ඔන්න සහනය. අන්න ඒ දත පිළිබඳ කාරණය තමයි දත යුත්තේ. ඔය විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙන්නෙ. අපිට මෙක එදිනෙදා ජීවිතයෙ - සාමාන්‍යයෙන් ඔය නිදසුනක් කීවට - එකපාරට වැටහෙන්නෙ නෑ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ අය මෙක ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. අතහරින්න බැරි දේවල් අත හැරිය. මොකද, දැක්ක මේ එක එකක්ම - අර මාරයාගේ සියුම් ඊතල වගේ - එක එකක්ම මාරයාගේ ආරාධනා. අල්ල ගන්න කියල දෙනවා. ‘ඔන්න මෙක අල්ල ගන්න’ කියලා ඊළඟට අදිනවා. ඒක අල්ල ගත්තු හැටියේ අදිනවා. මෙන්න මේ අල්ල ගැනීම තුළින් - අපි තව මෙක තුළින් ගැඹුරු ධර්මයක් හෙළිකර ගන්න බලමු, මේ උපමාව තුළින්ම. දැන් අර කඹේ අල්ල ගැනීම ගැන අපි කිව්වා. කඹයක් අල්ල ගන්න අවස්ථාවේ කඹ ඇදිල්ලකදි කොයි තරම් උත්සාහයක්, ප්‍රයත්නයක්, වීර්යයක්, එහෙම නැත්නම් ඔරොත්තයක් ඒ වෙනුවෙන් යොදනවද? තැතක් යොදනවද? මේ කඹය අල්ල ගන්න. බදා ගන්න. අන්න ඒ විදියට මේ ලෝක සත්ත්වයා තුළ තිබෙනවා හැම දෙයක් පිළිබඳවම හිතෙන් වචනයෙන් කයෙන් දැඩිව චේතනා, ප්‍රාර්ථනා, බලාපොරොත්තු වශයෙන් එල්බගෙන ඉන්න ස්වභාවයක්. එහෙම නැත්නම් අපි මේක වෙන විදියකට කියනවා නම් ‘අර ඇඳීම්’ රාශියක් තිබෙනවා. ‘අර ඇඳීම්’ කියන වචනය මේ පින්වතුන් දන්නවා. සූදානමක්. ලොකු සූදානමක්, අර ඇඳීමක්, අපේ මේ මුළු මහත් ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට. ජීවිතය එහෙම පිටින්ම ජීවත් වීම සඳහා, ජීවත්ව සිටීම සඳහා, නොමැරී සිටීම සඳහා, දරණ සූදානමක්. අර ඇදීමක්. අර ඇඳීම් සමූහයක්. මේ අර ඇඳීම් ඉවර වෙන්නත් කලින්, මේ අර ඇඳීම් හරියට කරලා ඉවර වෙන්නත් කලින්, මාරයා මේක ඇද ගන්නවා. අන්න ඒ අවස්ථාවෙ ඉතින් අර අපි කලින් සඳහන් කළ ආකාරයට භය, සන්තාප, විලාප මධ්‍යයේ දුක්වලට පත් වෙනව. ‘මම මැරුණා’ කියල හිතා ගන්නවා. හිතාගෙන කොහොමහරි ඊළඟට වෙන තැනක කර්මානුරූපව ඇතිකරගත්තු අර කෙලෙස් නිසා, කෙලෙස් මාරයා නිසා - කර්මානුරූපව තව උත්පත්තියක් ලබනවා. ඊළඟට එතන පදිංචි වෙනවා. එතන පැල පදියම් වෙනවා. මාරයා එලොවට අදිනවා. මැරෙන්න ඉන්න කෙනා මෙලොවට අදිනවා. අන්තිමට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙක දෙලොවටම නැති ඇදිල්ලක් කියල. මෙක ඇදලා ඉවර උනාට පස්සේ එතන ගිහිල්ලා පදිංචි වෙනවා. පැල පදියම් වෙනවා. මනුෂ්‍ය රූපයක් ඇතිව ඉඳලා ඊළඟට ගිහිල්ලා තිරිසනකුගෙ කුසක උපන්නා කියල හිතමු. ඊළඟට අවිද්‍යාව නිසා ඒ ශරීර කූඩුව බදා ගන්නවා. ඒ ශරීරයට අදාල ඉන්ද්‍රියයන් බඳා ගන්නවා. ‘මමය මාගේය’ කියල. ඔන්න ඔය විදියයි. ඕකයි සංසාර ගමන කියල කියන්නෙ. මේ ගමන සැතපුම් වලින්, මීටර් වලින්, මනින්න පුලුවන් ගමනක් නෙවෙයි. ඔය සංසාර ගමන තිබෙන්නෙ මෙන්න මේ දෙක අතරේ. මේ ‘එලොවයි - මෙලොවයි’ කියල ඔය විදියට තමන් අල්ලගන්න තැන. එහෙම නැත්නම් ‘එතනයි - මෙතනයි’ කිව්ව වගේ. දැන් අර මිරිඟුව ගැන කිව්ව අවස්ථාවෙදිත් මුවා මෙතන ඉඳලා එතන පෙනෙන වතුර සොයා ගෙනයි දුවන්නෙ. එතනයි මෙතනයි සම්බන්ධ කිරීමට යෙදෙන්නෙ මොකක්ද? මාන්නය. තණ්හාව කියල කිව්ව නම් අර මෙතන ඉඳලා මුවා ඇතිකර ගන්නා හිතිවිල්ල - තණ්හාව අනුව සිතිවිල්ල ඇතිකර ගන්නවා. ඈත පෙනෙන දෘෂ්ටිය ඒකට උපකාර වෙනවා. මේ දෙක සම්බන්ධ කර ගන්නවා මාන්නයෙන්, “මම එතෙන්ට ගියොත් අර වතුර ටික බොන්න පුලුවන්” කියල. ඔය විදියට තණ්හා, මාන, දිට්ඨි කියන කෙලෙස් තුන අනුව ලෝක සත්ත්වයා මේ දීර්ඝ සංසාර ගමන යනවා. අපි දීර්ඝ කියල කිව්වට මේක එකතැනම කරකැවිල්ලක් වගේ. එකම තැන කරකැවිල්ලක් වගේ මහ පුදුම තත්ත්වයක් තිබෙන්නෙ. ඉතින් මෙක මේ විදියේ චක්‍රයක් නම් දුවලා බේරෙන්න බෑ. විමුක්තිය ලබා ගන්න බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ප්‍රකාශ කළේ මේ බඹයක් පමණ ශරීරය තුළ මම ලෝකයත් ලෝකයේ ඇතිවීමත්, ලෝකයෙන් මිදීමත් ඒකට මාර්ගයත් දක්වනවා කියල. මෙකට අර කලින් අපි සඳහන් කළ ආකාරයට මේ ශරීර කූඩුව විනිවිද දකින්ට ඕනෑ. මේ එක එකක්ම විනිවිද දකින්ට ඕනෑ. බුදු පියාණන් වහන්සේ මෙතන උපමා දෙකයි දක්වලා තිබෙන්නෙ. ධර්මයේ දක්වලා තියෙනවා මේ පංචස්කන්ධයටම උපමා. මේ පින්වතුන් කොතෙකුත් අහලත් ඇති අර රූපය පෙණ පිඬකට, වේදනාව දිය බුබුලු වලට - වැසි අවස්ථාවක වතුර වැටෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් ඇතිව නැතිවෙන දිය බුබුලු වගේ. ඊළඟට සංඥාව මිරිඟුව බව කිව්වා. සංස්කාර - සංස්කාර කියන එක අපි තේරුවේ අර නොයෙකුත් චේතනා ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අර ඇදීම්, සූදානම්වීම් මේ සියල්ල. අපි මේක සිතෙනුයි, කයෙනුයි, වචනයෙනුයි - දැන් කඹ ඇදිල්ලේදීත් ඔය වචනය හිටන් යොදා ගන්නවා - කයයි, වචනයයි, සිතයි. මේ ඔක්කොම තුළින් කෙරෙන විශාල ප්‍රයත්නයක් - ප්‍රයත්න රාශියක් - මේ කඹ ඇදිල්ලක් තුළ තිබෙනවා. සූදානම්වීම්, අර ඇඳීම්, රාශියක්. ඒ වගේ මේ සංස්කාර ගොඩක්. මේවයි හරයක් නෑ. නිස්සාරයි. කෙහෙල් කඳකට සංස්කාර උපමා කරලා තියෙනවා. කෙහෙල් කඳක අරටුව සොයාගන්න ගිහින්, මේ අරටුවෙයි කියල මුලින් මේ කෙහෙල්කඳේ ස්වභාවය දැකලා සිනිඳු නිසා හිතා ගන්නවා මේක මේ හොඳ අරටුව ඇති ලීයක් කියලා, පළමු වරට දුටුව කෙනා. නමුත් මේක ටිකක් අතගාගෙන යනකොට, ඉතාම සියුම්ව අත ගානකොට, මෙන්න පොත්තක් විතරයි - මේ අර හොඳට පෙනුනෙ පොත්තක් විතරයි. අරටුව නොවෙයි. ඒක අහක් කරනවා. ඔන්න දැන් තියෙන්නෙ අරටුවෙයි කියල. ඒකත් පොත්තක් විතරයි. ඊළඟට ඒකත් අහක් කරනවා. ආ ඒකත් පොත්තක් විතරයි. අන්තිමට බඩේට යනවා. එතනත් නෑ. එතනත් නෑ හරයක්. ඒක තුළත් තිබෙන්නෙ පොතු රාශියක්. ඔන්න ඔය විදියට මුළු මහත් සංසාරයෙම, එතකොට පින්වතුනි, අපි මේ කරලා තිබෙන්නෙ පොතු ගහන එක. අරටුවක් ලැබිලා නෑ. අරටුවක් සොයාගෙන පොතු ගහ ගෙන ගිහිල්ලා තියෙනවා. මේකයි . සංස්කාර - ‘සංඛාරපරමා දුක්ඛා’ කියල බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. ලෝකයේ තියෙන ඉතාම සියුම්ම දුක සංස්කාර දුකෙයි කියල. සාමාන්‍යයෙන් අපි දුකෙයි කියල කියන්නෙ අපේ හිතවත් කෙනෙක් නැති උනහම, අසනීප උනහම, ලෙඩ උනහම, කන්න බොන්න දෙයක් නැති උනහම් - ඔවා තමයි දුක කියල කියන්නෙ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා දුකෙත් සියුම්ම මට්ටම නමයි සංස්කාර. ඕක විදර්ශනා යෝගියාටයි වැටහෙන්නෙ. ක්‍රම ක්‍රමයෙන් මේකෙ දුක වැටහෙනවා. දුක නැතිකරන්න නම් - දැන් රෝගයක් නැතිකරන වෛද්‍ය වරයෙක් මොකද කරන්නෙ? රෝගයේ ඉස්සෙල්ලම අර බාහිරව පෙනෙන ලක්ෂණ - ටිකක් ඔය උණ තියෙනවා නම් ටිකක් වේදනාව තියෙනවා නම් - ඒවා මර්දනය කරනවා. නමුත් රෝගය සුව උනා නොවෙයි. රෝගයට හේතු වුනු ඒ මූල නිදානයටම බෙහෙත් කරන්ට ඕන. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේත් මේ රෝගයේ නිදානයම සොයා ගෙන ඒ හේතුවත් ඉවත් කළා. ඒ නිදානය තමයි තණ්හාව කියන එක. තණ්හාව බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. මේ තණ්හාව නිසා තමයි අල්ල ගන්නෙ. දැන් මේ ගොඩවල් පහම දුකක් වෙන්නෙ මක් නිසාද? ඒවා අල්ලගෙන නිසා - අල්ලගෙන ඉන්න නිසා. අල්ලගෙන ඉන්නතාක් තමයි ඒක දුක. අතහැරියාම එතන දුකක් නෑ. නමුත් ලෝක ස්වභාවය මේ එක එකක්ම අල්ලගෙන ‘මෙය මමය’ ‘මාගේය’ කියල කීම. අල්ල ගන්නවා කියල කියන්නෙ අතහරින්න අකැමැති බව. අල්ලගෙන ඉන්නවා කියල කියන්නෙ අතහරින්න අකැමැති බව. ඒක හෙළිවෙන්නෙ - දැන් මේ එක එකක්ම පිළිබඳව දෘෂ්ටි වශයෙන් ගන්නවා සාමාන්‍ය ලෝකයා. රූපය, එක්කෝ “රූපය මගේය” කියල කියනවා. රූපයත් ඔබත් අතර සම්බන්ධය මොකක්ද කියල අහුවොත් කෙනෙක්, කියනවා ‘මේ රූපය මගේය’ කියල. යම්කිසි ආකාරයකින් ඒකට තර්කානුකූලව පෙන්නුවොත් ඒක එහෙම වෙන්න බෑ කියලා. “නෑ නෑ පොඩ්ඩක් වැරදුනා, මම රූපය ඇති කෙනෙක්.” එහෙම නැත්නම් “මා තුළ රූපය තිබෙනවා.” එහෙමත් නැත්නම් “රූපය තුළ මා ඉන්නවා.” ඔය විදියට. එයින් පෙන්නුම් කරන්නෙ මොකක්ද? රූපය අතහරින්න කැමති නෑ. ඒකේ කොහොමහරි එල්ලිලා ඉන්නවා අර හතර ආකාරයකින්. ඔය විදියට විසි ආකාරයකින් එල්ලීම තමයි ඔය සක්කාය දිට්ඨිය කියල කියන්නෙ. දෘෂ්ටිය කියල කියන්නෙ. ඉතින් ඔය අතහරින්න අකැමැති බව - තණ්හාව නිසා ඇතිවන දෙයක් ඒක. තණ්හාව නිසා උපාදානය. අල්ලගත්තට පස්සේ අන්න අර කඹ ඇදිල්ල කියන එකයි සිද්ධ වෙන්නෙ. ඉතින් ඔය විදියට සංස්කාර කෙහෙල් කඳකට උපමා කරලා තිබෙන්නෙ මක් නිසාද? “බුදු පියාණන් වහන්සෙ සංස්කාර කෙහෙල් ගහට උපමා කරලා තියෙනවා. අපේ වත්තෙ තියෙනවා කෙහෙල් ගස් කොතෙකුත්. එතකොට මට සංස්කාර තේරුම් ගන්න බොහොම පහසුයි.” කියල කෙනෙක් හිතුවොත් වැරදියි. මෙක ගැඹුරින් සලකලා බලන්න ඕන. ඒ විදියටයි සංස්කාර. විඥාන කියන එක ඊටත් වඩා සියුම් දෙයක්. විඥානය මායාවකට උපමා කරලා තියෙනවා. මායාව කියන්නෙ මේ කාලේ හැටියට කියතොත් විජ්ජාවක්. මේ කවුරුත් විජ්ජා සංදර්ශන දකින්න කැමැත්තෙන් යනවා. යන්නෙ මොකටද? රැවටෙන්න. නිකම්ම නෙවෙයි මුදලුත් ගෙවල රැවටෙන්නයි. නමුත් මේක - මේ රැවටිල්ල - කවදත් සංසාරේ කෙරෙනව. මේකට අමුතුවෙන් මුදල් නොගෙව්වත්. මේ රැවටිල්ල තමයි විඥානය කියල කියන්නෙ. මොකද විඤ්ඤාණයේ ස්වභාවය නැති දෙයක් ඇති හැටියට පෙන්නුම් කිරීම. ඒක බුදු පියාණන් වහන්සේ උපමාවකට දක්වලා තිබෙන්නෙ සතරමං සන්ධියක විජ්ජා කාරයෙක් විජ්ජාවක් දක්වීමේදී මවා පෙන්නනවා. ඇති හැටියට පෙන්නනවා නැති දේවල්. ඒ මුළාවෙන අය ඒක දැකලා ආ! ඕව්! සූ! කියලා සතුටු වෙනවා. නමුත් මෙතන ඇති දෙයක් නෑ. නිස්සාරයි. ඔන්න ඔය සාරයක් නැත. අරටුවක් නැත කියන අවබෝධය තමයි අවසානයේදී කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ නිවන හැටියට දක්වන්නෙ. සාමාන්‍ය ලෝකයා හිතාගන්නෙ මේ නිවන කියන එක යම්කිසි අමුතු ලෝකයක් හැටියට. අර මාරයාට නොපෙනෙන තැන ඕකයි. මාරයාට නොපෙනෙන තැන කියල කිව්වේ ඒ චිත්ත තත්ත්වය. ඒ කියන්නෙ කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ලෝකෝත්තර තත්ත්වය මේ ජීවිතයේදී ලබා ගත්තා නම් අර්හත්වයෙන්, ඒ තැනැත්තාගේ මරණ අවස්ථාවේදී මාරයා අදිනකොට තමන් මේ පැත්තට අදින්නෙ නෑ. ඒ වෙනුවට මාරයා අදිනවා නම් “මේක ඔබේ නම් ගන්න” කියල වගේ අතහරිනවා. අත හරිනකොට අර ශෝක සන්තාප, විලාප කිසිවක් නෑ. ඔතනයි ඕකෙ රහස තියෙන්නෙ. මහ පුදුම විසඳුමක් බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ - අදිනකොට අතහැරීම. මේ අතහැරීම මෙලොවම පළමුවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෑ. ඒ ප්‍රත්‍යක්ෂ කර ගන්න මාර්ගය නමයි විදර්ශනා ඥාන කියල කියන්නෙ. අර අනිත්‍යතාව තුළින් මේක දකින්නෙ. අනිත්‍යතාව කියන වචනය තුළ මහා ගැඹුරක් තියෙනවා. අනිත්‍යතාව කියල කියන කොට අපි මේක ටික කලක් තිබෙනවා කියල හිතා ගන්නවා. අවුරුද්දක් නෙවෙයි මාසයක්. මාසයක් නෙවෙයි දවසක්. ඔය විදියට අන්තිමට බලන කොට මේකත් විනිවිද දකින්න සිද්ධවෙනවා. ඇතිවීම නැතිවීම දෙක තුළින් ඒක ප්‍රත්‍යක්ෂයට නැගෙන්නෙ කොහොමද? මේ ඇතිවීම් වලට වඩා වේගයෙන් ඒ දෙක බලමින් සිටිය කෙනාට මේවා බිඳෙමින් යනවා පේනවා. දැන් අර ස්වාමීන් වහන්සේ අර පෙණ පිඬ දැකලා මේ ශරීරයට උපමා කළේ මක් නිසාද? උන්වහන්සේට පෙනී ගියා මේ ශරීරය ඇතිවෙනවාටත් වැඩිය වේගයෙන් වගේ මේක බිඳිලා යනවා. ඒ තරමට මේක නිතර නිතර බිඳී යන දෙයක්. මේ බිඳී යන ස්වභාවය සාමාන්‍ය පියවි ඇසට පෙනෙන්නෙ නෑ. අර අපි කලින් සඳහන් කළ ආකාරයට මෙක අණුදක්න ආදියෙන් දැක්කත් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි. ඒක විද්‍යාගාරයේදී දැක්කත් ගෙදර අවට පස්සේ මතක නෑ. ඒක නිසා මේක ප්‍රත්‍යක්ෂ දෙයක් වෙන්ට ඕනෑ ප්‍රත්‍යක්ෂ වෙන්ට නම්. මේක අර සමාධියෙන්, උපේක්ෂාවෙන්, ඒකාග්‍රතාවෙන්, සකස් උනු සිතටයි පේන්නෙ. මාරයාගේ මල්සැර කපා හරිනවා කියල කිව්වේ ඒකයි. අර මෙනෙහි කිරීම් තුළ තිබෙන්නෙ මෙන්න මේ දෙකයි. උපේක්ෂාවයි ඒකාග්‍රතාවයි. සමාධිය තුළින් ලබාගන්න ඒකාග්‍රතාව. ඒක තුළින් අර සිත ශක්තිමත් වෙනවා. තියුණු වෙනවා. පිහියක් උනත් මොට්ට පිහියකින් කපන්න බෑ නෙ. ඒක හොඳට තියුණු කරගන්ට ඕනෑ. තියුණු කරගෙන - ඊළඟට අර උපේක්ෂාව. ඒක හරියට එල්ලකර, එතන නොසැලී, නොවිසිරී,තබාගන්න ආකාරයක් තියෙනවා උපේක්ෂාවෙ. ඔන්න ඔය දෙක තුළින් තමයි අර විදර්ශනා ප්‍රඥාව මතුකර ගන්නෙ. ඒ ප්‍රඥාවෙන් ක්‍රමානුකූලව ඉස්සෙල්ලම අර ඇතිවීම් නැතිවීම් දෙක. ඊළඟට ඒක තුළින් බිඳී යනවා, ශීඝ්‍රයෙන් බිඳී යනවා, පෙනවා. බිඳී බිඳී යනකොට තේරෙනවා මේ බිඳී බිඳී යන දේ මම මෙකටද අල්ල ගන්නෙ කියල. බිඳී බිඳී යන දෙයක් - අපි හිතමු දිරච්ච වැටක් - දිරච්ච වැටක් අල්ල ගත්තට පස්සේ වැටත් එක්කම වැටෙනවා. ඒ වගේම දෙදරන දෙයක්, කම්පනය වන දෙයක් අල්ල ගන්නතහම තමන්ටයි එයින් පීඩාව. ඒ වගේ බුදු පියාණන් වහන්සේ වදාළා මේ එක එකකම - රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මේ හැම එකකම - තියෙනවා කියල කම්පන රාශියක්. කම්පන හැටියට සලකන්න පුළුවන් අර සංස්කාර කියල කියන එක. අර අල්ලගත්තු අර ඇදීම්, සූදානම් වීම්, බලාපොරොත්තු, චේතනා, ප්‍රාර්ථනා රාශිය නිසාම තමයි අර කම්පන ආදිය ඇති වෙන්නෙ. ඒ මානසික ගැටුම තුළින් මිදීමයි විමුක්තිය. මේ නිවන අපි ළහම තියෙනවා කියල කියන්නෙ ඕකයි. මෙක ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්, අවබෝධය - ප්‍රඥාව තුළින්. මෙක නිකම් ප්‍රඥාවක් නෙවෙයි. මෙක ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රමානුකූලව යම්කිසි කර්මස්ථානයක් තුළිනුයි. අපි හිතමු දැන් අර කය පිළිබඳව කලකිරීමට, කෙස්, ලෝම්, නිය, දත්, ආදි යම්කිසි කොටසක් නිතර භාවනා මනසිකාරයට යෙදාගෙන ඒ තුළින් සමාධි මට්ටමක් ඇතිකර ගත්තා නම්, ඒකෙන් අර කලින් අපි සඳහන් කළ ‘විපල්ලාස’ කියල කියන විපරිත අදහස් ඉවත් වෙනවා. සුභ සඤ්ඤාව ඉවත් වෙනවා. ඒක පිළිබඳ ඇල්ම නැති වෙනවා. ඒ වෙනුවට ඒකේ යථා තත්ත්වය අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ විදියට ඒක අශුභ හැටියට මෙනෙහි කරනවා. එහෙමත් නැත්නම් ධාතු හැටියට මේ හැම එකක්ම - මේ ශරීර කූඩුවට අනුබද්ධ වන දේවල් - ඒ වගේම අවට තියෙන දේවල් අර පඨවි, ආපෝ, තේජෝ වායෝ, කියන මේ මහ පොළොවේ වතුරෙහි ගින්නෙහි හුළඟෙහි අපි දකිනවා යම්කිසි ලක්ෂණයක්. මේකත් ගති ස්වරූප පමණයි. මේවත් අපි හඳුනාගන්නෙ අර අන්ධ පුද්ගලයා අතපතගාලා දැනගන්නවා වගේ. අපි මේක මේ පඨවි ධාතුවද කියල දැනගන්නෙ මේක තද නිසා. ඒකත් මේ ශරීරයට දැනෙන්නෙ. ශරීරය තුළිනුයි අපි ඒක අවබෝධ කර ගන්නෙ මේක තද දෙයක් කියල. මේක වැගිරෙන සුළු දෙයක්ද? මේක උණුවෙන, උණුසුම් ඇති දෙයක්ද? මේක හෙලවෙන ස්වභාවය, පිම්බෙන ස්වභාවය ඇති දෙයක්ද? මේ ධාතු හතර අපේ මේ ශරීරය තුළ තිබෙනවා. පඨවි ධාතුව වැඩියෙන් පවතින කොටස් හැටියට සලකුවොත් කෙස්, ලෝම්, නිය, දත් ආදී ඒවායි. මේ තද බව පිළිබඳව හැඟීම මතුකර ගන්න පුළුවන් ඒවා තුළින්. ඒවා අල්ලනකොට තදබවක් තියෙනවා. තද බුරුල් ආදිය. ඒ වගේම මේ වැගිරෙන ස්වභාවය. දියාරු ස්වභාවය. කෙළ, සෙම්, සොටු, මුත්‍රා ආදි ඒවායේ අපට දැනෙනවා මේ ශරීරය තුළ ආපෝ ධාතුවත් තියෙනවා. ඊළඟට කුසගින්න තුළින්, උණ ගැනීම් ආදිය තුළින් දන්නවා මේ තේජෝ ධාතුව. ඒ වගේම වායෝ ධාතුව මේ අශ්වාස ප්‍රශ්වාසයෙන්. ඉතින් මෙන්න මේවා තුළින් ඔය බුදු පියාණන් වහන්සේ නිවන මතුකර ගන්න මාර්ගය දක්වුවේ. වෙන කොහෙවත් යන්ට දෙයක් නෑ. මේ ශරීරය තුළම. ශරීරයත් ඊළඟට අප අවට තියෙන මේ ගසුත් බණ කියනවා. මේ විදියට මේ සැරසිලා කිව්වේ නැතිවුනාට මොකද මේ ගස්, කොළ, මල්, ගෙඩි, මේ හැම එකක්ම බණ කියනවා. නමුත් ඒවට කන් දෙන්නෙ නෑ. බුද්ධ කාලයේ නම් ඒ අය කන් දුන්නා ඒවට. ඒ විදියට තමයි අතීතයේ සංඝයා වහන්සේලා අර කැලෑවකට ගියාම ඒ විවේක කාලය තුළ ඒ තියෙන පොත් කියවනවා. ගස්වල තියෙනවා බණපොත්. ගංගාවල තියෙනවා බණ. ඒව තමයි මේ මෙතනුත් දක්වුවෙ. ඒ සංඝයා වහන්සෙ ඒ ගංගාවේ ගලාගෙන යන බණ පොතක් කියෙව්වා. ඔන්න ඔය විදියට මේ ලෝකයේ යථා තත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය කොතෙකුත් දකින්න ලැබෙනවා. ඒවා තුළින් මේව මතුකර ගැනීම විදර්ශනා ප්‍රඥාවට අයිති දෙයක්. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න ඕනෑ.   මේ විදියට කල්පනා කරලා බලනකොට මේ හැම එකක්ම සංස්කාර. මේ ශරීර කූඩුව පිළිබඳව තියෙන ඇලුම් නැතිකර ගැනීමෙන්, මේක විනිවිද දැකීමෙන්, තමයි අර මාරයාට නොපෙනෙන තැන කියල දක්වන ඒ උතුම් උත්තරිතර ලෝකෝත්තර තත්ත්වය - නිවන - ඒ විමුක්තිය - කෙනෙකුට ප්‍රත්‍යක්ෂකර ගන්ට පුළුවන් වෙන්නෙ. මේ ලෝකයේදීම සිත ඒ විමුක්ත තත්ත්වයට පත්කර ගත්තා නම්, ඒ තැනැත්ත තමයි නිවුනා කියල කියන්නෙ. ඒ නිවීම. එතෙක් තිබෙන්නෙ දැවීමක්. අන්න ඒ නිවීම ප්‍රත්‍යක්ෂකර ගැනීම තමයි මේ ධර්මයේ පරමාර්ථය. එතකොට මේ පින්වතුනුත් කල්පනා කරගන්න ඕන එදිනෙදා ජීවිතයේදී, මේවා කල් දමන්නෙ නැතිව, මේවා අපේ මේ ශරීර කූඩුව - අපි නිතරම ගෙනයන මේ ශරීර කූඩුව - තුළම තියෙනවා. වෙනෙකක් තබා හැම බුදුවරයකුටම බුදුවීමට උපකාරීවුණු මේ ආනාපාන සති භාවනාව ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන තියෙන්නෙ මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයයි. මේ අශ්වාස ප්‍රශ්වාස කියන ධර්මතාව ගැන ටිකක් කල්පනා කරල බැලුවොත් අපට මෙක හිතාගන්න පුළුවන්. මේ නිෂ්ඵල දීර්ඝ දිගැති සංසාර දිවිල්ල තුළින් ඇතිඋන හතිය වගෙයි මේ අශ්වාස ප්‍රශ්වාස දෙක. ඇත්ත වශයෙන්, පින්වතුනි, ආනාපාන සතිය කියල කියන්නෙ හතිය නෙවෙයි. වරදවල වටහ ගන්න එපා. සතිය කියල කියන්නෙ සිහියයි. නමුත් ආනාපානය කියල කියන අශ්වාස ප්‍රශ්වාසය හරියට මේ සංසාර දිවිල්ල තුළ ඇතිවෙච්ච ජවය, හතිය, පෙන්නුම් කරන දෙයක්. මේක තුළ ගැබ්වෙලා තිබෙනවා මේ සංසාර දුක පිළිබඳ පණිවිඩය. ඒකයි මේ ආනාපාන සතියෙන් බුදු වෙනවා කියල කියන්නෙ. මේ අශ්වාස ප්‍රශ්වාසය තුළ කායානුපස්සනාව කියල කියන කය අනුව බැලීමේ සතිපට්ඨානයත් තියෙනවා. වේදනානුපස්සනාව කියල කියන වේදනාව පිළිබඳව අවබෝධ කර ගැනීමේ ශක්තියත් තියෙනවා මේ අශ්වාස ප්‍රශ්වාසය තුළම. සිතෙහි, චිත්තාචාරය, සිත හැසිරෙන ආකාරය, අවබෝධ කරගැනීමේ රහසත් මේ ආනාපානය තුළ තිබෙනවා - අශ්වාස ප්‍රශ්වාස දෙක තුළ. ඊළඟට ධම්මානුපස්සනාව කියල කියන ඒ සිතට එන අරමුණු පිළිබඳව, ඒවායේ යථා තත්ත්වය අවබෝධ කරගැනීමේ ශක්තියත් තිබෙනවා. ඒ අනුව අපට කල්පනා කරලා බලනකොට මේ සංසාර ජවයේ ‘හතිය’ වගේයි මේ අශ්වාස ප්‍රශ්වාස දෙක. මේ ‘හතිය’ සංසිඳවා ගැනීමයි - දිවිල්ල නතර කරලා එක තැනක වාඩිවෙලා මෙන්න මේ අශ්වාස ප්‍රශ්වාසයට - හිත යෙදීම කියල කියන්නෙ, පින්වතුනි, මේ සංසාරික ජවයේ ඇති මේ අරගෙන ආපු ‘හතිය’ අරගන්නෙ එකයි. මේ හතිය අරගන්නෙ මේ අශ්වාස ප්‍රශ්වාසය සියුම්කර ගැනීමෙන්. උත්සාහ කරලා නෙවෙයි. සන්සුන්ව ඉඳගෙන ඒකට හිත යෙදෙන කොට, මෙක නොසන්සුන් වෙන්නෙ විතර්ක ආදියෙන් - සිතිවිලි වලින්. හිත දුවනවා. හිත අර කලින් අරගත්තු කෙලෙස් අරමුණුවලට දුවන ස්වභාවයක් තියෙනවා. ආනාපාන සති භාවනාවට එකපාරටම ඉඳගත්තු කෙනාට ඒක එපාවෙන තරමට මේ විතර්ක ජාලාවල් ගලාගෙන එනවා. නමුත් ක්‍රමානුකූලව ඒකට උපකාර වෙන අර මූලික කර්මස්ථාන හැටියට දක්වන බුද්ධානුස්සති, මෛත්‍රි, අශුභ, මරණසති කියන ඒ චතුරාරක්ෂාව එහෙම වඩලා, ක්‍රමානුකූලව වඩලා, ආනාපාන සතියට ඉඳගත්තු පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කරන්නෙ මොකක්ද, අර අශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කිරීමෙන්, සියුම්ව මෙනෙහි කිරීමෙන්, එහෙම නැත්නම් ඒකේ සතිය පිහිටුවීමෙන්, ඒ තුළ සතිය රැඳවීමෙන්, විතර්කවලට ඉඩ නොතැබීමෙන්, මාරයාගේ ඊතල කපා හැරීමෙන්, අන්න ටිකෙන් ටික අර අශ්වාස ප්‍රශ්වාසය සංසිඳවනවා. සංසිඳෙනවාත් එක්කම වැටහීම් නුවණ, ප්‍රඥාව තියුණු වෙනවා. අන්න ඊළඟට විදුරුමිණ වගේ, වජ්‍ර මාණික්‍ය වගේ, වෛරෝඩිය වගේ, අර විදර්ශනා ප්‍රඥාව ක්‍රමානුකූලව උදයබ්බය, භංග ආදී වශයෙන් වැඩිල ගිහිල්ල තමයි යම්කිසි අවස්ථාවක මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, මේ අශ්වාස ප්‍රශ්වාස ගැනීමේ ඔරොත්තය, මේ සූදානම, අර ඇඳීම, තුළ තියෙන සියුම් සංසාරික බන්ධනය අවබෝධ කරගෙන යම්කිසි අවස්ථාවක අර සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියල කියන මාර්ගවල ප්‍රතිවේධයෙන් කෙනෙකුට පුලුවන් වෙනවා මෙන්න මේ ශරීර කූඩුවෙන් මිදිලා අර විමුක්ත සිත ඇතිකර ගන්න. ඒ විමුක්ත සිත ඇතිකර ගත්තා නම් ඒ තැනැත්තා - එතන ඉඳලා ඒ තැනැත්තාගේ ජීවිත කාලය අතීතයේ එකතු කරගත්තු කර්ම වේගවලට අනුව ගෙව්වට මොකද, මරණ අවස්ථාවේදී අර මාරයා අදිනකොට කම්පනයක් සිදුවන්නෙ නෑ. බුදු පියාණන් වහන්සේගේ පිරිනිර්වාණය ගැන සඳහන් කරනකොට සමහර කෙනෙක් වරදවලා වටහා ගන්න පුළුවන් මාරයා ඇවිල්ල ආරාධනා කළාය ඒක නිසා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවයි කියල. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන්පෑව අවස්ථාවේදී ඒ සිත සම්පූර්ණයෙන්ම විමුක්ත සිතක් නිසා ඒකෙන් ශාන්තිය ලබාගෙන ශාන්ත තත්ත්වයකිනුයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. අන්න ඒ ශාන්තිය සාමාන්‍ය ලෝකයේ ලෝක සත්ත්වයා තුළ නෑ. කෙනෙක් මැරෙනකොට වද වේදනා රාශියක් මධ්‍යයේ විලාප තියලා, ඒ තමන්ගේ ඥාතීන් පිළිබඳ සිතිවිලි අරගෙන ඊළඟට මැරිලා ගිහිල්ලා නැවතත් උපදින්නෙ කර්මානුරූපව තවත් තැනක. ඉතින් ඒක ඒ විදියට දිගින් දිගට මේ සංසාරයේ යනව. ඕකට තමයි ධර්මයේ දක්වන්නෙ කම්ම වට්ට - කිලෙස වට්ට - විපාක වට්ට කියලා. අර මාරයා විදින ඊතල වලට, මල්සැරවලට, අහුවෙලා නොයෙකුත් විදියේ කර්ම රැස්කර ගන්නවා. ඒ කර්මවල විපාක වශයෙන් ඊළඟට ශරීර කූඩු ඇතිවෙනවා. අර අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ඇතිකරගත්තු ඒ ශරීර කූඩු. ඇතිවෙන ඇතිවෙන ශරීර කූඩුව නිසා අන්න මාරයාට හොඳ විනෝදයක්. මාරයා අදිනවා. ඊළඟට අදිනකොට ශෝක, සන්තාප, භය, සංතාස මධ්‍යයේ විලාප තියාගෙන මැරෙනවා. ඔන්න ඕකයි දුක කියල කියන්නෙ. මේ ‘මාරයා’ කියන මේ වචනය යොදන්නෙ මොකටද? මේ ලෝකයා තුළ ගැබ්වෙලා තියෙන, තමන් අඳුනාගත්තෙ නැති අවිද්‍යාවත්, තෘෂ්ණාවත් මේ දෙක තමන්ට හිතට වැටහෙන ආකාරයට අරමුණු කරගෙන මේ නිර්වාණ ගමන, නිවන දක්වා යන ගමන, කරගෙන යාමටයි බුදු පියාණන්වහන්සේ බොහෝ අවස්ථාවල්වල මේ ‘මාර’ කියන වචනය යෙදලා තිබෙන්නෙ. මාර දිව්‍ය පුත්‍ර කියල කොටසකුත් සිටිනවා. නමුත් මෙතන මේ තිබෙන්නෙ, මේ බොහෝවිට යෙදෙන්නෙ, මාරයා - කෙලෙස් මාරයා - කියල යොදන්නෙ, ඒක අර හිතට වැටහෙන ආකාරයට, ඒ විදියේ යම්කිසි ධර්ම අරමුණක් වත් ඉදිරිපත් කළේ නැත්නම් උත්සාහ වන්නෙ නැති නිසා. මධ්‍යම ප්‍රතිපදාව කියල කියන්නෙ මේක මැදුම් මාර්ගයක්. නිකම්ම ඉඳලා හරියන්නෙත් නෑ. දැඟලලා හරියන්නෙත් නෑ. බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක දේවතාවෙක් ඇවිල්ල ඇහුවා “නිදුකානෙනි ඔබ කොහොමද මේ සැඩ වතුරින් එතෙර උනෙ” කියල. සැඩ වතුර කියල කිව්වේ මේ සංසාරික කෙලෙස් සැඩවතුර. මේ සැඩවතුරින් එතෙර උනෙ කොහොමද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. “මම නොනවතිමින් නොදඟලමින් සැඩ වතුරින් එතෙර උනිම්” කියල. නැවතුනත්, දැන් සැඩ වතුරට අහුවෙච්ච පුද්ගලයා කරකියා ගන්න දෙයක් නෑ කියල එක පාරටම නැවතුනොත් ඒත් මරණය. දැඟලුවොත්- ඒත් මරණය. ඒ වෙනුවට ඒ සැඩවතුරින් බේරීම සඳහා ක්‍රමානුකූලව නුවණින් උත්සාහයක් දරනවා. ඒ විදියේ මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ විදර්ශනා මනසිකාරය හැටියට දක්වුවෙ. අන්න ඒක නිසා මේ පින්වතුන් අද මේ වටිනා පෝය දවසෙ තමන්ගේ මේ සංසාර දුක කෙළවර කර ගැනීමට උපකාර වෙන ඒ බුදු පියාණන් වහන්සේගේ බණ පදයක් ආශයෙන් යම්කිසි විග්‍රහයකට, විවරණයකට කන් දුන්න. තමතමන් කල්පනා කරන්ට ඕන. මේවා මේ ‘බණ ඇසීම’ කියල සාමාන්‍යයෙන් අහලා, මෙයින් නවතින්නෙ නැතිව, එදිනෙදා ජීවිතයේ හැකිතාක් දුරට ක්‍රියාවට නගන්න ඕන කල් දමන්නෙ නැතිව. එදිනෙදා ජීවිතයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි අන්දමටයි බුදු පියාණන් වහන්සේ මේවා දක්වා වදාළේ. සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි ගිහි පින්වතුන් පින්වතියන් - උපාසක උපාසිකාවන් - බුද්ධ කාලයේත් ඉන් මෑතත් මේ ධර්ම මාර්ගයට නැඹුරුවෙලා ක්‍රමානුකූලව භාවනාව වඩලා සමහරවිට සංඝයා වහන්සේලාටත් කලින් මේවා ප්‍රත්‍යක්ෂ කරගෙන සිටි බව ඒ ධර්ම කථාවල සඳහන් වෙනවා. ඒක නිසා මේ පින්වතුන් උත්සාහවත් වෙලා අද දින මේ දක්වූ ධර්ම කාරණා මේවා ඥාන සම්භාරයක් හැටියට තැන්පත් කරගන්න නෙවෙයි විදර්ශනා වශයෙන් තමන්ගේ අර වජ්‍ර මාණික්‍ය තියුණු කර ගැනීමට - විදර්ශනා ප්‍රඥාව දියුණුකර ගැනීමට - මේවා උපකාරයක් කරගෙන මේවායේ ප්‍රායෝගික අගය ගැන කල්පනා කරලා මෙයින් ප්‍රයෝජන ගන්නවා ඇතැයි කියල අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අද වැනි දවසක මේ පින්වතුන් සුළු කාලයක් නමුත් ධර්ම ශ්‍රවණය කළා. ඒ තුළ තිබෙන්නෙ තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ඒ ශ්‍රද්ධාව අනුව ගිය වීර්යයත්, ඒ වීර්යය අනුව මේ මතුකර ගත්තු සතිය කියල කියන සිහියත්, ඒ සිහිය අනුව ඇතිකර ගත්තු සමාධියත්, ඒ සමාධිය තුළින් යම්කිසි වැටහීමක් ඇතිවුනා නම් ඒ ප්‍රඥාවත්, කියන ඒ තම තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්ට පුලුවන් මේ ධර්මයේ කොටස්- වටිනා ඉන්ද්‍රිය ධම්, බලධම් - පිළිබඳව යම්කිසි හැඟීමක් ඇතිකර ගන්න පුළුවන් උනා. අද දින එතකොට මේ පින්වතුන් සතුටුවෙන්ට ඕන මේ විදියට මේ දරණ ප්‍රයත්නය තුළින් තමයි අපට යම්කිසි දවසක මේ භයානක සංසාරයෙන් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ශෝක සංතාප ආදී මේ හැම එකකින්ම මිදිලා උතුම් වූ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්ට පුළුවන් වෙන්නෙ. ඒ ශාන්තිය මේ පින්වතුන්ටත් මේ ජීවිතයේදීම කල් නොයවාම ලබාගන්ට ශක්තිය බලය ලැබේවා! කියල හොඳින් හිතාගන්ට ඕන. ඒ වගේම මේ ශාසනික වැඩ කටයුතු වලට නිති පතා - අපට නොපෙනෙන නමුත් - අතදී ඒ කටයුතුවලට උපකාර කරන ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයන් ඇතුළු ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් අපේ මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී ශාසනයට ද අපට ද ආරක්ෂාව සලසමින් තම තමන්ගේ ඒ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා! ඒ වගේම අවීචියේ පටන් අකනිට්ඨාව දක්වා අපගේ ඥාතීන් ඇතුළු යම්තාක් පින්කැමති නිවන් කැමති සත්ත්වයෝ වෙත්ද ඒ හැම දෙනෙක්මත් මේ ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුශලය අනුමෝදන් වී මේ භයානක සංසාරෙන් අත්මිදී උතුම් වූ අමාමහ නිවනින් සැනසෙත්වා! යි කියන ප්‍රාර්ථනය ඇතිකරගෙන මේ ගාථා කියල පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි…….’